නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
සිහියෙන් වාසය කරමු
විශේෂයෙන් මෙත් සිතින් වාසය කරන්ට පුරුදු වෙන්න. මෛත‍්‍රී වඩන එක අතහැරගන්ට එපා. බහුල වශයෙන් මෙත් සිතින් වාසය කරන්ට පුරුදුවෙන්න. ඒ වගේම අනිත්‍යය ආයතන භාවනා වඩන්නත් පුරුදුවෙන්න. අනිත් හැම වෙලාවෙම සම්පජඤ්ඤය හුරුකරන්න. ඔය කරුණු තුන බහුලව පුරුදු කරගන්න උත්සහ කරන්න.
වාඩිවෙලා භාවනා නොකරන හැම වෙලාවෙම සම්පජඤ්ඤය හොඳට හුරු කරගන්න. සම්පජඤ්ඤය හුරු කරගැනීමෙන්ම " අපිට භාවනා කරන්න අමාරුයි" කියන කාරණය නැතිවෙලා යනවා. සම්පජඤ්ඤය හුරු කරනවා කියන එකත් කළබලයට කරන්ට බෑ. ඒක ටික ටික හුරුකරගන්න. එතකොට අපි ආයාසයකින් තොරව සංසුන් අය බවට පත්වෙනවා .
එහෙම නැත්නම් බලහත් කාරයෙන් සංසුන් වෙන්ට ගියොත්, බලහත් කාරයෙන් නිහඩව ඉන්ට ගියොත් ඒක අපිට අමාරුයි. හරියට අර හුලං පිරුණු රබර් බෝලයක් වතුර අස්සෙ ඔබල තියෙනවා වගේ. ඒ බෝලය, අපේ අත අතහැරිය ගමන් උඩට එනවා වගේ තමයි බලහත් කාරයෙන් කට වහගෙන කතානොකර ඉන්න එක.
ඒක ටික දවසක් තියෙයි. ඊට පස්සෙ අමාරුයි. ඒ නිසා අපි ආයාසයකින් පාලනය නොවන අය බවට පත්වෙන්ට ඕනැ. හිතා මතා තමා තුළම පාළනය ඇතිකරගන්ට ඕන.
ඒ සදහා අපිට හොඳම උපකාරය ලැබෙන්නෙ සතිපට්ඨානය තුළ පමනයි. වෙන දෙයක් තුල එබදු දෙයක් නෑ. සතිපට්ඨානය තුළ පමණමයි අපිට සැබෑ පාලනයක් (සංවරයක්) ඇති කරගන්ට පුළුවන් වෙන්නෙ. ඒ නිසා අපි විසින් සතිපට්ඨානය තුල වාසයකරන්ට පුරුදුවෙන්ට ඕනැ. ඒකට පහසුයි සති සම්පජඤ්ඤය හුරු කර ගත්තොත්.
අපි ආරම්භයේ ඉදලම සති සම්පජඤඤය හුරුකරගන්ට ඕනැ. ඒක, අපි තද නින්දෙ නැති අනිත් හැම වෙලාවෙම කරගන්ට පුරුදුවෙන්ට ඕනැ.ඒ වගේම තමයි මෙත් සිතින් වාසය කිරීමත්. ඒ වගේම තමයි යමක් අනිත්‍යය වශයෙන් දකින්ට අපි තුළ පුරුද්දක් තියෙන්ට ඕනැ. එතකොට අපිට සංසුන් ජීවිතයක් ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව.
ඒ කරුණු තුනවත් අඩුගානෙ පුරුදුවෙන්න. සති සම්පජඤ්ඤය , මෛත‍්‍රිය, ආයතන අනිත්‍යය විදිහට වඩන්න පුළුවන් කම. අඩුගානෙ ඒ කරුණු තුනවත් අපි පුරුදු වුනොත් බොහොම සංසුන්ව අපිට වාසය කරන්ට පුළුවන්කම තියෙනව.
සති සම්පජඤ්ඤය තේරුම් ගනිමු.
හැම වෙලාවෙම සති සම්පජඤ්ඤය හොඳට හුරුකරගන්න. අපි සාමාන්‍යයෙන් සති සම්පජඤ්ඤයෙන් බැහැරව වාසය කරනකොට අපේ සිත ඔහේ අයාලයේ යනවා. සිත අයාලෙට යනවා කියල කියන්නෙ පාලනයකින් තොරව එක එක දේවල් හිත හිතා ඉන්නවාටයි.
එතකොට එක එක ඒවා හිත හිතා ඉන්නවා කියල කියන්නෙ, එක්කො අපි අනුන්ගෙ ඇද හොයනවා. "අරයා මෙහෙමයි. මෙයා මෙහෙමයි. අරයා අරහෙම කීවා. මෙයා මෙහෙම කීවා" මේවගේ ධර්මයෙන් බාහිර දේවල් හිත හිතා ඉන්නවා. ඉතින් ඒවා පවත්ව පවත්වා ඉන්න කොට අප තුළ වැඩෙන්නෙ නීවරණ තමයි. අන්න ඒ එක එක දේ හිත හිතා ඉන්න ගතිය දුරු කරගන්න පහසු විධියක් තමයි සම්පජඤ්ඤය පුරුදු කරගැනීම.
අන්න එතකොට එයා, හිත එක එක දේවල් ඔස්සේ යන්න නොදී තමන් යමක් කරනකොට, තමන්ගේ කය හැසිරෙන විධියක් තියෙනවනේ, අන්න ඒකට සිහිය පවත්වාගන්නවා. තමන් ඇවිදගෙන යනවා නම් 'ඇවිදගෙන යනවා' කියන ඒ කායික ක්‍රියාවට සිහිය පවත්වාගෙන යනවා. නමුත් සාමාන්‍ය මනුස්සයා ඇවිදගෙන යනකොට කායික ක්‍රියාවට සිහිය පවත්වන්නේ නෑ. එයා වැඩක් නැති දෙයක් හිත හිතා තමයි ඒක කරන්නේ .එයා, කාපු දෙයක් ගැන හරි, කවුරුහරි බැනපු දෙයක් ගැන හරි ඔහේ හිත හිතා ඉන්න එක තමයි කරන්නේ. එතකොට වැඩෙන්නෙ නීවරණ.
දැන් අපිට කරන්න තියෙන්නෙ අපි යමක් කරනකොට, අර හිතට එන එක එක අදහස් අතහැරල දාල අපි පවත්වන කායික ඉරියව්වක් තියෙනවනෙ; ආන්න ඒ ඉරියව්වට සිහිය පිහිටුවාගෙන (නොඇලුණ, නොගැටුණ සිතින් යුතුව ) ඒ කටයුත්ත කිරීමට උත්සහ කිරීමයි. ඒක තමයි සති සම්පජඤ්ඤය පුරුදු වෙන කෙනා කෙරෙන්නේ .
එතකොට බලන්න කයට සිහිය පිහිටුවීමත් එක්ක වෙන්නෙ මොකක්ද? අර ඉබාගාතෙ යන හිත පාලනය වෙනවා. එතකොට නීවරණ වලට ආහාර නැතුව යනවා. එතකොට අපේ අවධානය යොමුවෙන්නෙ තමන්ගේම කයටයි. තමන්ගෙ කායික ක්‍රියාවටමයි අවධානය යොමු වෙන්නෙ. එතකොට අපි මේ විධියට වෑයම් කරනකොට අපිට අනුන්ගේ ඇද කුද හොය හොයා ඉන්න වෙලාවක් තියෙනවද? නෑ. ඇයි..? එයා වෑයම් කරන්නේ තමන්ගේ කයට සිහිය පිහිටුවා ගන්න. දැක්කද උපක්‍රමයෙන් නීවරණ දුරු කරන හැටි.
හැබැයි මේ කිසි දෙයක් කලබලේට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි කලබලේට මේවා නොකළ යුතුයි. මේ කළබල ගතිය අඩු කරගන්න හොඳ උපක්‍රමයක් මම කියන්නම්. ඒසදහා තමන් තුළ කැමැත්තක් උපදවා ගන්න "මේ බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මය මම පුරුදු කරගන්න ඕන. ඒක ආශ්වාද ජනකයි. ඒක සැප සහිතයි.ඒ වගේම විශ්මිතයි. මම මේ ධර්මය පුරුදුකරගන්න ඕන" කියල. කැමැත්තක් තිබුනොතින් එයා ඒක පුරුදුකරනවා ටික ටික.
අපි හිතමු ඔන්න වාහනයක් එලවන්න කැමති කෙනෙක් ඉන්නවා . එයා ඒකට ආසයි. එයා එකපාරටම ගිහින් වාහනය එළවගෙන යන්නෙ නෑනෙ නේද? එයා නිසිකෙනෙක් ඇසුරේ ටික ටික ටික වාහනය එලවන්න පුරුදු වෙනවා. එතකොට කළකදී එයා දක්ෂ රියදුරෙක් වෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මය වටහා ගන්න ඕන කියන හැගීම උපදවා ගන්න. "මම මේක කරන්න ඕන" කියල ආසාවක් උපදවා ගන්න. අන්න එහෙම ආසාව උපදවා ගත්ත කෙනා ඒ සඳහා වෑයම් කරනවා. මොකක්ද කරන වෑයම? පොත පත බලල ධර්මය ඉගෙන ගන්නවා . අවවාද අහනවා, ධර්මය ඉගෙන ගන්නවා. ඕන දේ සටහන් කරගන්නවා. එහෙම කරලා ටික ටික ටික ටික තමන් ඒ ධර්මය ප්‍රායෝගිකව පුරුදු වෙනවා.