නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
ආඝාත පටිවිනය සූත්‍රය
“පඤ්චිමේ භික්ඛවේ ආඝාත පටිවිනයා
උප්පන්නා ආඝාතා සබ්බසෝ පටිවිනේතබ්බා”
අද මා මාතෘකා කරගත්තේ අපි හැම දෙනාම විසින්ම දැන ගත යුතු වටිනා සූත්‍ර දෙකක්. මේක සමහරු අහල ඇති. නමුත් තමන්ගේ ධර්‍ම ඥානය තව තව වධ¢නය කරගන්නයි මම මේ කියන්නේ. මේ සූත්‍ර දෙකම තියෙන්නේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ යි. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්‍මය, එහෙම නැත්නම් මේ ත්‍රිපිටක ධර්‍මය තුළ අන්තර්ගත වෙලා තියෙන හැම සූත්‍රයක්ම බුදුහාමුදුරුවො විසින්ම දේශනා කරපු ඒවා නොවෙයි. බහුතරයක් සූත්‍ර බුදු හාමුදුරුවො දේශනා කළ ඒවා නමුත් සමහර ඒවා තියෙනවා බුදු හාමුදුරුවෝ දේශනා නොකරපු නමුත් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරපු ඒවා.
සහමුලින්ම බුදුරාජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රවලට කියන්නේ බුද්ධ භාෂිත දේශනා කියලයි. බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන සැරියුත්, මුගලන් යනාදී රහතන් වහන්සේලා විසින් දේශනා කරලා, පසුව බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරපු සූත්‍ර දේශනාවලට කියන්නේ, ශ්‍රාවක භාෂිත දේශනා කියලයි.
පුරාණයේ හිටපු ඍෂිවරුන් විසින් කියපු යම් යම් සූත්‍ර එහෙම නැත්නම් යම් යම් ගාථා, යම් යම් ආදර්ශ පාඨ බුදුහාමුදුරුවන් විසින් අනුමත කරල තියෙනවා. අන්න එබඳු දේශනාවලට කියන්නේ, ඍෂි භාෂිත දේශනා කියලයි.
ඊළඟට සමහර දෙවියන් ඇවිත්, බුදුහාමුදරුවොත් එක්ක ධර්‍ම සාකච්ඡා කර තියෙනව. ඒ දෙවියන්ගේ සමහර අදහස් බුදුහාමුදුරුවො පිළිගෙන තියෙනව. එබඳු අනුමත කරපු දේශනාවලට කියන්නේ දේව භාෂිත දේශනා කියල.
දැන් ඔන්න භාෂිත හතරක් කිව්වා.
1. බුද්ධ භාෂිත
2. ශ්‍රාවක භාෂිත
3. ඍෂි භාෂිත
4. දේව භාෂිත
දැන් මේ කියන්න හදන සූත්‍ර දෙකෙන් එකක් බුද්ධ භාෂිත දේශනාවක්. අනිත් එක ශ්‍රාවක භාෂිත දේශනාවක්, ශ්‍රාවකයාණන් වහන්සේ තමයි සැරියුත් මහ රහතන් වහන්සේ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයේ නම පඨම ආඝාත පටිවිනය සූත්‍රය. සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රය, දුතිය ආඝාත පටිවිනය සූත්‍රය යි. දැන් මේ සූත්‍ර දෙක විමසන්න කලින් මේකේ නම ගැන තේරුම් ගන්න ඕනෑ.
ආඝාත කියන වචනයේ තේරුම තරහ කියන එකයි. පටි කියල කියන්නේ හාත්පසින් කියන එකයි. විනය කියල කියන්නේ නැති කිරීමයි, හික්මවීමයි. ඒ කියන්නේ හටගන්න තරහ හාත්පසින් ම නැති කිරීම සඳහා උපදෙස් දෙන සූත්‍ර දේශනා වන්ගෙන් පළමුවෙනි සූත්‍රයට පඨම ආඝාත පටිවිනය සූත්‍රය කියනව. ඒ උපදෙස් දෙන දෙවෙනි සූත්‍රයට දුතිය ආඝාත පටිවිනය සූත්‍රය කියල කියනවා. මේ සූත්‍ර දෙකම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදීයි දේශනා කරල තියෙන්නේ.
පින්වත්නී, ආඝාතය එහෙම නැත්නම් තරහව මිනිසුන්ගේ සිත් සතන්වල තියෙන එකක්. සරලව කවුරු හරි කෙනෙක් ඇහුවොත් මෙහෙම, “ඇයි අපිට තරහ යන්නේ?” මොකක්ද හේතුව? දැන්කියන්න පුළුවන් අහවලා බැන්නා, ගැහුවා, විවිධ දේවල් කියන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරල විශ්ලේෂණය කරල බැලුවොත්, තරහ යන්නේ හේතු දෙකක් නිසා. මොකක්ද හේතු දෙක? පළවෙනි හේතුව තමයි කැමති දේ නොලැබීම. දෙවෙනි හේතුව තමයි අකමැති දේ ලැබීම ඔන්න ඔය හේතු දෙක නිසා තමයි අපට තරහ යන්නේ. විවිධ හේතූන් කියන්න පුළුවන්. බැන්නා, ගැහුවා මේවා ඔක්කොම කියන්න පුළුවන්. ඒ හැම එකක්ම ඔය හේතු දෙකට ඇතුල් කරන්න වෙනවා.
කැමති දේ නොලැබීම තුළ කේන්ති යන්න පුළුවන්. දැන් අපි යමකට කැමති නම්, ඒ කැමති දේ අපි ගන්න හදන කොට ඒක කවුරු හරි දෙන්නේ නැත්නම් අපිට ඒ දෙන්නේ නැති එක්කෙනත් එක්ක කේන්ති යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් අපි ජීවත්වෙන්න කැමති නම් ජීවත්වෙන්න කැමතිවෙලා සිටිද්දී, වැඩිකල් ජීවත්වෙන්න බැරිනම්, ජීවත්වෙන්න ඉඩකඩ ලැබෙන්නේ නැත්නම්, අපිට කේන්ති යනවා. අපිට තරහ යනවා. ඒ තරහට කවුරුවත් ගහන්න නැත්නම්, ඒ තරහ පිරිමහගන්න කෙනෙක් නැත්නම්, ඊට පස්සේ මොකක්ද කරන්නේ? එතකොට තමයි අඬන්නේ. දැන් කවුරුහරි රංඩුවුණාට පස්සේ, දෙන්නෙක් ගහගනිද්දී සාමාන්‍යයෙන් අඬන්නේ ගුටි කන එක්කෙනා නේ? ගහන එක්කෙනා අඬන්නේ නෑනේ. පැරදුනාට පස්සේ තමයි අඬන්නේ. කරගන්න දෙයක් නැතිවුණාම ගුටිකාලා රිදෙනව කියලා කියනවා. නමුත් ප්‍රතිචාර දක්වන්න අපොහොසත් වීම තුළ තමයි අඬන්නේ.
එතකොට තරහ පිටකරන්න ක්‍රමයක් තමයි අඬනවා කියන්නේ. දුකට අඬනවා කියල කියනවා. හැබැයි අඬනවා කියන එක වංචක ධර්‍මයක්. අඬනවා කියල කියන්නේ අපේ හිතේ තියෙන තරහ හොඳ ස්වරූපයෙන් පිටකිරීමයි. ඒ නිසා අඬනව කියන එක හොඳයි කියලා හිතන්න එපා. සමහරු නම් අඬනව කියන එක හොඳයි කියල හිතනවානේ. ඒ නිසා ඇඬීම තුළිනුත් සමහරු ලකුණු දාගන්නවා. දැන් මළගෙවල්වල කියනවා නේ. “එයාලට නම් වැඩිය දුක නෑ, මමයි ඇඬුවේ” කියලා. එතැනිනුත් ලකුණු දාගන්න හදනවා එහෙම කරන එක හොඳයි කියල හිතාගෙන.
නමුත් අඬනවා කියන එක හොඳ එකක් නොවේ. අර හිතේ තියෙන තරහ පිටකරන මාධ්‍යයක්. ඇයි තරහ ගියේ? කැමති දේ නොලැබුණ නිසා. කුමක් ද කැමැත්ත? අපිත් එක්ක ජීවත්වෙන අය ගොඩක් කල් ජීවත්වෙන්න ඕනෑ කියන කැමැත්ත. අන්න ඒ කැමැත්ත ඉටු නොවුණ තැන අපිට තරහ යනවා. තරහ ගන්න පලි ගන්ත, කවුරුවත් නැත්නම්. ගහන්න කවුරුවත් නැත්නම් - කරුමෙට ගහන්න ද, කරුමෙට ගහන්නත් බැහැනේ - එතකොට කරන්න තියෙන එකම දේ, ඒ ගැන හිතල අඬන එක විතරයි. අඬන්නේ ඒ ඇතිවෙච්ච කම්පනය, අර තරහ නිසයි. ඒ අකමැත්ත නිසා තමයි තරහ ආවේ.
අපි හැමෝම කැමතියි නිරෝගීව සිටින්න. නිරෝගීව ඉන්න කෙනෙක් ලෙඩවුනාම, ඒ දුක ඇතිවෙන්නේ අකමැති දෙයක් අපට ආපු නිසයි. එතන එන්නෙත් තරහයි.
බැණුමට අපි කවුරුත් කැමති නෑ. අපි අකමැති බැණුමක් කවුරු හරි අපට අහන්නට සැලැස්සුවොත්, ඒ බැන්න එක්කෙනත් එක්ක අපට තරහ යනවා.
අපි කැමැතියි ගුණ අහන්න. හැබැයි ගුණ අහන්න කැමති වෙලාවේ දී බැන්නොත් කැමති දේ නොලැබෙන කොට එතන තියෙන්නේ තරහ, ගැටීම, පැටලීමයි.
එතකොට මෙන්න මේ හැම විධියකින්ම කල්පනා කරල බැලුවොත් පින්වත්නී, අපි හැමෝටම තරහ යන්නේ කැමති දේ නොලැබීම නිසත් අකමැති දේ ලැබෙන්න වෙන නිසාත් කියලා තේරුම් ගන්න පුළුවන්.
එතකොට මේ තරහ ධර්‍මයට අනුව ආකාර නවයකට විස්තර කරල තියෙනවා. ඒ තරහට කියනවා නවාඝාත කියලා.
තරහ යන හේතු නවය
අහවලා, මට අතීතයේ දී අනර්ථය කළා. අනර්ථය කියන්නේ කරදර, පීඩාවල්. එය බැන්නා වෙන්න පුළුවන්, ගැහුවා වෙන්න පුළුවන්. අතීතයේ දී එබඳු දෙයක් කළා කියල හිතල, අතීතයේ දී කළ, කී දෑ ගැන කල්පනා කරල තරහ ගන්නව. ගොඩක් අය එහෙම ඉන්නවනේ. නේද? බොහෝ අය වර්‍තමානේ ජීවත්වෙනවට වැඩිය අතීතයේ ජීවත්වෙන්නේ. අතීතයේ කියපු දේවල් තාම හිතේ අල්ලාගෙන ඉන්නවා. අතීතයේ කරපු දේවල් තාම හිතෙන් අල්ලාගෙන ඉන්නවා. හිතෙන් අල්ලාගෙන, ඒවාම පෝෂණය කර කර, ඒවා තුළම ගැටෙනවා, පැටලෙනවා. එහෙම වෙන්නේ, අර තරහ නිසා. එතකොට “අතීතයේ මට අනර්ථය කළා” කියල කල්පනා කරන කොට තරහා ඇවිස්සෙනවා.
අහවලා වර්‍තමානයේ, දැන් මට අනර්ථය කරනවා කියල හිතල තරහ ගන්නවා.
අහවලා මට අනාගයේ දී කරදර කරාවී කියල හිතල තරහ ගන්නවා. සාමාන්‍යයෙන් මිනිස්සු ඒ විධියට හැසිරෙනවා.
දැන් ඔන්න අතීත, වර්තමාන, අනාගත කියන කාල තුනක් අල්ලාගෙන තමන්ට කළ, තමන්ට කරන, තමන්ට කරාවී කියල හිතන කරදර පිළිබඳව කල්පනා කරල ද්වේෂය, තරහව ඇති කරගන්නවා.
ඊළඟට අපිට තරහ යනවා අපේ අයටත් කරදර කරාවි කියා සිතීම නිසා. අපිට විතරක් කරදර කරාම නොවෙයි. අපේ අම්මාට තාත්තාට අපේ ගුරුවරුන්ට, අපේ වැඩිහිටියන්ට, එහෙම නැත්නම් දූ දරුවන්ට එහෙමත් නැත්නම් ඉස්කෝලෙට, එහෙම කරදර කරාමත් කේන්ති යනවනේ. ඉස්කෝලෙට වුණත් වෙන වෙන අය කරදර කරන කොට, එක එක මාධ්‍යවලින් කරදර කරන කොට සමහර වෙලාවට මාධ්‍යයත් එක්ක කේන්ති යනවා. සාමාන්‍යයෙන් ඒක ස්වභාවය යි.
එතකොට අතීතයේ දී අහවලා මගේ හිතවතුන්ට කරදර කළා කියල හිතන කොට කේන්ති එනවා. දැනුත් කරදර කරනවා කියල හිතන කොට කේන්ති එනවා. කරදර කරාවි මත්තටත් කියල හිතන කොට කේන්ති යනවා. ඔන්න එතනත් තරහ යන ක්‍රම තුනක් තියෙනවා.
දැන් සමහරු ඉන්නවා තමන්ට වෙන කරදරත් ඉවසාගන්න පුළුවන්. අනුන්ට වෙන කරදරත් තමන්ගේ හිතවතුන්ට වෙන කරදරත් ඉවසාගන්න පුළුවන්. සමහරුන්ට ඉවසන්නම බැරි එකක් තියෙනව. මොකක්ද? ඒ තරහකාරයාගේ ගුණ අහන්න වීමයි. ඔක්කොම ඉවසගන්න පුළුවන්. මේක තමයි මට ඉවසගන්න බැරි කියල සමහරු කියනවා.” කියන්න වෙන කාගේවත් ගුණ නැතිවද එයාගේම ගුණ කියන්න මෙතැනට ආවේ” කියල ඔන්න සමහර වෙලාවට පැටලෙනවා.
එතකොට මගේ තරහකාරයාගේ ගුණ කිව්වා. එහෙම නැත්නම් මගේ තරහ කාරයාට උදව් කරනවා කියලා හිතලා තරහා ගන්නවා. අහවලා මගේ තරහකාරයාගේ ගුණ දැන් කියනවා. අනාගතයේදී ගුණ කියාවි හිතල තරහ ගන්නවා.
ඔන්න ඔය විධියට තරහ යන ආකාර නවයක් තියෙනවා. ඒවාට කියන්නේ නවාඝාතය කියල. දැන් මම හිතනව මෙතන ඉන්න අපි හැමෝටම පොදුවේ මේ මානසික ස්වභාවය තියෙනව කියලා අපි හැමෝම කැමතියි අපි කැමති දේවල් ලැබෙනවට, අපි හැමෝම කැමති නෑ අකමැති දේවල් ලැබෙනවට. එහෙම නූනාම අපිට සමහර වෙලාවට මේ තරහ ඉස්මතුවෙලා එන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරනව ස්වාමීන් වහන්සේලාට එහෙම බැරිවෙලාවත් තරහ ඉස්මතුවෙලා ආවොත් ඒ තරහ මැඩපවත්වා ගන්න භාවිතා කළයුතු ක්‍රමවේද පහක්. එලෙස උපදෙස් දෙන සූත්‍රය පඨම ආඝාත පටිවිනය සූත්‍රය නම් වෙනවා.
1. මෛත්‍රී කරන්න
කාත් එක්ක හරි තරහ ගියොත් මොකක්ද ඉස්සලාම කරන්න ඕනෑ. “මෙත්තා තස්මිං පුද්ගලෙ උප්පජ්ජිතබ්බං” ඒ තරහ එන මනුෂ්‍යයත් එක්ක මෛත්‍රි පුරුදු කරන්න. මෛත්‍රිය කියල කියන්නේ මිත්‍රත්වය, මිතුරුකම, මිත්‍රවෙනව නම් ඉස්සෙල්ලාම මිත්‍ර වෙන්ඩ ඕනෑ කාත් එක්කද? තමන් එක්කයි, අපි සැබවින්ම අපිත් එක්ක මිත්‍රවෙනව නම්, කිසිම මොහොතක අනුන්ගේ වැරදි හිතන්න යන්නේ නෑ.
අපි ඇත්තටම අපිත් එක්ක හිතවත් වෙනව නම් අනුන්ගේ දුර්ගුණ ගැනම මෙනෙහි කරන්න යන්නේ නෑ. ඒ ඇයි? මම කලිනුත් කිව්වා නේ, අනුන්ගේ දුර්ගුණ මෙනෙහි කරන්න, කල්පනා කරන්න කරන්නම කිලිටි වෙන්නේ අපේ හිතයි නරක්වෙන්නේ අපේ හිතයි. හානියට පත්වෙන්නේ අපේ හිතයි. සැබැවින්ම අපේ හිතට මෛත්‍රී කරනවා. නම්, අපිට මෛත්‍රී කරනව නම්, අපේ සිත තුළ නරක සිතිවිලි ඇතිකරගන්න අපි පෙළඹෙන්නේ නෑ.
එතකොට අපි මෛත්‍රීය නැති නිසා තමයි තරහ ගන්නේ. ඉස්සෙල්ලාම ඒ තරහ නිසා පීඩාවට පත්වෙන්නේ කව්ද? තමන්. දැන් ඔන්න කාගේ හරි වැරැද්දක් නිසා අපිට තරහ යනවා. තරහ ගිහිල්ල නිකන් ඉන්නෙත් නෑනේ. බණිනවා. බණින කොට අපි කර්‍ම රැස්කරනවා. මොනවාගේ කර්‍මයක් ද? “දැන් මෙයා මට මෙන්න මෙහෙම කෙරුවා, ඒ නිසා මම මෙයාට බණින්න ඕනේ. එතකොට මොනවගේ බැණුමක් ද මෙතෙන්ට ගැළපෙන්නේ? ඉස්සරත් බැණල තියෙනවා. හැබැයි ඒවා වැඩකළේ නෑ.
ඒ නිසා හොඳට වැඩකරන බැණුමක් අල්ලන්න ඕනෑ” ඉතින් බැණුම තදකරල, ඒ නිකන් දැනෙන බැණුමක් කරගෙන කියලා දානවා. ඒවා හිතෙන් ගොඩනැගෙන සංස්කාර. ඒවා තුළ කර්‍ම රැස්වෙන්නේ. ඒවා කෙලෙස්, ක්ලේශ කර්‍ම. ඒ කෙලෙස් කර්‍ම රැස්වීම තුළ කිලිටිවෙන්නේ තමන්ගේ සිත. එතකොට අපි අපට මෛත්‍රී කරනව නම් එබඳු කර්‍ම අපේ හිත තුළ ගොඩනගන්න අපි පෙළඹෙන්නේ නෑ. අපි අනිත් අයට ;ඟස් කියන්නේ බණින්නේ, අන් අය කෙරෙහි මෛත්‍රියක් නැති නිසාම නොවෙයි. අපි, අප කෙරෙහිම මෛත්‍රිය නැති නිසයි.
එතකොට අපි අප කෙරෙහිම මෛත්‍රිය ඇතිකරගෙන අර පුද්ගලයා කෙරෙහිත් මෛත්‍රිය කරනවා. කොහොමද මෛත්‍රිය කරන්නේ? දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනව නේ බොහොම හොඳට මෛත්‍රී කරන හැටි. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය වගේ බොහොම ඕනෑකමින් ඒ මෛත්‍රී සිත රැකගන්න ඕනෑ. දැන් සාමාන්‍ය සමාජයේ අපේ කවුරුහරි කෙනෙක් වැරැද්දක් කළොත්, ඒක මුළු රටටම කිය කියා යන්නේ නැහැ නේ. මගේ පුතා, මගේ දුව මේ වාගේ වැරදි දෙයක් කළා කියලා වැරැද්ද බව දැනගෙන කොහොම හරි හංගාගෙන ඉවරවෙලා, ළමයාට අවවාද කරලා හදාගන්න හදනවා. ඒ වාගේ කවුරු හරි කෙනෙක් වැරැද්දක් කළාම නරක දෙයක් කළාම ඒ එක්ක කුපිතවෙන්න, ගැටෙන්න, පැටලෙන්න යන්නේ නැතිව, ඒ පුද්ගලයාට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනෑ.
මෛත්‍රී කරල ඒ පුද්ගලයා හඳුනාගන්න පුළුවන් ද කියල බලන්න. කේන්තියෙන් නොවෙයි, තරහවෙන් නොවෙයි. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය උපදවාගෙන, “අනේ මේ මනුෂ්‍යයා හැමදාම මෙහෙම ඒවා කරන්නේ නෑ නේ. අද මෙහෙම වුණේ මෙයාගේ මොකක් හරි දුර්වලකමක් නිසා වෙන්ඩ පුළුවන්” එහෙම හිතනව. ඊළඟට හිතනව “ඒ මනුෂ්‍යයා ඒ වගේ වැරැද්දක් කරන්න පෙළඹුණ අත්දැකීම මට ලැබුණා නම්, ඒ අවස්ථාවට මම පත්වුණා නම්, මම මොන විධියට හැසිරෙයි ද? සමහර වෙලාවට මීටත් වැඩිය දරුණුවෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ වැරදි නිසා මම ගැටෙන්න, පැටලෙන්න ගියොත් මම මටම හානියක් කරගන්නව“ කියල හිතල මෛත්‍රිය කරන්න. එයත් එක්ක යාළුවෙන්න.
එතකොට ඒ පුද්ගලයත් එක්ක යාළුවෙන්න නම් මොකක්ද කරන්න ඕනේ. තරහ කාරයෙක් එක්ක තරහවෙන්න හිතෙන්නේ එයාගේ වැරදි දකින තරමටම නේ. කාත් එක්ක හරි යාළු වෙන්න නම් මොකක්ද කරන්න ඕනේ. හොඳ දකින්න ඕනෑ. එහෙනම් කවුරුහරි කෙනෙක් වැරැද්දක් කළාම ඒ වැරැද්ද ගැනම හිතන්න යන්නේ නැතිව, එයා අපට කරපු හොඳ දේවල් ඕනෑ තරම් ජීවිතයේ තියෙන්න පුළුවන්. අන්න ඒ හොඳ දේවල් මෙනෙහි කරන්න. “අනේ මේ මනුෂ්‍යයා දැන් මෙතෙන්දී මට බැන්නා තමයි.
හැබැයි කොච්චර මාගැන හොඳ කියල තියෙනවා ද ඔය කටින්ම.” බැණුම ගැන හිතනකොට නම් කේන්ති යන්නෙ, ඒ කටින්ම කියපු හොඳක් ගැන හිතන්න. ඕනෑ තරම් හොඳ කියල ඇති, එතකොට අන්න එහෙම හොඳ කියපුව මතක් කරන්න, කරන්න, අර බැණුමට ලැබිච්ච බර අඩු වෙනවා, සැහැල්ලු වෙනවා. එතකොට ඕනෑම කෙනෙක් එක්ක යාළුවෙන්න හිතෙන්නේ? කෙනෙකුගේ හොඳ දැක්කමනේ කෙනෙක් එක්ක අපට හිතවත් වෙන්න හිතෙන්නේ එයා ඇසුරු කිරීමෙන් අපිට ලාභයක්, වාසියක්, ;හාඳක්, යහපතක් වෙයි කියල හිතෙනකොටයි අන්න එහෙම වාසිය බලන්න, යහපත බලන්න දියුණුව බලන්න හොඳ බලන්න එහෙම වෙනකොට තරහ පාලනය කරගන්න පුළුවන්.
2. කරුණාවන්ත වෙන්න
කාත් එක්ක හරි තරහ ආවොත් කාගේ හරි ක්‍රියාකාරකමක් නිසා මොකක්ද කරන්න ඕනෑ? “කරුණා භික්ඛවේ තස්මිං පුද්ගලේ උප්පජ්ජිතබ්බා” ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්ත වෙන්න, කේන්ති ගන්න එපා. එයත් එක්ක පැටලෙන්න යන්න එපා. කරුණාව කියල කියන්නේ මොකක්ද? කරුණාව කියන්නේ බොහෝම හොඳ ගුණයක්.
“පර දුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරොතී ති කරුණා” “පර දුක්ඛේ සති” කෙනෙක් අපහසුවට දුකට පත්වුණාම, සාධුනං” සත්පුරුෂ මිනිස්සුන්ගේ, හදය කම්පනං කරෝති” හදවත කම්පාකරවන ගතිය තමයි කරුණාව. කම්පාකර කර නිකන් ඉන්නේ නෑ. ඒ කම්පාව නැතිකර ගන්න ඕනෑ. එයට මොකක් ද කරන්න ඕනෑ. කම්පාව ඇතිවෙන හේතු නැතිකිරීම යි. හේතුව නැතිකරගන්න උදව් කරන්න ඕන. ඒ කියන්නේ කවුරුහරි දුකට පත්වෙලා අඬ අඬා වැලපි වැලපි ඉන්න කොට, අන්න ඒ වැලපෙන එක නවත්වන්න උදව් කරන්න ඕනෑ. ඒක තමයි කරුණාව කියන්නේ. එහෙම නැතිව, එයත් එක්ක වැලපෙන එක නොවෙයි. සමහරු මාත් එක්කම කියල තියෙනව “අනේ මට ඔය අඬනව බලන් ඉන්න බෑනේ.
එහෙම බලන් ඉන්න කොට මටත් ඇඬෙනව“ ඒ නිසා එයා හිතන්නේ එයා හරි කරුණාවන්තයි කියලයි. කවුරු හරි අඬන දිහා බලා ඉඳලා එයා තනියෙන් අඬන නිසා මෙයත් ගිහින් සපෝට් එකට අඬනව. ඉන්ඩකෝ මාත් එන්නම් පොඩ්ඩක් අඬල පෙන්නන්න කියල. ඒක නොවෙයි කරන්න ඕනෑ දේ. අඬන හේතුව දැනගෙන, අන්න ඒ හේතුව නැතිකර ගන්න උදව් කරන්න ඕනෑ. ඒක තමයි කරුණාව කියල කියන්නේ. එතකොට දුකට පත්වෙච්ච එක්කෙනාට, අපහසුවට පත්වෙච්ච එක්කෙනාට ඒ අපහසුවෙන් මිදෙන්න කරන උදව්ව තමයි කරුණාව. ඉතින් තරහ ගිය එක්කෙනාගේ මානසික තත්ත්වය කොහොමත් අපහසුවට පත්වෙච්ච එකක් නේ. ඒ නිසා එයාගේ මානසිකත්වය සුවපත්වෙන විධියට කරුණාවෙන් අපි එයාට උදව් කරන්න ඕනෑ. දැන් සමහර වෙලාවට එයාට තරහ යන්නේ අපි දැක්ක නිසා නම්, අපව දකින්න දකින්න එයාට තරහ යනව නම්, අපි මොකක් ද කරන්න ඕනේ.
කාරුණික වෙන්න ඕනෑ. කාරුණික වෙලා එයාට කරුණාව ඇතිව, නොදැක ඉන්න උත්සාහ කරන්න ඕනෑ. මාව දකින තරමට මෙයාට කේන්ති යනව කියල දන්නව නම් තව තව පේන්න යන්න ඕනැ නෑ. උපක්‍රමශීලීව එතනින් මඟහැරල යනව. කේන්තිය නිවුණට පස්සේ පේන්න එන එක වෙනම දෙයක්. ඒ වෙලාවේ දී මඟහැරල යන්නේත් කරුණාව නිසයි. නැත්නම් එයා ඒ දර්ශනය තුළ තවත් කුපිත වෙන්න පුළුවන්. ඉතින් කරුණාවෙන් “අනේ දැන් මෙයාගේ හිත පාලනය කරන්න අමාරුවෙලා ඉන්න අවස්ථාවේ දී මමත් මෙයත් එක්ක ;ක්න්ති අරගන්න හොද නෑ. මම එයාට අනුකම්පා කරනව. කරුණාව දක්වනව“ කියල හිතන්න. එයත් එක්ක නැවත නැවත ගැටෙන්න, පැටලෙන්න යන්න එපා.
3. උපේක්‍ෂා සහගත වෙන්න
කාත් එක්ක හරි තරහ ගියොත්, “උපේක්ඛා භික්ඛවේ තස්මිං පුග්ගලේයො උප්පජ්ජිතබ්බං” ඒ පුද්ගලයා කෙරෙහි උපේක්‍ෂාව දියුණු කරන්න කියල බුදුහාමුදුරුවො මතක් කරනව. උපේක්‍ෂාව කියන්නේ මොකක්ද? මධ්‍යස්ථතාවය යි. එනම් මැදහත්ව සිතා බලන්න පුරුදු වීමයි. දැන් අපට ගොඩාක් වෙලාවට දුක ඇතිවන්නේ ඇලීම නිසයි. බැඳීම වැඩි තරමට දුක වැඩි යි. ගැටීම නිසත් දුක ඇතිවෙනවා. එතකොට අපේ මානසිකත්වය හැම තිස්සේම එක්කෝ ඇලෙනවා. එක්කෝ ගැටෙනවා. සමබරව තියාගන්න හරිම අමාරුයි. අපි ගොඩක් වෙලාවකට, එක පැත්තකට එල්ලෙන්න බලාගෙන ඉන්නේ, අපේ හිතෙත්, එහෙම ඉන්න වෙලාවේදී කේන්තියක් ආවොත් කාගේ හරි ක්‍රියාකාරකමක් නිසා බුදුහාමුදුරුවො මතක් කරනව මධ්‍යස්ථ වෙන්න, මධ්‍යස්ථ වෙනවා කියන එකේ අනිත් අදහස තමයි ඒක පොදු අත්දැකීමක් කරගැන්ම.
දැන් අම්මලාට තාත්තලාට තියෙන ගුණයක් නේ ඔය සතර බ්‍රහ්ම විහරණවල තියෙන උපේක්ඛා කියන්නේ. අම්මලා තාත්තලාගේ හිතේ තියෙනව කොච්චරවුණත් මගේ පුතා, මගේ දුව මට සලකාවි කියල. ඒ නිසා තමයි “පුංචි කාලේ ඉඳල ඔය ඇති දැඩි කරල, අනේ ඉතින් අපි වයසට ගියාට පස්සේ අපිව බලාගන්නේ නැතැයි” කියල හිතන්නේ. එහෙම ඉඳල කවදාහරි ඒ බලාපොරොත්තු වෙන විධියට දරුවෝ සලකන්නේ නැතිවුණාම අම්මයි තාත්තායි වෛර කරන්න යන්නේ නෑ ළමයින්ට. අම්මා තාත්තා හිතනව ‘මට සැලකුවෙ නැතිවුණාට කමක් නෑ, ඉන්න තැනක කරදරයක් නැතිව ඉන්නව නම් ඒ මට ඇති” කියල එතන මධ්‍යස්ථ වුණා. අර දුක නිසා එයා ගැටෙන්න, දුක්වෙන්න පැටලෙන්න ගියේ නෑ. අන්න ඒ වාගේ අපට පුළුවන්කම තියෙන්න ඕනෑ මේ තරහව කියන එකත් මධ්‍යස්ථතාවය තුළින් පාලනය කරගන්න. ඕනෑම දෙයක් පෞද්ගලික කරගත්තාම දුක වැඩියි. බැනුමක් වුණත් එහෙමයි. බැනුම පෞද්ගලික කරගත්තාම දුක වැඩියි.
බැනුම පොදු අත්දැකීමක් කරගත්තාම දුක අඩුයි. ගුටියක් වුණත් එහෙමයි. දඬුවමක් වුණත් එහෙමයි. මම මේක නිතර කියන උදාහරණයක්... දැන් අපි හිතමු. ගෙදර ඉන්න අයියයි මල්ලියි ගේ වටේ දුව දුව ගහගන්නව. අම්මත් යනව පස්සෙන් “පුතේ රංඩුවෙන්න නැතිව ඉන්න” කියලා. ඒත් කියන දේ අහන්නේ නැහැ. එක දිගට ගහගන්නව. අම්මත් යනව පස්සෙන් “පුතේ රංඩුවෙන්නෙ නැතිව ඉන්න” කියලා. ඒත් කියන දේ අහන්නේ නැහැ. එක දිගට ගහගන්නව. දැන් අම්මාට මේ දෙන්නා රංඩුව නවත්වනනේ නැති නිසා කේන්ති ගිහිල්ලා, මල්ලිට ගහනව. දැන් මල්ලි කෑ ගසමින් අඬනව, ඒ හේතු දෙකක් නිසයි. පළමුවෙනි හේතුව ගුටිකාලා රිදිච්ච එකයි.
දෙවෙනි හේතුව අයියාට ගහපු නැති එකයි” අයියායි මායි ගහගත්තේ, අම්මා ගැහුවේ මට විතරයි, හරිම අසාධාරණයි”, කියමින් අඬනවා. ඕක තේරිලා අම්මා ඇවිල්ලා මල්ලිට පේන්න අයියාට ගහනවා. අයියාට ගහපු ගමන් මල්ලී අඬන එක නවත්වනවා. ඊට පස්සේ හිනාවේවී කියනවා, “අන්න එහෙම තමයි ගුටි කනවානම් දෙන්නම කන්න ඕනෑ, නැත්නම් අසාධාරණයි” දැන් මේ ගුටිය බෙදිලා ගිය නිසා, වේදනාව තුනී කර ගත්තා. ඒ අත් දැකීම පොදු වුණා. අන්න ඒ වාගේ කවුරු එක්ක හරි තරහ ගියාම බැනුමක් නිසා නම් තරහ ගියේ හිතන්න. මේ බැනුම් අහපු පළමුවෙනි එක්කෙනා මම නොවෙයි මට වැඩිය ගුණවතුන් ලෝකේ කොච්චර නම් බැනුම් අහල තියෙනවාද? බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මොන තරම් උත්තමයෙක් ද, එහෙම බුදුහාමුදුරුවන්ටත් මිනිස්සු කොච්චර බැනල තියෙනව ද.
එහෙනම් මම වගේ එක්කෙනෙකුට බැනුම් අහන්න වෙන එක අහන්නත් දෙයක් ද, මම මේකට කුපිත වෙන්න ඕනෑ නෑ. මේ ලෝකේ නින්දා නොලබන කෙනෙක් නෑ “නත්ථි ලෝකේ අනින්දිතෝ” මේ ලෝකේ ජීවත්වෙනකොට ඕනෑම කෙනෙකුට බැනුම් අහන්න නින්දා අපහාස විඳින්ට වෙනවා. මේක මම පෞද්ගලික කරගත්තොත් තමයි මට වේදනා වැඩි වෙන්නේ. මටත් වැඩිය දරුණු විදියට චෝදනාවට ලක්වෙන බැණුම් අහන, පීඩාවට පත්වෙන අය මොන තරම් ලෝකේ ඉන්නව ද? අපිට මේ අත්දැකීම තියෙනවනේ.
අපි ඉස්සරහම, සමහර වෙලාවට අපිට ඇහෙන්නම තව සමහරු වෙනත් අයට කොච්චර සැරට බණිනව ද, ඒ අත්දැකීම් අපට ඕනෑ තරම් තියෙනවනේ. ඉතින් තරහ එනකොට හිතන්න පුළුවන් “ අර මනුස්සයට එදා මෙන්න මේ විදියට කෙනෙක් බැන්නා. දැන් මේ මට බැනපු බැනුමට වඩා බරපතළ බැනුමක් නේ ඒක. ඉතින් මටත් වැඩිය බැනුම් අහන අය එහෙනම් ලෝකේ කොච්චර ඉන්නව ද. මම මේ තුළ කුපිත වෙන්න ඕනෑ නෑ., ගැටෙන්න ඕනේ නෑ පැටලෙන්න ඕන නෑ. එහෙම වුණොත් මටමයි හානිය වෙන්නේ” කියලා හිතලා තරහ පාලනය කරගන්න ඕනේ.
4. සිහි නොකර, මෙනෙහි නොකර ඉන්න
කවුරු හරි කාගේ හරි වැරැද්දක් නිසා තරහ ඇති කර ගත්තොත් බුදුහාමුදුරුවො මතක් කරනවා, “අසති අමනසිකාරය” දියුණු කරගන්න කියලා. “අසති” කියන්නේ සිහිකරන්නේ නැතිව ඉන්න. අමනසිකාරය නම් මෙනෙහි නොකර ඉඳීමයි. කවුරු හරි බැන්නාම ඒ බැනුම නිසාම නම් අපිට තරහ ඇවිස්සෙන්නේ, ඒ බැනුම කල්පනා කරන කොට නම් අපට කේන්තියන්නේ, එය අමතක කරල දාන්න. ඒ බැනුමට වටිනාකම් දෙන්න යන්න එපා. ඒකම හිතේ තියානෙ පැලපදියම් කරගන්න යන්න එපා. නරක සිතිවිලි හිතේ තියාගෙන ඒවාට වටිනාකම් දෙන්න, දෙන්න ඒ සිතිවිලිවල වහලෙකු බවට අපිව පත්වෙනවා. සිතිවිල්ලකට වටිනාකමක් ලැබෙන්නෙ කොහොමද? එබඳු සිගිවිලිම, ඒ සිතිවිල්ලම නැවත, නැවත හිතන්න ගියාම, කල්පනා කරන්න ගියාමයි, එතකොට තමයි මේක වේගවත් වෙන්නේ. ආවේග කියන්නේ ඒවාටයි.
ආවේග කියන්නේ වේගයෙන් එන සිතිවිලිවලටයි. වේගය වැඩිවුණාම මොකද වෙන්නේ? වේගය වැඩිවුණාම සිතිවිලි, අභ්‍යන්තර පරිපාලනයෙන් තොරයි. වාහන වුණත් එහෙම නේ. වේගය වැඩිවුණාම බ්‍රේක් අහන්නේ නෑ. බ්‍රේක් ගැහුවත් වදින්නේ නෑ වැදුණත් හරියට ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. සිතිවිලිවලට බ්‍රේක් නැතිවුණාම අන්න ඒ සිතිවිලි එළියට පනිනවා කටින්, නරක වචන විධියට. කටේ බ්‍රේක් නැත්තේ, වචනවලට බ්‍රේක් නැති නිසයි. සිතිවිලිවලට බ්‍රේක් නැත්තේ, සිතිවිලිවල බ්‍රේක් නැති නිසයි. සිතිවිලිවලට බ්‍රේක් නැතිවුණාම ඒක එළියට පනිනව ගතින්. එතකොට තමයි නරක වැඩ කරන්නේ. මේ වේගය දුන්නේ කව්ද? වෙන කවුරුත් නොවෙයි, ඒක ගැනම හිතන අපියි.
අන්න ඒ නිසා බුදුහාමුදුරුවො මතක් කරනවා බැනුමක් නරක දෙයක් නම්, නිසා නම් තරහ ආවේ, ඒ නරක දේ නොසිතා ඉන්න වෙන අරමුණක් ගැන සිතන්න. වෙන දෙයක් කල්පනා කරන්න. හොඳ දෙයක් ගැන සිතන්න. නරක දේවල් ගැන සිතන කොට නම් තරහ ඇති වුණේ ඒ අරමුණ මාරු කරන්න. වෙන හොඳ අරමුණක් ගන්න ඔන්න තරහ පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක්.
5. කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න.
කාත් එක්ක හරි තරහ වුණොත්, තරහ ආවොත්, බුදුහාමුදුරුවො මතක් කරනවා, කර්මයේ ස්වකීයත්වය ගැන කල්පනා කරන්න කියලා. කර්මයේ ස්වකීයත්වය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවනේ. “යං කම්මං කරිස්සති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති” කවුරුහරි කෙනෙක් හොඳ හෝ නරක කර්මයක් කළොත්, ඒ කර්මයේ දායාදය ඒ කරපු පුද්ගලයාටයි හිමිවෙන්නේ. එතකොට අහවලා මට බැන්නා නම් ඒ බැනීම තුළ එයා කරගත්තේ නරක කර්මයක්.
ඒ නරක කර්මයේ උරුමක්කාරයා වෙන්නේ ඒ මට බැනපු කෙනයි. මම එයාට බනින්න ගියොත්, මම නරක කර්මයක් රැස්කර ගත්තා වෙනවා. එතකොට ඒ නරක කර්මයේ උරුමක්කාරයා මම යි. බාහිර පුද්ගලයෙකුගෙන් බැනුමුත් අහලා. ඊට පස්සේ අපි එයාට බනින්න ගිහිල්ලා, අපි තව කර්මත් රැස්කර ගෙන දුකටත් පත්වෙනවා. එහෙනම් අනුන්ගේ කර්ම නිසා අපේ හිත තුළ කර්ම ඇතිකර ගන්න හොඳ නෑ. මම නරක කර්මයක් කළොත් මට විපාක විඳින්න වෙනවා. ඒ නිසා මෙයාගේ මේ නරක දුර්දාන්ත ක්‍රියාකාරකම් නිසා, ඒවත් එක්ක, ගැටෙන්න පැටලෙන්න යන්නේ නෑ. මම නරක කර්ම රැස්කර ගන්න යන්නේ නෑ කියලා හිතලා, ඒ අවස්ථාව තමන්ගේ ප්‍රයෝජනයට ගන්න ඕනේ.
මේ පුද්ගලයා මට බැනලා නරක කර්ම රැස් කරගන්න මේ මොහොතේ මේ පුද්ගලයා කෙරෙහි මම මෛත්‍රිය කරල හොඳ කර්ම දියුණු කර ගන්නවා. මේ මගේ මෛත්‍රිය දියුණු කරගන්න ලැබිච්ච ඉහළම අවස්ථාවක්. හොඳම අවස්ථාවක්. මේක සමහර වෙලාවකට ආයෙත් උදානොවන්න පුළුවන්. මා මෙතරම් කාලයක් භාවිතා කරපු, පරිශීලනය කරපු මෛත්‍රී භාවනාව ප්‍රායෝගි කරන්න ලැබිච්ච හොඳ අවස්ථාවක් කියලා හිතල අරයත් එක්ක ගැටෙන්න යන්නේ නැතිව, තමන් තුළ තමන්ගේ සසර ගමන සුවපත් කරගන්න අවශ්‍ය වෙන විධියේ හොඳ කර්ම කරනවා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා අන්න ඒ විදියට කර්මයේ ස්වකීයත්වය ගැන හිතලා. “ඒ ඒ අය කරන නරක කර්මවලට එයාලට විපාක ලැබෙනවා. ඒ තුළ මම කර්ම රැස්කර ගන්න ඕනෑ නෑ”. කියලා හිතල තරහ පාලනය කරගන්නවා කියලා.
මේ ක්‍රමවේද පහ තරහ නැතිකර ගැනීම සඳහා උපයෝගී වෙනවා කියලා බුදුහාමුදුරුවො මතක් කළා. ඒ දේශනාව අහල ස්වාමීන් වහන්සේලා අතිශයින්ම සතුටට පත් වුණා.
ඊළඟට දෙවෙනි සූත්‍රය – දූතිය ආඝාත පටිවිනය සූත්‍රය.
පින්වත්නි, මෙය දේශනා කළ සැරියුත් මහරහතන් වහන්සේට අනුව මේ ලෝකේ ඉන්නව පුද්ගලයෝ පස්දෙනෙක්.
පළමුවෙනි පුද්ගලයා
අපරිශුද්ධ කාය සමාචාරය යි, පරිශුද්ධ වචී සමාචාරය යි. සමාචාරය කියන්නේ හැසිරීම. එතකොට කාය සමාචාරය කියන්නේ කයෙන් හැසිරීම. අපරිශුද්ධ කාය සමාචාරය කියන්නේ කයෙන් නරක විධියට හැසිරීම. වචී සමාචාරය කියන්නේ වචනය හැසිරවීම. එතකොට පරිශුද්ධ වචි සමාචාරය කියන්නේ වචනය හොඳ විදියට හැසිරවීම. ඔන්න දැන් මනුෂ්‍යයෙක් ඉන්නවා. එයා කොහොමද? එයාගේ වැඩ හොඳ නෑ. කරතොත් කරන්නේම නරක දේවල් හැබැයි හඬ හොඳයි වචන හොඳයි. එහෙම කිව්වාම මතක තියාගන්න ලේසියි. වැඩ හොඳ නෑ හඬ හොඳයි. ලංකාවේ සමහර දේශපාලනඥයෝ වාගේ. ලස්සන සුන්දර කථා කියනවා. හැබැයි එච්චර වැඩ නෑ.
දෙවෙනි පුද්ගලයා.
එයාගේ හඬ හොඳ නෑ, වැඩ හොඳයි. හඬ හොඳ නෑ කියන්නේ සමහරු ඉන්නවනේ කථාව හරි නෑ. බනිනවා හරියට. සමහරු දෙනවා. දීල බනිනවා. දෙන එක හොඳයි හැබැයි දීලා කොච්චර බනිනව ද? දීලා බනිනවා “ආයෙත් මේ පළාතේ එහෙම එන්නේ නැහැ. මගේ දෑසට පේන්නේ නැතිව යනව යන්න” කියලා. ඒ වගේ අවස්ථාවලට අපිට මූණ දෙන්න වෙනවා. එතකොට වචනය හොඳ නෑ. හැබැයි ක්‍රියාව හොඳයි එහෙම අයත් ඉන්නවා.
තුන්වෙනි පුද්ගලයා.
තව පරිසරයක් ඉන්නව, හඬත් හොඳ නෑ, වැඩත් හොඳ නෑ, ඉඳල හිටල හොඳ සිතිවිල්ලක් හිතේ ඇතිකර ගන්නවා.
හතරවෙනි පුද්ගලයා.
ඊළඟට තව සමහරු ඉන්නවා, හඬත් හොඳ නෑ වැඩත් හොඳ නෑ ඉඳලා හිටලවත් හොඳ සිතිවිල්ලක් හිතේ පහළ කරගන්නේ නෑ.
පස්වෙනි පුද්ගලයා
තවත් කට්ටියක් ඉන්නවා ඒ අයගේ හඬත් හොඳයි, වැඩත් හොඳයි. සිතිවිලිත් හොඳයි.
ඔන්න පස් දෙනා. දැන් මේ පිරිස් පහ කෙරෙහි එහෙම නැත්නම් මේ පස් දෙනා කෙරෙහි සාමාන්‍යයෙන් කෙනෙකුට තරහ යනවද කියා බලමු.
“වැඩ හොඳ නෑ, හඬ හොඳයි”
දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙකුගේ වැඩ හොඳ නැතිව හඬ හොඳ වුණාම පුහුදුන් ගතියට අපි සලකා බලන්නේ මොකක්ද? හොඳ නැති වැඩේ ගැනයි නේ. හැබැයි අපිට ඕනෑ තරම් තියෙනව හඬ හොඳයි කියල හරි හිත හදාගන්න. කථාව හොඳයි කියල හිත හදාගන්න අපට ඕනෑ තරම් අවකාශ තියෙනවා. ඒත් හොඳ කථාව ගැන නොවෙයි අපි හිතන්නේ.
“මේ මනුෂ්‍යයා මෙහෙම කථා කළාට අපි දන්නවනේ මෙයාගේ වැඩ” කියලා, අපි නරක වැඩ ගැනමයි හිතන්නේ. දැන් එහෙම හිතන්න ගියාම නරක් වෙන්නේ කාගේ හිතද? තමන්ගේ හිතමයි. දැන් හිතන්න අඩුම තරමේ හොඳ දෙයක් තියෙනවා, එයාගේ වචනය හොඳයි. එහෙම හොඳ වචනය ගැන මෙනෙහි කරන්නේ නැතිව, කල්පනා කරන්නේ නැතිව, “ඔය කථාව ඔහොම වුණාට කල් ක්‍රියාව මෙහෙමයි නේ” කියල අපි අර නරක දේ ගැනම හිත හිතා අපේ තරහව වැඩි කරගන්නවා. ඉතින් එහෙම වෙන්න ගියාම හානිය වෙන්නේ, අයහපත වෙන්නේ අපිට කියල අපි මොහොතකට වත් කල්පනා කරන්නේ නෑ. ඒ නිසා තමයි අර විධියට අනුන්ගේ නරකම හොයන්නේ.
හඬ හොඳ නෑ, වැඩ හොඳයි
තව එක්කෙනෙක් ඉන්නව, ඒ තැනැත්තාගේ හඬ හොඳ නෑ. වැඩ හොඳයි. දැන් ඔන්න කොච්චර හොඳ වැඩක් කළත් කියනව “අයියෝ ඔහොම වුණාට එයාගේ කට හරි නෑනේ” ඔන්න ඔහොම කියනවා. අර වැඩ ගැන තක්සේරු කරල ඒක අගයන්න අපි පුරුදු වෙලා නෑ. අපි හුරුවෙලා නෑ. අපි හැම තිස්සේම අල්ලා ගන්නේ, අපි හැම තිස්සේම කුතුහලයෙන් විමසාගෙන බලාගෙන ඉන්නේ කොහෙන් ද වරදින්නේ කියලයි.
“හඬත් හොඳ නෑ, වැඩක් හොඳ නෑ, ඉඳල හිටල සිතිවිල්ලක් ඇති කරගන්නවා.”
එයාගේ හඬත් හොඳ නෑ වැඩත් හොඳ නෑ. හැබැයි ඉඳල හිටල පෝයට ගිහිල්ල සිල් ගන්නව. දැන් එහෙම අය ඉන්නවනේ කළොත් කරන්නේම නරක දෙයක්. කිව්වොත් කියන්නේම නරක දෙයක්. හැබැයි පෝයට කොහොම හරි සිල් සමාදන් වෙනව. දැන් ඔහොම එක්කෙනෙක් දැක්කාහම මොකද කියන්නේ? සිල් ගන්න අය නෙවෙයි, සිල් නොගන්න අයටයි වැඩියෙන්ම මෙහෙම චෝදනා කරන්නේ. ඒ අය කියනව වැඩක් නෑ ඉතින් හැම පෝයටම සිල් ගත්තට එයා මෙන්න මේ විධියට නේ හැසිරෙන්නේ.
ඒ විධියට හැසිරෙන කෙනෙක් හරි පෝයට සිල් ගන්න එකවැඩක් නෑ කියල කියන්න බෑ නේ. පෝය දවසේ හරි ඒ මනුස්සය හොඳ වෙනව නම් ඒක නේ අගේ කරන්න ඕනේ. එක දවසකට විතරක් මේක කරල හරියන්නේ නැහැ. එක එක වැරදි කියනවා. එක දවසකට විතරක් වත් කරන එක හරි කියලා කියන්න බෑ. ඒක හරි. හැබැයි හැමදාම කරනව නම් වඩාත් හරි. ඒකයි නියම දේ. එක දවසකට හරි හොඳ දෙයක් කරනව නම් ඒක කිසිසේත්ම නරකයි කියල ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද කරන්නේ හොඳ දෙයක්. අපේ සමාජයේ ගොඩක් අය ඇගයීම කරන්න සූදානම් නැහැ. අන්න ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්.
හොඳ දෙයක් තියෙනව නම් පුංචි දෙයක් හරි, ඒක අගයන්න අපි පුරුදු වෙන්න ඕනෑ. පොඩි දෙයක් වුණත් එහෙමයි. දැන් බලන්න උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිවෙලා, කෑම උයලා, රෙදි ටිකත් මැදල සපත්තුත් පොලිෂ් කරල වැඩටත් යවල ඔක්කෝම කරල දෙන නෝනාට තේ එක හදල තේ එකත් ළඟට ගෙනත් දීලා බිව්වට පස්සේ අඩුතරමේ ස්තුතියි කියලවත් කියනව ද? කෝප්පේ හෝදන්න ඕනෑ නෑ. අඩුගානේ තේ එක රහයි කියලවත් කියනවා ද? ඒවා මොකවත් නෑ. කිසිම ඇගයීමක් නෑ. හැබැයි තමන්ගේ නෝනලගේ වැඩ අගයන්නේ නැතිවුණාට අනුන්ගේ නෝනලාගේ වැඩ අගයන්න නම් යනව. එහෙම අය කොච්චර ඉන්නවද ඒ අගයන්න යන්නේ තමන්ගේ නෝනාට පහර ගහල.
අපි දැන් හිතමු.... කවුරු හරි නෝනා කෙනෙකුයි මහත්තය කෙනෙකුයි ඉන්න ගෙදරකට කෑමට ආරාධනා කරනව පිට ගෙදරකින්. ඉතින් ඒ ගෙදර නෝනත් හොඳට රසට කෑම ටික හදල තියෙනව. කෑම කාලා ඉවරවෙලා ඔක්කොම මේසේ වටේ වාඩිවෙලා ඉන්නවා. පිටින් ගිය මහත්තයට දැන් හරිම උවමනාවක් තියෙනවා මේ කෑම අගයන්න “කෑම බොහොම හොඳට හදල තියෙනවා, බොහොම හොඳයි” කියල කිව්වාම හොඳටම ඇති. නෑ දැන් වැඩියෙන් අතින් දාන්න යනවා. මොනවද කියන්නේ? තමන්ගේ නෝනත් ළඟ තියාගෙන මේ මහත්තය කියනව අනිත් නෝනාට ඇහෙන්න, “කාලෙකට පස්සේ කටට රහට කෑම ටිකක් කෑවා.” ඛ්යලා. ඉවර නේ අර මනුස්සය සම්පූර්ණයෙන්ම ඉතින් එහෙම කියන්න හොඳ නෑ. ඒ ඇගයීම වුණත් තව කෙනෙකුට හානියක් නොවන විධියට කරන්න පුරුදු වෙන්න ඕනෑ.
පින්වතුනි, ඒ නිසා තව කාගේ හරි පුංචි දෙයක් වුණත් තියෙනව නම්, අන්න ඒ දේ සොයල බලන්න. එහෙම පොඩි දෙයක් හරි හොයන කොට පිරිසිදු වෙන්නේ අපේ හිතයි. පුංචි හරි නරකක් හොයන කොට කිලිටි වෙන්නෙත් අපේ හිතමයි, ඉතින් හොයන කොට වැඩියෙන්ම තියෙන්නෙත් නරක නම් ප්‍රබලව දකින්න තියෙන්නේ නරක නම්, ඒ නරකටම එල්ලෙන්න යන්නේ නැතිව, පුළුවන් තරම් අනුන්ගේ හොඳක් දැකල ඒ හොඳ තුළින් අපේ හිත පිරිසිදු කරගන්න සලසා ගන්න උනන්දු වෙන්න ඕනෑ.
“හඬත් හොඳ නෑ වැඬත් හොඳ නෑ. ඉඳල හිටලවත් හොඳ සිතිවිල්ලක් පහළ වෙන්නේ නෑ.”
සමහරු ඉන්නව හඬත් හොඳ නෑ, වැඩත් හොඳ නෑ, ඉඳල හිටලවත් ඒ අයට හොඳ සිතිවිල්ලක් පහළ වෙන්නේ නෑ. පෝයටවත් සිල්ගන්න යන්නේ නෑ. එහෙම අයට මොනවද කරන්න වෙන්නේ. ඒ අයත් එක්ක ගැටෙන්නත් බෑ. පැටලෙන්නත් බෑ. කියන දේ අහන්නෙත් නැත්නම් මොකක්ද කරන්න තියෙන එකම දේ. ඒ අයගෙන් ඈත්වෙන්නත් බැරි නම්, ඒ අය දාලයන්නත් බැරි නම් බැඳ ගත්ත බෙරේ ගහන්නත් ඕනෑ නම්, කරන්න තියෙන එකම දේ අනුකම්පා කරන එක විතරයි. එයාලත් එක්ක ගැටෙන්න යන්න එපා. පැටලෙන්න යන්න එපා. එයාලත් එක්ක ගැටෙන ගැටෙන මොහොතක් පාසා, පැටලෙන පැටලෙන මොහොතක් පාසා පිරිහෙන්නේ අපි කියල තේරුම් අරගෙන පුළුවන් තරම් ඉවසීමෙන් අනුකම්පාවෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනෑ.
ඊළඟට දැන් ඔය වගේ අයත් එක්කත් සාමාන්‍යයෙන් මිනිසුන්ට කොහොමත් තරහ යනවනේ, හිතන්නේ නරක දේවල් නම් කියන්නේත් නරක දේවල් නම්, කරන්නේත් නරක දේවල් නම්, ඒ අයත් එක්ක තරහ යනවා. එහෙම තරහ පාලනය කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනෑ.
“හඬත් හොඳයි, වැඩත් හොඳයි, සිතිවිලිත් හොඳයි”
ඊළඟ පුද්ගලයාගේ වචනත් හොඳයි, හඬත් හොඳයි ක්‍රියාවත් හොඳයි. වැඩත් හොඳයි, සිතිවිලිත් හොඳයි. එහෙම හොඳ අයත් එක්කත් තරහ යනව ද? සාමාන්‍යයෙන් කියන්න බලන්න, හොඳ අයත් එක්කත් තරහ යනවා ද? යනව. හොඳ අයත් එක්ක ඇයි අපිට තරහ යන්නේ? අපි නරක හින්දා. වෙන මොකවත් නිසා නොවේ. මේ ලෝකේ හොඳ දේවල් කරන හොඳ දේවල් කියන, හොඳ දේවල් සිතන මිනිසුන් එක්කත් ගැටෙන පැටලෙන උරණ වෙන අය කොච්චර ඉන්නවද? එහෙම වෙන්නේ ඒ පුද්ගලයා නරක නිසා. වෙන මොකවත් නිසා නොවේ. එතකොට නරක මිනිස්සු කැමැතියි තමන්ගේ අදහස් හා ගැළපෙන උදවිය ඇසුරු කරන්න. හොඳ මිනිස්සු කැමැතියි තමන්ගේ අදහස් හා ගැළපෙන හොඳ අය ඇසුරු කරන්න.
නරක කෙනෙකුට හොඳ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් බොහෝ වේලාවට ඒ නරක මනුෂ්‍යයා හැදෙන්නේ නැති කෙනෙක් නම් අර හොඳ මනුෂ්‍යයාගේ හොඳ හමුවේ නරක එක්කෙනා උරණ වෙනවා. මෙහෙම හිතන්න. දැන් කවුරු හරි දුස්සීල කෙනෙක් ඉන්නවා. දුස්සීල එක් කෙනෙක් ඉන්න ගෙදරක, කවුරු හරි කෙනෙක් සිල් සමාදන් වෙන්න යනව නම්, එතකොට අර මනුස්සයා යන මොහොතක් මොහොතක් පාසා, අර දුස්සීලයා බණිනවා. ඒක තමයි හැටි. ගොඩක් ගෙවල්වල නෝනල කලාතුරකින් තමයි මහත්තයාගෙන් බැණුම් අහන්නේ නැතිව සිල් සමාදන් වෙන්න යන්නේ නේද?” අද නිවාඩු දවසෙත් යනව මෙතන කන්න උයන්නෙත් නැතිව“ කියලා ඔන්න සමහර වෙලාවට, අර සිල් සමාදන් වෙන එකට බණිනවා.
එහෙම අය කොච්චර ඉන්නවා ද? භාවනා කරන්නේ නැති එක්කෙනා තව කෙනෙක් භාවනා කරනව දැක්කාම, ඒකට දොස් කියනවා “මෙතනටම ආවා නේ බොරුවට භාවනා කරන්න” කියලා අරක අගයන්න බෑ. දන් දෙන්නේ නැති එක්කෙනා දන්දෙන එක්කෙනාට දොස් කියනවා “බොරුවට සෝබනයට දෙනවා අනිත් අයට පෙන්නන්න. අනිත් අයට කරදර කරන්න අපහසුවට පත්වෙන්න දෙනවා.” ඔය ආදී වශයෙන් කියනව. ඒ මොකද? ඒ අයගේ සිතිවිලි ගැළපෙන්නේ නැති නිසා සමාන අදහස් නොමැති නිසා එයාලා ගැටෙනවා.
පින්වත්නි, බුදුහාමුදුරුවො දවසක් ගිජ්ක්‍ධකූට පර්වතයෙහි වැඩ සිටින විට දකිනව සැරියුත් මහ රහතන් වහන්සේ ළඟින් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සක්මන් කරනව. සැරියුත් හාමුදුරුවො කියන්නේ ප්‍රඥාාවන්ත භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා, එතකොට සැරියුත් හාමුදුරුවො ළඟ ඉන්නේ ප්‍රඥාාව දියුණු කරගන්න කැමැති භික්‍ෂූන් වහසේලා. මුගලන් හාමුදුරුවො සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න කැමැති අය අතර අග්‍රයි. මුගලන් හාමුදුරුවො ළඟ ඉන්නව භික්‍ෂූන් පිරිසක් සක්මන් කර කර.
ඒ හාමුදුරුවො මේ ඍද්ධි ප්‍රාතිහාර්ය වලට කැමැති අයයි. දැන් ඍධි ප්‍රාතිහාර්ය වලට කැමැති අයත් එහෙම නේ. එහෙම ප්‍රාතිහාර්ය පෙන්වනව කිව්වාම එහෙම කැමැති අය යනව නේද? සාමාන්‍යයෙන් යන්නේ නැති වුණාට ප්‍රාතිහාර්ය පෙන්නනව කිව්වාම එදාට විශේෂයෙන් යනව. දැන් චෛත්‍ය වන්දනාවලටත් එහෙමයි. ලංකාවේ අවුරුදු දෙදාස් ගණන් තිබ්ච්ච චෛත්‍ය ඕනෑ තරම් තියෙනව. හැබැයි රැස් විහිදෙනව කිව්ව ගමන් ලක්‍ෂ ගණන් මිනිස්සු යන්නේ අර ඒ ප්‍රාතිහාර්ය බලන්නයි . ඒ වාගේ සාමාන්‍ය සිතිවිලි තියෙන කොට ඒවාට එකතු වෙනව බොහොම ඉක්මනට.
ඊළඟට සීවලී හාමුදුරුවො ප්‍රත්‍ය ලාභීන් අතර අග්‍රයි. සීවලී හාමුදුරුවො ළඟත් හාමුදුරුවො හාමුදුරුවරු කිහිප නමක් සක්මන් කරනව. සීවලී හාමුදුරුවො ළඟ හිටියොත් කෑම වරදින්නේ නෑ කියල දන්න කට්ටිය තමයි සීවලී හාමුදුරුවොත් සමඟ ගනුදෙනු කරන්නේ.
ඔය අතරේ දේවදත්ත හාමුදුරුවොත් පිරිසක් අල්ලාගෙන පැත්තකට වෙලා ඇවිද ඇවිද ඉන්නව. දේවදත්ත හාමුදුරුවො කියන්නේ, පාපිෂ්ඨ භික්‍ෂූන් අතර අග්‍ර කෙනා. මේ පවිටු අදහස් තියෙන අය තමයි දේවදත්ත හාමුදුරුවන්ට ගැළපෙන්නේ.
මේ සිද්ධිය දුර ඉඳල බලා ඉන්න බුදුහාමුදුරුවො කියනව, “ධාතුසො භික්ඛවේ සත්තා සංසන්දෙන්ති සමෙන්ති” මහණෙනි, මේ ලෝකේ සත්ත්වයෝ ඔවුන් ඔවුන් හා ගැළපෙනව එකතු වෙනව අදහස් වශයෙන්, අදහස් ගැළපුණ තැන එකතු වෙනවා. අදහස් නොගැළපෙන තැන බෙදෙනවා. ගැටෙනවා. රංඩුවෙනවා, පැටලෙනවා. එතකොට මේ ලෝකේ ගළපන්නම අමාරු දේ තමයි අදහස්. භෞතික දේවල් නම් එක එක විධියට හදන්න පුළුවන්. මේ කැසට් එකක් නම් ඒ විධියටම කැසට් එකක් හදන්න පුළුවන්. බුදු පිළිමයක් නම් ඒ විධියටම තවත් බුදු පිළිමයක් හදන්න පුළුවන්. දැන් සත්තුත් ඒ විධියටම හදනව ක්ලෝනිකරණය කරල.
එක එක විධියට එහෙම හදන්න පුළුවන් හැබැයි සිතිවිලි කියන ඒවා ලේසියෙන් ගළපන්න පුළුවන් එකක් නොවේ. අන්න ඒ අමාරු කාර්ය යමෙකුට කරන්න පුළුවන් නම්, ඔවුන් ඔවුන්ගේ සිතිවිලි හා ගැළපෙන විධියට, සිතිවිලි පවත්වාගන්න පුළුවන් නම් එතන තමයි එකතුව තියෙන්නේ. සිතිවිලි ගැළපෙන්නෙ නැති තැන, නොගැළපෙන තැන ගැටුම, අර්බුදය අනිවාර්යයෙන් ඇති වෙනවා. එතකොට නරක සිතිවිලි තියෙන අයට, හොඳ සිතිවිලි තියෙන අය අල්ලන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඒ කට්ටියත් එක්ක රංඩු වෙනවා. හොඳ සිතිවිලි තියෙන අය නරක සිතිවිලි තියෙන අයත් එක්ක පෑහෙන්නේ නෑ. ඒ අය ගැළපෙන්නේ නෑ. ඒ අය බලන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න.
ඉතින් මේ සමාජේ සමහරු ඉන්නවා කොච්චර හොඳට හිටියත් තව තව අය බණිනව ඇවිල්ලා. අර නරක උදවිය, හොඳ දකින්න අකමැති උදවිය තමයි එහෙම බණින්නේ. ඉතින් අන්න එහෙම පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා එහෙම පුද්ගලයෝ ජීවත්වෙන සමාජයක ඉන්න කොට අපි කොහොමද අපේ මෛත්‍රී සිත රැකගන්න ඕනේ. කියන එක සැරියුත් මහ රහතන් වහන්සේ උපමා පහකින් මතක් කරනවා. බොහොම ලස්සණ උපමා පහක්.
පළමුවෙනි උපමාව
දැන් පළමුවෙනි එක්කෙනාගේ ස්වරූපය මොකක්ද? එයාගේ වැඩ හොඳ නෑ හඬ හොඳයි. අන්න ඒ වගේ සැරියුත් හාමුදුරුවො මතක් කරනවා. එයාගේ හොඳ දෙයක් තියෙනව නේ. හඬ හොඳයි හොඳ දේ ගැන හිතල හිත හදාගන්න . අන්න ඒ හොඳ දේ උකහා ගන්න පුරුදු වන්න. එතකොට ඒ තරහ පාලනය කරගන්න පුළුවන්. නරක දේ ගැන හිතනව නම්, හිතන කොට නම් තරහ යන්නේ හොඳ දේ ගැන හිතන්න. හරියට මෙහෙමයි. දැන් ඔන්න පාංශුකූල සිවුරු පොරවන හාමුදුරු කෙනෙක් ඉන්නවා. පාංශුකූල සිවුරු කියල කියන්නේ මළ මිනී ඔතල කනත්තේ දාල තියෙන, ඕජස් ගලන, කුණු ගඳ ගහන කිලිටි වෙච්ච රෙදි කෑලි එකට මූට්ටු කරලා පිරිසිදු කරලා ඒවා අරගෙන මහල හදන සිවුරු.
එහෙම සිවුරක් පොරවන හාමුදුරු කෙනෙක් එනව. ඔය හාමුදුරුවො ගමන් කරන පාරේ කුණු ජරාව ගෑවිච්චි, ගුලිකරල රෙදි කෑල්ලක් තියෙනවා. ඉතින් මේ හාමුදුරුවො මොකද කරන්නේ. අර රෙදි කෑල්ලේ එක කොනක් වම් කකුලේ පාගාගෙන, පල්ලෙහාට නැවෙන්නෙත් නැතිව, හිටගෙනම අනිත් කකුලේ මහපට ඇඟිල්ලෙනුයි. අනිත් ඇඟිල්ලෙනුයි එක කොනක් තදකරල හිර කරගෙන, මේ රෙදි කෑල්ල එහාට මෙහාට පෙරලල බලනව. මොකටද මේ පෙරලල බලන්නේ, මේ රෙදි කෑල්ලේ කොහෝ ද කුණු ගෑවිල නැත්තේ කියලා. එහෙම කුණු ගෑවිල නැති තැනක් තියනව නම් අන්න ඒ තැන හෙමීට ඉරල අරගෙන, කපාගෙන තමන්ගේ සිවුරට මූට්ටු කරගන්නවා.
අන්න ඒ වාගේ සැරියුත් හාමුදුරුවො මතක් කරනවා මේ සමාජයේ මිනිස්සු අතර විවිධ අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් ගැන හිතන්න යන්න එපා. අපිට එයාගේ චරිතයෙන් ගත හැකි පාඩම මොකද්ද. හොඳ දේ මොකක්ද ? එයා තුළ තියෙන හොඳ ලක්ෂණය තේරුම් අරගෙන,අන්න ඒ හොඳ දේ විතරක් අපේ ජීවිතයට බද්ධ කරගන්න. පුරුදුවෙන්න. එතකොට අර තරහ පාලනය කරගන්න පුළුවන්. මොකද එයා නරක නොසිතන නිසා. හොඳම හිතන නිසා. ඒ තමයි පළමුවෙනි උදාහරණය.
දෙවෙනි උපමාව
දෙවෙනි පුද්ගලයාගේ වැඩ හොඳයි. හඬ හොඳ නෑ. එයාට දීපු උදාහරණය තමයි, ඔන්න කවුරු හරි මනුෂ්‍යයෙක් එනව හොඳටෝම තිබහෙන් ග්‍රීෂ්මයෙන් පීඩාවට පත්වෙලා තිබහ ඇතිව එනව. එයා එන පාරේ තියෙනව වතුර පොකුණක්. හැබැයි වතුර පොකුණේ හොඳටම දිය සෙවෙල, කොළ ජාති වැටිල වතුර අපවිත්‍රවෙලා තියෙන්නේ. මෙයාට හොඳටම තිබහ තියෙන නිසා වෙන තැනකට යන්න ඉඩකුත් නැති නිසා මොකද කරන්නේ. අර පොකුණ ළඟට ළංවෙලා අත්වලින් අර දිය සෙවෙල කොළ කැලි ඉවත්කරල ඉවරවෙලා කුණු ජරාව ඈතට කරල ඒවායේ ගැටෙන්න පැටලෙන්න යන්නේ නැතිව, හෙමිහිට බොහොම පරිස්සමෙන් ඒවා ඉවත් කරල පිරිසිදු තැනකින් වතුර ටිකක් උඩට අරගෙන බොනවා.
අන්න ඒ වාගේ මේ සමාජයේ මිනිසුන් අතර විවිධ දුර්වලතා තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු ගැනම හිත හිතා අපි අපේ මනස කිලිටි කරගන්නේ නැතිව පුළුවන් තරම් එයාගේ හොඳ ලක්ෂණ තියෙනවා නම්, හොද ගතිගුණ තියෙනවා නම් ඒවා ඉස්මතු කරගන්න. ඒවා උඩට අරගෙන අපේ ජීවිතයට සමීප කරගන්න පෙළඹෙන්න.
තුන්වෙනි උපමාව
තුන්වෙනි එක්කෙනා, එයාගේ හඬත් හොඳ නෑ. වැඩත් හොඳ නෑ. හැබැයි ඉඳල හිටල හොඳ සිතිවිල්ලක් පහළ වෙනවා. ඉඳල හිටලා හොඳ සිතිවිල්ලක් පහළ වෙනවා කියන එක පොඩි දෙයක් නේ. හැබැයි පොඩි දේ වුණත් අපි වටහා ගන්න ඕනේ. ඒකට දීපු උදාහරණය තමයි, දැන් ඔන්න ග්‍රීෂ්මයට අහුවෙච්චි පිපාසිත පුද්ගලයෙක් එනව. වතුර බොන්න කොහෙන් හරි තැනක් හොය හොයයි එන්නේ. වෙන කොහේවත් වතුර නෑ. එක තැනක මඩ වෙච්ච මැටි පොළවක, හරකෙක් ගියාට පස්සේ, ඒ හරකාගේ කුර සටහන, පිය සටහන මේ පොළවේ රැඳෙනවා ඔය හරක් කුරේ ඇතුළේ පොඩ්ඩක් වතුර පිරිල තියෙනවා. වෙන කොහේවත් වතුර නෑ.
දැන් මේ මනුස්සයට තේරෙනවා වෙන කොහේවත් වතුර නෑ මෙතන විතරයි වතුර තියෙන්නේ කියල. ඒ නිසා එයා මොකද කරන්නේ අර හරක් කුරේ තියෙන තැන දිගා වෙනවා. දැන් අත දාලා බොන්නත් බෑ අතට වඩා හරක් කුරේ පොඩිනේ ඒ නිසා දිගාවෙලා අත් දෙක දෙපැත්තේ තියාගෙන අර හරක් කුරේ වතුරට තොල් ළංකරනවා.තොල් ළං කරලා සුරුස් ගාලා අදින්නේ නෑ. මඩත් එක්ක නෙ එහෙම වුණාම වතුර එන්නේ. එනිසා හෙමීහිට හෙමිහිට තොල් තෙම තෙමා, තොල් පොඟව පොඟවා වතුර ටික බොනවා.
අන්න ඒ වාගේ මේ සමාජයේ කායික ක්‍රියාවත් හොඳ නැති වාචසික ක්‍රියාවත් හොඳ නැති, ඉඳලා හිටල හොඳ සිතිවිල්ලක් ඇතිවෙන මිනිසුන් ගැන කල්පනා කරන්න ගියාම, වැඩියෙන් මතක්වෙන්නේ ම නරක තමයි. හැබැයි පරිස්සමෙන් හොඳට විමසිල්ලෙන් කල්පනා කරල බැලුවොත්, අර තොල් තෙම තෙම වතුර බොනව වගේ හොඳක් කොහේ හරි හොයගන්න පුළුවන්.
දැන් දේවදත්ත කියල කියන්නේ පාපකාරී මනුෂ්‍යයෙක් නේ. දේවදත්ත ගාවත් එක්තරා විධියකට බැලුවොත් අපිට ගන්න පාඩමක් තියෙනවා. මොකක්ද පාඩම. කොච්චර පව් කළත් අන්තිමේ දී බුදුහාමුදුරුවො හොයාගෙන ගියානේ. ඒක අපිට ගන්න තිබෙන පාඩමක්. ඉතින් දැන් දේවදත්ත බුදුහාමුදුරුවන්ට කරදර කළා බුදුහාමුදුරුවොත් එක්ක පැටලුණා කිය කියා අපිත් දේවදත්තත් එක්ක පැටලෙන්න ගියොත් මොකද වෙන්නේ. දන්නෙම නැතිව අපි අපේ හිතේ කේන්ති ඇතිකර ගන්නවා. එහෙම නේ ගොඩාක් අය කරන්නේ හොඳ ඛ්ඹ්තින් ගිහිල්ලා අපි තරහ ඇතිකර ගන්නවා.
හොඳ උදාහරණයක් ගනිමු. දැන් ගොඩක් අය සත්තු නිදහස් කරන්න යනවා නේ. අපි හිතමු දැන් උන්ව නිදහස් කරන්න ගිහිල්ලා ඉවරවෙලා හරක් ගව ඝාතනාගාරයට ගියාම, අහිංසක සත්තු මරණාසන්නෙ තැති අරගෙන දඟලන හැටි, බයෙන් කෑගහන හැටි දකිනවා. උන්ට බඩ එළිය යනවා. කඳුළු සලමින් කකුල් හතරම බිම දාගෙන අඬා වැටෙන හැටි දකිනවා. එහෙම සතුන් මරන්න ඇදගෙන යද්දී අර සතා කෙරෙහි කරුණාව ඇතිවෙනවා වගේම, අර මරන්න යන මනුෂ්‍යයා කෙරෙහි තරහ ඇති කරගන්නවා. සතා බේරාගන්න ගමනේම කියනවා ඔක්කොටම කලින් මේ මිනිහා මරල ඉන්ඩ ඕනෑ කියලා. හරකව බේරාගන්න ගමනින්ම අර ගව ඝාතකයාව මරණ සිතිවිල්ල ඇතිවෙනවා.
ඉතින් අන්න ඒ වගේ සමහරු ඉන්නව හොඳයි කියල හිතාගෙන නරක දේවල් ගැන කල්පනා කරල හිත කිලිටිකරගන්නවා. එහෙම නැතුව, මොන තරම් නරක මිනිහෙකුගේ වුණත් කොහෙන් හරි ගෑවිච්ච හොඳ දෙයක් තියෙනවා නම් අමාරුවෙන් හරි කළ යුත්ත කළොත් සැනසිල්ල තියෙන්නේ අපිට, ප්‍රයෝජනය තියෙන්නේ අපිට, මෙය ඉතාම අමාරු වැඩක්. හරියට අර හරක් කුරේ තියෙන වතුර ටික උරල බොනව වගේ.
හතරවෙනි උපමාව
ඊළඟ කාරණය තමයි, වචනයත් හොඳ නැති ක්‍රියාවත් හොඳ නැති සිතිවිලිත් හොඳ නැති අය කෙරෙහි තරහ යනව. එහෙම අය කෙරෙහි අපිට කරන්න තියෙන එකම දේ අනුකම්පා කරන එක විතරයි. හරියට මහා කාන්තාරයක් මැද වතුරත් නැතිව, කෑමත් නැතිව, බේතුත් නැතිව මරණාසන්නෙන් පණ අදින මිනිහෙක් දකිනව කවුරුහරි. කෙනෙක් එයාට උදව් කරන්න එයා ළඟ වතුරත් නෑ. කෑමත් නෑ බේතුත් නෑ වෙන තැනකට උස්සාගෙන යන්නත් බෑ. ගමක් පේනතෙක් මානේක නෑ. එහෙනම් මේ පණ අදින මනුස්සයා කෙරෙහි අනිත් මනුස්සයාට කරන්න තියෙන එකම දේ අනුකම්පා කරන එක විතරයි. අනික, ඒ මනුස්සය පුළුවන් කාලේ ඇවිල්ල වතුර ටිකක් එකතු කරගත්තෙත් නෑ.
කැම ටිකක් එකතු කරගත්තෙත් නෑ. බෙහෙත් ටිකක්වත් හරියට ගෙනල්ල නෑ. දැන් මොනව කරන්නද? කරන්න දෙයක් නෑ. ඉතින් එයාගේ කරුමෙ එයාට ගෙනියන්න වෙනව. එයා කරගත්ත දේවල්වලට අනුව එයාටම විපාක විඳින්න වෙනව කියල,එයා කෙරෙහි අනුකම්පාව ඇතිකරගන්න වෙනවා. “අනේ මට පිහිට වෙන්න පුළුවන්කම තිබුණා නම් මම මෙයාට පිහිට වෙනව නේ” කියල හිතල, හිතේ අනුකම්පාව ඇතිකර ගන්නවා.
ඒ වගේ සමහරු ඉන්නවා මොනව කළත් හොඳක් කරගන්න බැරි අය. හැම තිස්සේම තරහ ඇතිවෙන විධියට හැසිරෙන අය ඉන්නවා. එබඳු අය ;කරෙහි අපි අනුකම්පා කරමු. ඒ අයත් එක්ක ගැටෙන්න, පැටලෙන්න යන්නේ නැතිව ඉන්න උත්සාහ කරමු. ඒක තමයි නියම ක්‍රමය.
පස්වෙනි උපමාව
පින්වතුනි, ඊළඟ කාරණය තමයි අවසාන එක. හොඳ මිනිසුන් එක්කත් තරහ යනවා. මම කිව්වා එහෙම වෙන්නේ අපි හොඳ නැති නිසා කියල. ඇයි එහෙම වෙන්නේ ? හිතන්න ඕනෑ තරම් හොඳ තියෙද්දී ඒ ගැන හිතන්නේ නරක විධියට.
දැන් ඔන්න මනුෂ්‍යයෙක් එනව තිබහෙන්. ඒ මනුස්සයාට පොකුණක් හම්බවෙනවා. ඒ පොකුණේ වතුර හරිම ලස්සනට නිල් කැටේට තියෙනවා. පොකුණ වටේට ගස් වැල් වැවිල හොඳට හෙවණත් එක්ක. ග්‍රීස්මෙන් ඉන්න මනුස්සයා, තිබහෙන් ඉන්න මනුස්සයා, තිබහෙන් ඉන්න මනුස්සයා පොකුණ ගාවට ඇවිල්ල ඉස්සෙල්ලාම මොකද කරන්නේ? වතුර බොනවාද, බීලා නානවාද? නාලා බොනවාද ? නුවණ තියෙනව නම් මොකද කරන්නේ? බීලා නානවා නේද ? සමහරු ඉන්නව නාන්න බොනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඉතින් මෙයා බීලා නානවා. නාලා බොන්න ගියාම වෙන්නේ මොකද, තමන් කිලිටි කරගත් වතුර ටික තමයි එයාට බොන්න වෙන්නේ.
එයා නාලා ඉවරවෙලා ගහක් ගාවට ගිහිල්ලා බොහෝම සැහැල්ලුවෙන් විවේක සුවයෙන් ඉඳගෙන “අනේ කොච්චර භාග්‍යයක් ද මට මේ ලැබුණේ” කියල හිතල සතුටු වෙනවා. අන්න ඒ වාගේ කවුරුහරි හොඳ කෙනෙක් හම්බවුණාම එයත් එක්ක ගැටෙන්න පැටලෙන්න යන්න එපා. “අනේ මට මොන තරම් භාග්‍යයක්ද මේ වාගේ කෙනෙක්ව ඇසුර කරන්න මට මෙයාගේ හොඳ තෙරෙන්නේ නැත්තේ මගේ නරක නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මම මගේ නරක අඩුපාඩු හදාගන්නවා. මෙයාට තව තව සමීපවෙන්න මම හොඳ වෙනව කියල අර ලැබිච්ච අවස්ථාවෙන් එයා හොඳට ප්‍රයෝජනය ගන්නවා.
අන්න ඔය විධියට මිනිස්සු කෙරෙහි අපට හිතන්න පුළුවන් නම් කල්පනා කරන්න පුළුවන් නම් අපේ හිතේ ඇතිවෙන මේ තරහ ගොඩාක් අඩුකරගෙන සැනසිලිදායක මානසිකත්වයෙන් කටයුතු කරන්න අපට අවකාශ සැලසෙනවා. ඉතින් අන්න ඒ සඳහා අපි දැනුවත් විය යුතුයි. අපි උත්සාහවන්ත විය යුතුයි. කටයුතු කළ යුතුයි. එයට පොඩි මඟ පෙන්වීමක් තමයි මම මේ දැන් සිද්ධ කළේ.
ඉදිරියට කියවන්න(ක්ලික් කරන්න)
තලල්ලේ චන්දකිත්ති හිමි
Name
*
First
Last
Email
*
Comment
*
Submit