නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
ආඝාත පටිවිනය සූත්‍ර ( ඉතිරි කොටස)
තව එක්කෙනෙක් ඉන්නව, ඒ තැනැත්තාගේ හඬ හොඳ නෑ. වැඩ හොඳයි. දැන් ඔන්න කොච්චර හොඳ වැඩක් කළත් කියනව “අයියෝ ඔහොම වුණාට එයාගේ කට හරි නෑනේ” ඔන්න ඔහොම කියනවා. අර වැඩ ගැන තක්සේරු කරල ඒක අගයන්න අපි පුරුදු වෙලා නෑ. අපි හුරුවෙලා නෑ. අපි හැම තිස්සේම අල්ලා ගන්නේ, අපි හැම තිස්සේම කුතුහලයෙන් විමසාගෙන බලාගෙන ඉන්නේ කොහෙන් ද වරදින්නේ කියලයි.
“හඬත් හොඳ නෑ, වැඩක් හොඳ නෑ, ඉඳල හිටල සිතිවිල්ලක් ඇති කරගන්නවා.”
එයාගේ හඬත් හොඳ නෑ වැඩත් හොඳ නෑ. හැබැයි ඉඳල හිටල පෝයට ගිහිල්ල සිල් ගන්නව. දැන් එහෙම අය ඉන්නවනේ කළොත් කරන්නේම නරක දෙයක්. කිව්වොත් කියන්නේම නරක දෙයක්. හැබැයි පෝයට කොහොම හරි සිල් සමාදන් වෙනව. දැන් ඔහොම එක්කෙනෙක් දැක්කාහම මොකද කියන්නේ? සිල් ගන්න අය නෙවෙයි, සිල් නොගන්න අයටයි වැඩියෙන්ම මෙහෙම චෝදනා කරන්නේ. ඒ අය කියනව වැඩක් නෑ ඉතින් හැම පෝයටම සිල් ගත්තට එයා මෙන්න මේ විධියට නේ හැසිරෙන්නේ.
ඒ විධියට හැසිරෙන කෙනෙක් හරි පෝයට සිල් ගන්න එකවැඩක් නෑ කියල කියන්න බෑ නේ. පෝය දවසේ හරි ඒ මනුස්සය හොඳ වෙනව නම් ඒක නේ අගේ කරන්න ඕනේ. එක දවසකට විතරක් මේක කරල හරියන්නේ නැහැ. එක එක වැරදි කියනවා. එක දවසකට විතරක් වත් කරන එක හරි කියලා කියන්න බෑ. ඒක හරි. හැබැයි හැමදාම කරනව නම් වඩාත් හරි. ඒකයි නියම දේ. එක දවසකට හරි හොඳ දෙයක් කරනව නම් ඒක කිසිසේත්ම නරකයි කියල ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද කරන්නේ හොඳ දෙයක්. අපේ සමාජයේ ගොඩක් අය ඇගයීම කරන්න සූදානම් නැහැ. අන්න ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්.
හොඳ දෙයක් තියෙනව නම් පුංචි දෙයක් හරි, ඒක අගයන්න අපි පුරුදු වෙන්න ඕනෑ. පොඩි දෙයක් වුණත් එහෙමයි. දැන් බලන්න උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිවෙලා, කෑම උයලා, රෙදි ටිකත් මැදල සපත්තුත් පොලිෂ් කරල වැඩටත් යවල ඔක්කෝම කරල දෙන නෝනාට තේ එක හදල තේ එකත් ළඟට ගෙනත් දීලා බිව්වට පස්සේ අඩුතරමේ ස්තුතියි කියලවත් කියනව ද? කෝප්පේ හෝදන්න ඕනෑ නෑ. අඩුගානේ තේ එක රහයි කියලවත් කියනවා ද? ඒවා මොකවත් නෑ. කිසිම ඇගයීමක් නෑ. හැබැයි තමන්ගේ නෝනලගේ වැඩ අගයන්නේ නැතිවුණාට අනුන්ගේ නෝනලාගේ වැඩ අගයන්න නම් යනව. එහෙම අය කොච්චර ඉන්නවද ඒ අගයන්න යන්නේ තමන්ගේ නෝනාට පහර ගහල.
අපි දැන් හිතමු.... කවුරු හරි නෝනා කෙනෙකුයි මහත්තය කෙනෙකුයි ඉන්න ගෙදරකට කෑමට ආරාධනා කරනව පිට ගෙදරකින්. ඉතින් ඒ ගෙදර නෝනත් හොඳට රසට කෑම ටික හදල තියෙනව. කෑම කාලා ඉවරවෙලා ඔක්කොම මේසේ වටේ වාඩිවෙලා ඉන්නවා.
පිටින් ගිය මහත්තයට දැන් හරිම උවමනාවක් තියෙනවා මේ කෑම අගයන්න “කෑම බොහොම හොඳට හදල තියෙනවා, බොහොම හොඳයි” කියල කිව්වාම හොඳටම ඇති. නෑ දැන් වැඩියෙන් අතින් දාන්න යනවා. මොනවද කියන්නේ? තමන්ගේ නෝනත් ළඟ තියාගෙන මේ මහත්තය කියනව අනිත් නෝනාට ඇහෙන්න, “කාලෙකට පස්සේ කටට රහට කෑම ටිකක් කෑවා.” කියලා. ඉවර නේ අර මනුස්සය සම්පූර්ණයෙන්ම ඉතින් එහෙම කියන්න හොඳ නෑ. ඒ ඇගයීම වුණත් තව කෙනෙකුට හානියක් නොවන විධියට කරන්න පුරුදු වෙන්න ඕනෑ.
පින්වතුනි, ඒ නිසා තව කාගේ හරි පුංචි දෙයක් වුණත් තියෙනව නම්, අන්න ඒ දේ සොයල බලන්න. එහෙම පොඩි දෙයක් හරි හොයන කොට පිරිසිදු වෙන්නේ අපේ හිතයි. පුංචි හරි නරකක් හොයන කොට කිලිටි වෙන්නෙත් අපේ හිතමයි, ඉතින් හොයන කොට වැඩියෙන්ම තියෙන්නෙත් නරක නම් ප්‍රබලව දකින්න තියෙන්නේ නරක නම්, ඒ නරකටම එල්ලෙන්න යන්නේ නැතිව, පුළුවන් තරම් අනුන්ගේ හොඳක් දැකල ඒ හොඳ තුළින් අපේ හිත පිරිසිදු කරගන්න සලසා ගන්න උනන්දු වෙන්න ඕනෑ.
“හඬත් හොඳ නෑ වැඬත් හොඳ නෑ. ඉඳල හිටලවත් හොඳ සිතිවිල්ලක් පහළ වෙන්නේ නෑ.”
සමහරු ඉන්නව හඬත් හොඳ නෑ, වැඩත් හොඳ නෑ, ඉඳල හිටලවත් ඒ අයට හොඳ සිතිවිල්ලක් පහළ වෙන්නේ නෑ. පෝයටවත් සිල්ගන්න යන්නේ නෑ. එහෙම අයට මොනවද කරන්න වෙන්නේ. ඒ අයත් එක්ක ගැටෙන්නත් බෑ. පැටලෙන්නත් බෑ. කියන දේ අහන්නෙත් නැත්නම් මොකක්ද කරන්න තියෙන එකම දේ. ඒ අයගෙන් ඈත්වෙන්නත් බැරි නම්, ඒ අය දාලයන්නත් බැරි නම් බැඳ ගත්ත බෙරේ ගහන්නත් ඕනෑ නම්, කරන්න තියෙන එකම දේ අනුකම්පා කරන එක විතරයි. එයාලත් එක්ක ගැටෙන්න යන්න එපා. පැටලෙන්න යන්න එපා. එයාලත් එක්ක ගැටෙන ගැටෙන මොහොතක් පාසා, පැටලෙන පැටලෙන මොහොතක් පාසා පිරිහෙන්නේ අපි කියල තේරුම් අරගෙන පුළුවන් තරම් ඉවසීමෙන් අනුකම්පාවෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනෑ.
ඊළඟට දැන් ඔය වගේ අයත් එක්කත් සාමාන්‍යයෙන් මිනිසුන්ට කොහොමත් තරහ යනවනේ, හිතන්නේ නරක දේවල් නම් කියන්නේත් නරක දේවල් නම්, කරන්නේත් නරක දේවල් නම්, ඒ අයත් එක්ක තරහ යනවා. එහෙම තරහ පාලනය කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනෑ.
“හඬත් හොඳයි, වැඩත් හොඳයි, සිතිවිලිත් හොඳයි”
ඊළඟ පුද්ගලයාගේ වචනත් හොඳයි, හඬත් හොඳයි ක්‍රියාවත් හොඳයි. වැඩත් හොඳයි, සිතිවිලිත් හොඳයි. එහෙම හොඳ අයත් එක්කත් තරහ යනව ද? සාමාන්‍යයෙන් කියන්න බලන්න, හොඳ අයත් එක්කත් තරහ යනවා ද? යනව. හොඳ අයත් එක්ක ඇයි අපිට තරහ යන්නේ? අපි නරක හින්දා. වෙන මොකවත් නිසා නොවේ. මේ ලෝකේ හොඳ දේවල් කරන හොඳ දේවල් කියන, හොඳ දේවල් සිතන මිනිසුන් එක්කත් ගැටෙන පැටලෙන උරණ වෙන අය කොච්චර ඉන්නවද? එහෙම වෙන්නේ ඒ පුද්ගලයා නරක නිසා.
වෙන මොකවත් නිසා නොවේ. එතකොට නරක මිනිස්සු කැමැතියි තමන්ගේ අදහස් හා ගැළපෙන උදවිය ඇසුරු කරන්න. හොඳ මිනිස්සු කැමැතියි තමන්ගේ අදහස් හා ගැළපෙන හොඳ අය ඇසුරු කරන්න. නරක කෙනෙකුට හොඳ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් බොහෝ වේලාවට ඒ නරක මනුෂ්‍යයා හැදෙන්නේ නැති කෙනෙක් නම් අර හොඳ මනුෂ්‍යයාගේ හොඳ හමුවේ නරක එක්කෙනා උරණ වෙනවා. මෙහෙම හිතන්න. දැන් කවුරු හරි දුස්සීල කෙනෙක් ඉන්නවා. දුස්සීල එක් කෙනෙක් ඉන්න ගෙදරක, කවුරු හරි කෙනෙක් සිල් සමාදන් වෙන්න යනව නම්, එතකොට අර මනුස්සයා යන මොහොතක් මොහොතක් පාසා, අර දුස්සීලයා බණිනවා. ඒක තමයි හැටි. ගොඩක් ගෙවල්වල නෝනල කලාතුරකින් තමයි මහත්තයාගෙන් බැණුම් අහන්නේ නැතිව සිල් සමාදන් වෙන්න යන්නේ නේද?”
අද නිවාඩු දවසෙත් යනව මෙතන කන්න උයන්නෙත් නැතිව“ කියලා ඔන්න සමහර වෙලාවට, අර සිල් සමාදන් වෙන එකට බණිනවා. එහෙම අය කොච්චර ඉන්නවා ද? භාවනා කරන්නේ නැති එක්කෙනා තව කෙනෙක් භාවනා කරනව දැක්කාම, ඒකට දොස් කියනවා “මෙතනටම ආවා නේ බොරුවට භාවනා කරන්න” කියලා අරක අගයන්න බෑ. දන් දෙන්නේ නැති එක්කෙනා දන්දෙන එක්කෙනාට දොස් කියනවා “බොරුවට සෝබනයට දෙනවා අනිත් අයට පෙන්නන්න. අනිත් අයට කරදර කරන්න අපහසුවට පත්වෙන්න දෙනවා.” ඔය ආදී වශයෙන් කියනව. ඒ මොකද? ඒ අයගේ සිතිවිලි ගැළපෙන්නේ නැති නිසා සමාන අදහස් නොමැති නිසා එයාලා ගැටෙනවා.
පින්වත්නි, බුදුහාමුදුරුවො දවසක් ගිජ්ක්‍ධකූට පර්වතයෙහි වැඩ සිටින විට දකිනව සැරියුත් මහ රහතන් වහන්සේ ළඟින් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සක්මන් කරනව. සැරියුත් හාමුදුරුවො කියන්නේ ප්‍රඥාාවන්ත භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා, එතකොට සැරියුත් හාමුදුරුවො ළඟ ඉන්නේ ප්‍රඥාාව දියුණු කරගන්න කැමැති භික්‍ෂූන් වහසේලා. මුගලන් හාමුදුරුවො සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න කැමැති අය අතර අග්‍රයි. මුගලන් හාමුදුරුවො ළඟ ඉන්නව භික්‍ෂූන් පිරිසක් සක්මන් කර කර.
ඒ හාමුදුරුවො මේ ඍද්ධි ප්‍රාතිහාර්ය වලට කැමැති අයයි. දැන් ඍධි ප්‍රාතිහාර්ය වලට කැමැති අයත් එහෙම නේ. එහෙම ප්‍රාතිහාර්ය පෙන්වනව කිව්වාම එහෙම කැමැති අය යනව නේද? සාමාන්‍යයෙන් යන්නේ නැති වුණාට ප්‍රාතිහාර්ය පෙන්නනව කිව්වාම එදාට විශේෂයෙන් යනව. දැන් චෛත්‍ය වන්දනාවලටත් එහෙමයි. ලංකාවේ අවුරුදු දෙදාස් ගණන් තිබ්ච්ච චෛත්‍ය ඕනෑ තරම් තියෙනව. හැබැයි රැස් විහිදෙනව කිව්ව ගමන් ලක්‍ෂ ගණන් මිනිස්සු යන්නේ අර ඒ ප්‍රාතිහාර්ය බලන්නයි . ඒ වාගේ සාමාන්‍ය සිතිවිලි තියෙන කොට ඒවාට එකතු වෙනව බොහොම ඉක්මනට.
ඊළඟට සීවලී හාමුදුරුවො ප්‍රත්‍ය ලාභීන් අතර අග්‍රයි. සීවලී හාමුදුරුවො ළඟත් හාමුදුරුවො හාමුදුරුවරු කිහිප නමක් සක්මන් කරනව. සීවලී හාමුදුරුවො ළඟ හිටියොත් කෑම වරදින්නේ නෑ කියල දන්න කට්ටිය තමයි සීවලී හාමුදුරුවොත් සමඟ ගනුදෙනු කරන්නේ.
ඔය අතරේ දේවදත්ත හාමුදුරුවොත් පිරිසක් අල්ලාගෙන පැත්තකට වෙලා ඇවිද ඇවිද ඉන්නව. දේවදත්ත හාමුදුරුවො කියන්නේ, පාපිෂ්ඨ භික්‍ෂූන් අතර අග්‍ර කෙනා. මේ පවිටු අදහස් තියෙන අය තමයි දේවදත්ත හාමුදුරුවන්ට ගැළපෙන්නේ.
මේ සිද්ධිය දුර ඉඳල බලා ඉන්න බුදුහාමුදුරුවො කියනව, “ධාතුසො භික්ඛවේ සත්තා සංසන්දෙන්ති සමෙන්ති” මහණෙනි, මේ ලෝකේ සත්ත්වයෝ ඔවුන් ඔවුන් හා ගැළපෙනව එකතු වෙනව අදහස් වශයෙන්, අදහස් ගැළපුණ තැන එකතු වෙනවා. අදහස් නොගැළපෙන තැන බෙදෙනවා. ගැටෙනවා. රංඩුවෙනවා, පැටලෙනවා. එතකොට මේ ලෝකේ ගළපන්නම අමාරු දේ තමයි අදහස්. භෞතික දේවල් නම් එක එක විධියට හදන්න පුළුවන්. මේ කැසට් එකක් නම් ඒ විධියටම කැසට් එකක් හදන්න පුළුවන්. බුදු පිළිමයක් නම් ඒ විධියටම තවත් බුදු පිළිමයක් හදන්න පුළුවන්. දැන් සත්තුත් ඒ විධියටම හදනව ක්ලෝනිකරණය කරල. එක එක විධියට එහෙම හදන්න පුළුවන් හැබැයි සිතිවිලි කියන ඒවා ලේසියෙන් ගළපන්න පුළුවන් එකක් නොවේ.
අන්න ඒ අමාරු කාර්ය යමෙකුට කරන්න පුළුවන් නම්, ඔවුන් ඔවුන්ගේ සිතිවිලි හා ගැළපෙන විධියට, සිතිවිලි පවත්වාගන්න පුළුවන් නම් එතන තමයි එකතුව තියෙන්නේ. සිතිවිලි ගැළපෙන්නෙ නැති තැන, නොගැළපෙන තැන ගැටුම, අර්බුදය අනිවාර්යයෙන් ඇති වෙනවා. එතකොට නරක සිතිවිලි තියෙන අයට, හොඳ සිතිවිලි තියෙන අය අල්ලන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඒ කට්ටියත් එක්ක රංඩු වෙනවා. හොඳ සිතිවිලි තියෙන අය නරක සිතිවිලි තියෙන අයත් එක්ක පෑහෙන්නේ නෑ. ඒ අය ගැළපෙන්නේ නෑ. ඒ අය බලන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න.
ඉතින් මේ සමාජේ සමහරු ඉන්නවා කොච්චර හොඳට හිටියත් තව තව අය බණිනව ඇවිල්ලා. අර නරක උදවිය, හොඳ දකින්න අකමැති උදවිය තමයි එහෙම බණින්නේ. ඉතින් අන්න එහෙම පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා එහෙම පුද්ගලයෝ ජීවත්වෙන සමාජයක ඉන්න කොට අපි කොහොමද අපේ මෛත්‍රී සිත රැකගන්න ඕනේ. කියන එක සැරියුත් මහ රහතන් වහන්සේ උපමා පහකින් මතක් කරනවා. බොහොම ලස්සණ උපමා පහක්.
පළමුවෙනි උපමාව
දැන් පළමුවෙනි එක්කෙනාගේ ස්වරූපය මොකක්ද? එයාගේ වැඩ හොඳ නෑ හඬ හොඳයි. අන්න ඒ වගේ සැරියුත් හාමුදුරුවො මතක් කරනවා. එයාගේ හොඳ දෙයක් තියෙනව නේ. හඬ හොඳයි හොඳ දේ ගැන හිතල හිත හදාගන්න . අන්න ඒ හොඳ දේ උකහා ගන්න පුරුදු වන්න. එතකොට ඒ තරහ පාලනය කරගන්න පුළුවන්. නරක දේ ගැන හිතනව නම්, හිතන කොට නම් තරහ යන්නේ හොඳ දේ ගැන හිතන්න. හරියට මෙහෙමයි.
දැන් ඔන්න පාංශුකූල සිවුරු පොරවන හාමුදුරු කෙනෙක් ඉන්නවා. පාංශුකූල සිවුරු කියල කියන්නේ මළ මිනී ඔතල කනත්තේ දාල තියෙන, ඕජස් ගලන, කුණු ගඳ ගහන කිලිටි වෙච්ච රෙදි කෑලි එකට මූට්ටු කරලා පිරිසිදු කරලා ඒවා අරගෙන මහල හදන සිවුරු. එහෙම සිවුරක් පොරවන හාමුදුරු කෙනෙක් එනව. ඔය හාමුදුරුවො ගමන් කරන පාරේ කුණු ජරාව ගෑවිච්චි, ගුලිකරල රෙදි කෑල්ලක් තියෙනවා.
ඉතින් මේ හාමුදුරුවො මොකද කරන්නේ. අර රෙදි කෑල්ලේ එක කොනක් වම් කකුලේ පාගාගෙන, පල්ලෙහාට නැවෙන්නෙත් නැතිව, හිටගෙනම අනිත් කකුලේ මහපට ඇඟිල්ලෙනුයි. අනිත් ඇඟිල්ලෙනුයි එක කොනක් තදකරල හිර කරගෙන, මේ රෙදි කෑල්ල එහාට මෙහාට පෙරලල බලනව. මොකටද මේ පෙරලල බලන්නේ, මේ රෙදි කෑල්ලේ කොහේද කුණු ගෑවිල නැත්තේ කියලා. එහෙම කුණු ගෑවිල නැති තැනක් තියනව නම් අන්න ඒ තැන හෙමීට ඉරල අරගෙන, කපාගෙන තමන්ගේ සිවුරට මූට්ටු කරගන්නවා.
අන්න ඒ වාගේ සැරියුත් හාමුදුරුවො මතක් කරනවා මේ සමාජයේ මිනිස්සු අතර විවිධ අඩුපාඩු දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් ගැන හිතන්න යන්න එපා. අපිට එයාගේ චරිතයෙන් ගත හැකි පාඩම මොකද්ද. හොඳ දේ මොකක්ද ? එයා තුළ තියෙන හොඳ ලක්ෂණය තේරුම් අරගෙන,අන්න ඒ හොඳ දේ විතරක් අපේ ජීවිතයට බද්ධ කරගන්න. පුරුදුවෙන්න. එතකොට අර තරහ පාලනය කරගන්න පුළුවන්. මොකද එයා නරක නොසිතන නිසා. හොඳම හිතන නිසා. ඒ තමයි පළමුවෙනි උදාහරණය.
දෙවෙනි උපමාව
දෙවෙනි පුද්ගලයාගේ වැඩ හොඳයි. හඬ හොඳ නෑ. එයාට දීපු උදාහරණය තමයි, ඔන්න කවුරු හරි මනුෂ්‍යයෙක් එනව හොඳටෝම තිබහෙන් ග්‍රීෂ්මයෙන් පීඩාවට පත්වෙලා තිබහ ඇතිව එනව. එයා එන පාරේ තියෙනව වතුර පොකුණක්. හැබැයි වතුර පොකුණේ හොඳටම දිය සෙවෙල, කොළ ජාති වැටිල වතුර අපවිත්‍රවෙලා තියෙන්නේ. මෙයාට හොඳටම තිබහ තියෙන නිසා වෙන තැනකට යන්න ඉඩකුත් නැති නිසා මොකද කරන්නේ. අර පොකුණ ළඟට ළංවෙලා අත්වලින් අර දිය සෙවෙල කොළ කැලි ඉවත්කරල ඉවරවෙලා කුණු ජරාව ඈතට කරල ඒවායේ ගැටෙන්න පැටලෙන්න යන්නේ නැතිව, හෙමිහිට බොහොම පරිස්සමෙන් ඒවා ඉවත් කරල පිරිසිදු තැනකින් වතුර ටිකක් උඩට අරගෙන බොනවා.
අන්න ඒ වාගේ මේ සමාජයේ මිනිසුන් අතර විවිධ දුර්වලතා තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු ගැනම හිත හිතා අපි අපේ මනස කිලිටි කරගන්නේ නැතිව පුළුවන් තරම් එයාගේ හොඳ ලක්ෂණ තියෙනවා නම්, හොද ගතිගුණ තියෙනවා නම් ඒවා ඉස්මතු කරගන්න. ඒවා උඩට අරගෙන අපේ ජීවිතයට සමීප කරගන්න පෙළඹෙන්න.
තුන්වෙනි උපමාව
තුන්වෙනි එක්කෙනා, එයාගේ හඬත් හොඳ නෑ. වැඩත් හොඳ නෑ. හැබැයි ඉඳල හිටල හොඳ සිතිවිල්ලක් පහළ වෙනවා. ඉඳල හිටලා හොඳ සිතිවිල්ලක් පහළ වෙනවා කියන එක පොඩි දෙයක් නේ. හැබැයි පොඩි දේ වුණත් අපි වටහා ගන්න ඕනේ. ඒකට දීපු උදාහරණය තමයි, දැන් ඔන්න ග්‍රීෂ්මයට අහුවෙච්චි පිපාසිත පුද්ගලයෙක් එනව. වතුර බොන්න කොහෙන් හරි තැනක් හොය හොයයි එන්නේ. වෙන කොහේවත් වතුර නෑ. එක තැනක මඩ වෙච්ච මැටි පොළවක, හරකෙක් ගියාට පස්සේ, ඒ හරකාගේ කුර සටහන, පිය සටහන මේ පොළවේ රැඳෙනවා ඔය හරක් කුරේ ඇතුළේ පොඩ්ඩක් වතුර පිරිල තියෙනවා. වෙන කොහේවත් වතුර නෑ.
දැන් මේ මනුස්සයට තේරෙනවා වෙන කොහේවත් වතුර නෑ මෙතන විතරයි වතුර තියෙන්නේ කියල. ඒ නිසා එයා මොකද කරන්නේ අර හරක් කුරේ තියෙන තැන දිගා වෙනවා. දැන් අත දාලා බොන්නත් බෑ අතට වඩා හරක් කුරේ පොඩිනේ ඒ නිසා දිගාවෙලා අත් දෙක දෙපැත්තේ තියාගෙන අර හරක් කුරේ වතුරට තොල් ළංකරනවා. තොල් ළං කරලා සුරුස් ගාලා අදින්නේ නෑ. මඩත් එක්ක නෙ එහෙම වුණාම වතුර එන්නේ. එනිසා හෙමීහිට හෙමිහිට තොල් තෙම තෙමා, තොල් පොඟව පොඟවා වතුර ටික බොනවා.
අන්න ඒ වාගේ මේ සමාජයේ කායික ක්‍රියාවත් හොඳ නැති වාචසික ක්‍රියාවත් හොඳ නැති, ඉඳලා හිටල හොඳ සිතිවිල්ලක් ඇතිවෙන මිනිසුන් ගැන කල්පනා කරන්න ගියාම, වැඩියෙන් මතක්වෙන්නේ ම නරක තමයි. හැබැයි පරිස්සමෙන් හොඳට විමසිල්ලෙන් කල්පනා කරල බැලුවොත්, අර තොල් තෙම තෙම වතුර බොනව වගේ හොඳක් කොහේ හරි හොයගන්න පුළුවන්.
දැන් දේවදත්ත කියල කියන්නේ පාපකාරී මනුෂ්‍යයෙක් නේ. දේවදත්ත ගාවත් එක්තරා විධියකට බැලුවොත් අපිට ගන්න පාඩමක් තියෙනවා. මොකක්ද පාඩම. කොච්චර පව් කළත් අන්තිමේ දී බුදුහාමුදුරුවො හොයාගෙන ගියානේ. ඒක අපිට ගන්න තිබෙන පාඩමක්. ඉතින් දැන් දේවදත්ත බුදුහාමුදුරුවන්ට කරදර කළා බුදුහාමුදුරුවොත් එක්ක පැටලුණා කිය කියා අපිත් දේවදත්තත් එක්ක පැටලෙන්න ගියොත් මොකද වෙන්නේ. දන්නෙම නැතිව අපි අපේ හිතේ කේන්ති ඇතිකර ගන්නවා. එහෙම නේ ගොඩාක් අය කරන්නේ හොඳ හිතින් ගිහිල්ලා අපි තරහ ඇතිකර ගන්නවා.
හොඳ උදාහරණයක් ගනිමු. දැන් ගොඩක් අය සත්තු නිදහස් කරන්න යනවා නේ. අපි හිතමු දැන් උන්ව නිදහස් කරන්න ගිහිල්ලා ඉවරවෙලා හරක් ගව ඝාතනාගාරයට ගියාම, අහිංසක සත්තු මරණාසන්නෙ තැති අරගෙන දඟලන හැටි, බයෙන් කෑගහන හැටි දකිනවා. උන්ට බඩ එළිය යනවා. කඳුළු සලමින් කකුල් හතරම බිම දාගෙන අඬා වැටෙන හැටි දකිනවා. එහෙම සතුන් මරන්න ඇදගෙන යද්දී අර සතා කෙරෙහි කරුණාව ඇතිවෙනවා වගේම, අර මරන්න යන මනුෂ්‍යයා කෙරෙහි තරහ ඇති කරගන්නවා. සතා බේරාගන්න ගමනේම කියනවා ඔක්කොටම කලින් මේ මිනිහා මරල ඉන්ඩ ඕනෑ කියලා. හරකව බේරාගන්න ගමනින්ම අර ගව ඝාතකයාව මරණ සිතිවිල්ල ඇතිවෙනවා.
ඉතින් අන්න ඒ වගේ සමහරු ඉන්නව හොඳයි කියල හිතාගෙන නරක දේවල් ගැන කල්පනා කරල හිත කිලිටිකරගන්නවා. එහෙම නැතුව, මොන තරම් නරක මිනිහෙකුගේ වුණත් කොහෙන් හරි ගෑවිච්ච හොඳ දෙයක් තියෙනවා නම් අමාරුවෙන් හරි කළ යුත්ත කළොත් සැනසිල්ල තියෙන්නේ අපිට, ප්‍රයෝජනය තියෙන්නේ අපිට, මෙය ඉතාම අමාරු වැඩක්. හරියට අර හරක් කුරේ තියෙන වතුර ටික උරල බොනව වගේ.තලල්ලේ චන්දකිත්ති හිමි