නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
සතිපට්ඨාන දේශනා
කයෙහි ස්වාභාවික පැවැත්ම හා ඒ අනුව ක්‍රියාත්මක වන වින්දන, වේදනා හඳුනාගත් පසුව ඒ සෑම මෙහෙයවනු ලබන සිතේ ස්වභාවයද විමසමු. ලෝකයේ සියලුම දේ සිදුවන්නේ සිත මුල්කරගෙනයි. (චිත්තෙන නීයතී ලොකො. මනො පුබ්බංගමා ධම්මා) සිත හා කය ඔවුන් ඔවුන්ට උපකාරීවෙමින් පවතී. මේ උපකාරක සේවය නතරවනතුරු සත්ත්වයා සසර සැරිසරති. සසරින් මිදීම අපහසුවුවත් එය මනාව සිදු කරනු ලබන්නේ මිනිසා විසිනි.
බුදු පසේබුදු මහරහතන්වහන්සේලා පවා එම උසස් තත්ත්වයට පත්වූයේ මිනිසත් බවේදී පුරණලද ගුණ දහම්වල බලයෙනි. ඒ උතුමෝ සතුට සැනසුම හා විමුක්තිය ලබාගන්නා ක්‍රම - උපක්‍රම අප හමුවේ අඩුවක් නැතිව දක්වති. එම මග පෙන්වීම්වලට අනුව දෙවියන්ට නැති, ඇතැම් බ්‍රහ්මයන්ට නැති, ක්‍රියාශක්තියක් මිනිසාට ඇත. මිනිස්කම දියුණුකොට එම සංසාරික ජයග්‍රහණයන් තහවුරු කරගැනීමේ හැකියාව ලබා ඇති මිනිසා හොඳ අවබෝධයෙන් ධෛර්යමත් විය යුතුය. මිනිසාගේ එම ජයග්‍රාහි මොහොත එතරම් ඈත නොවේ. මෙහි සම්පූර්ණ වගකීම ඇත්තේ තමාටය. මේ සඳහා අත්හල යුතු දේත්, රැස් කළයුතු දේත් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් හඳුනාගත හැකිය.
ජීවිතය පුරා රැස්කළ දෙයින් මෙතෙක් සතුට සැනසුම සොයන නමුත් රැස්කිරීමේ මෙන්ම සැනසුම සෙවීමේද අවසානයක් නම් නොමැත. අප බුදුරදුන් නියත විවරණ ලබන අවස්ථාවේදී තමාසතු පරපුරු හතක සියලුම ධනය අත්හැර අත්හැරීම මුල්කර ගත්තාක් මෙන් වෙනත් සියලු දෙනාට කළ නොහැකිය. අස්කිරීම වුවද මනා චිත්ත සංයමයකින් පුරුදුකරගත යුතු වැදගත් දෙයකි. එයින් ලදහැකි ජීවිත සැහැල්ලුව භාවනා කිරීම තුළින්ම වටහාගත යුතුය.
ඇතැම් අය රැස්කළ බොහෝ දේ තුළ සිරකරුවන් වී සිටිති. කලක් යන විට එම ජීවිතය බොහෝ විට රුචිවෙයි. එහි ආදීනව දැකීමට තරම් හොඳ සිතක් ඉබේ පහළ නොවේ. සතිපට්ඨාන භාවනාවෙන් මේ සඳහා මග හෙළිකරගත හැකිය. ජීවිතයක පාලනයක්, සීමාවක් නැති බොහෝ ක්‍රියාවන් නිසා තම සිත ආතුර භාවයට පත්වෙමින් පවතින බව හඳුනාගැනීම භාවනාවේ මුල්ම අත්දැකීමයි. තමා ලෙඩෙක් බව හඳුනානොගෙන පිළියම් කළ නොහැකි ය. නොදැනීම සංවිධානවන ආසා, තණ්හා තම සිතදෙස අවංකව නිතර බැලීමෙන් හඳුනාගත යුතු වන අතර සිත දෙස බැලීමද නිතර නිතර කළ යුතුයි.
සතිපට්ඨාන භාවනාවෙන් ජීවිතයක ඇලෙන,ගැටෙන, කෙලෙස්වල ස්වභාවය දැනගනී. එම කෙලෙස් ඇත්වන්නේ පවතින්නේ වැඩෙන්නේ කුමන හේතූන් නිසාද. එයින් මිදෙන්නේ කෙසේද යන ප්‍රශ්න බොහොමයක් තමාගෙන්ම ඇසීමෙන් ඒ සඳහා සාධාරණවීමෙන් උවමනාව ඇතිනම් විසඳාගත හැකිය. චිත්ත සාමාධියද මේ සඳහා අත්‍යාවශ්‍යය.
චිත්තානුපස්සනාව සිතක් පිළිබඳව හැදෑරීම, ඉගෙනුම, හඳුනාගැනීම සඳහා මග පෙන්වීමක් සිදුකරනු ලබයි. සිතේ මූලික ලක්ෂණ තුනකි. රාග, දෝස, මෝහ, යනු රාගය යනු ඇලීමයි. ලෝභයයි. විටෙක මහත් පිබිදීමක්, තවත් විටෙක මහත් දුකක්, හොඳින් කථාකළ අය ගොලුවීමක්, අඟපසඟ වෙව්ලීමක්, මහත් අසහනයක්ද යන මේවා රාගයේ බාහිර ලක්ෂණයි. ඇතැම්විට රාගය හඳුනාගැනීම අපහසුයි. වාඩිවන ආකාරයට අනුවත් ඇතැම් යෝගීන්ට රාගික හැඟීම් ඇතිවෙනවා. මේ නිසාම පුරුෂ පක්ෂයට පරියාංකාසනයත් කාන්තාවන් අර්ධ පරියංකාසනයත් අදාළ වෙයි. ශරීර අවයව ඒ ඒ තැන්වල ගැටීම නිසාත් රාගාස්වාදය ඇතිවෙනවා. මොනම හටගැනීමක් වුවත් පවතින්නේ විනාශය සඳහායි. මේ ස්වභාවය දැනහැදින එයින් නොසැලෙන මනසක් ඇතිකර ගැනීම යෝගියෙකුගේ පිළිවෙල විය යුතුයි.
මේ සතිය සම්පජඤ්ඤය අවදිවූ තැන්සිට නින්දට යන අවස්ථාව දක්වාම පවත්වාගැනීම අවශ්‍ය වේ. යමක් ඉවත් කිරීමට නම් එය හොඳින් හඳුනාගත යුතුයි. තමා ඇසුරට එන දුරු කළ යුතු පුද්ගලයෙකු නිවසට ආ නිසා අකමැත්තෙන් වුවද සුහදව පිළිගන්නේ නම් ඔහු නැවත නැවත එයි. ඔහුගෙන් වසන්වීම දුෂ්කර වේ. පළමුවාරයේම ඔහු හොඳින් සොයා විමසා හඳුනා ගත්තේ නම් ඔහුගේ ගමන, ඇසුර වළකාගත හැකිය. එමෙන්ම රාගය, ලෝභය, ඇලීම හා ඒ නිසාම ඇතිවන තැවීම මුලින්ම උත්සාහයෙන් හඳුනාගත්තේ නම් ඉවත් කිරීම පහසුය.
“සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති.” රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් හඳුනාගෙන මෙනෙහි කිරීමෙන් රාගයෙන් ලෝභයෙන් සිත මිදීමත් සමඟම පෙර පසු නොවී “වීත රාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති.” එයින් මිදුන බව රාගයෙන් සිත මිදුන බව සිහියෙන් දැන සැනසුමක් ලබයි. සැනසුම ලැබුනේ රාග සිත හොඳීන් හඳුනාගැනීම නිසා ය.
එක් රාගික කල්පනාවක් ඉවත්වීමත් සමගම තවත් රාගික කල්පනා ඇතිවීම වළක්වාගැනීම පහසු නොවේ. වීතරාගී සැනැසුමද කලක් පවත්වාගැනීම සමාධි සිතකට බොහෝ විට අපහසු ය. සිතින් සිතට කල්පනාවෙන්, කල්පනාවට වෙනස්වීම යනු සිතක ස්වභාවය බව හොඳීන් හඳුනාගැනීමයි. කළ යුතු වන්නේ මේ මානසික පසුබිම මුල්කරගෙන රාගසහිත සිතින් මිදීමේ අවශ්‍යතාවය යෝගියෙකුට අනිවාර්යයෙන් කල්පනාවෙයි. එය පුද්ගලිකව තමාගේඋවමනාව අනුවම සිදුවන්නකි.
චිත්ත සමාධිය අඩුවත්ම රාගය පමණක් නොව ද්වේෂය හා මෝහය මුල්කරගත් කල්පනාවන්ද ඉදිරිපත් වේ. හැපෙන, ගැටෙන, තරහව ඇති වන්නේම බියක්ද මුසුකරගෙනය. එහි බිය යනු වෙනත් කිසිවක් නොව තමාගේම බැරිකමය. සතුරුවූ, නපුරු සතෙකු හමුවූවෙකු ඔහු මගහැර දුවන්නේ සතාට ඇති බිය නිසාම නොව තමන්ගේ බැරිකමට ඇති බිය නිසා ය. ඒ ද්වේෂය තරහව සිතක බොහෝ විට ඇතිවන්නේ චිත්ත සමාධියේ ඇති දුර්වලකම නිසා ය. එය යෝගියෙකු නියම ආකාරයෙන් සිතේ පවතින ස්වභාවය හඳුනාගතයුතු වැදගත් අවස්ථාවකි.
සාමුහිකව පිරිසක් සමඟ භාවනා කරමින් සිටින අතර එක් අයෙකු හෝ කැස්සායයි සිතමු. චිත්ත සමාධියෙන් තොර පුද්ගලයා තුළ මහත් ද්වේෂයක්, කලකිරීමක් අනිවාර්යෙන්ම ඇති වේ. ඔහුගේ කල්පනාව වන්නේ මේ අය සමඟ භාවනා නොකළ හැකි බවයි. නමුත්කළ යුතු වන්නේ තමන්ගේ හිතේ ස්වභාවය වටහාගෙන වඩාත් උත්සාහවත්වීමයි.
“සදොසංවා චිත්තං සදොස චිත්තංති” - තරහ සහිත සිත, තරහ සහිත සිතක් වශයෙන් හොඳින් සිතා බැලිය යුතු හඳුනාගත යුතුය.
“සමොහං චිත්තං සමොහ චිත්තංති පජානාති”. මෝහය, මෝඩකම (නුවණ වැසීම) නොහැකිකම මේ අතර සිතේ ඇතිවෙයි. මට තේරෙන්නේ නැහැ. කරන්න බැහැ. අනික් අයට හැකියි. මට නොහැකියි. නුවණ සිහිය යමක් අවිචාරයෙන් අල්ලාගැනීම නිසා වැසීයාමයි මෙහිදී වන්නේ මෙයද සිහි නුවණේ නොමේරුකම නිසා ඇතිවන බාධකයකි. මේ මානසික තත්ත්වය පිළිබඳව අත්දැකීම් කාටත් පාහේ ඇත. ඒ සැමදෙයක්ම හොඳින් මෙනෙහි කොට මෝහයෙන් මුලාවෙන් භාවනා සිත මුදාගත යුතුයි.
මනා සිහියෙන් හඳුනාගත් රාග දොස මෝහ කල්පනා අස්සාද ආදීනව නිස්සරණ යන අනුපිළිවෙලින් මෙනෙහි කරනවිට (ආශ්වාද රසය, එහිම දෝෂය, අඩුපාඩු හා අතහැර දැමීමේ අකැමැත්ත) තමා තුළ ඇති වූ එම කල්පනාවන් පිළිබඳව කිසියම් ලජ්ජාවකට පත්වීමත් සමග වීත රාග, වීත දෝස, වීත මෝහ (ආසාරහිත, තරහ රහිත, මුලාවෙන් වැලකී ) සිතිවිලි ඇති වේ. ඒ මොහොතක් පමණි. ඊළඟ මොහොතේ ඒ සියල්ලම වෙනස් වේ.
හැකිලුන කම්මැලි (සංකිත්ත) සිතක් මෙන්ම, කිසිම අරමුණක රඳවාගත නොහැකි විසිරී ගිය (වික්ඛිත්ත) සිතක් ඇති වේ. ඒ එක් මොහොතක් පමණි. මෙයද වෙනස් වේ. මෙසේ ක්‍ෂණිකව ඇතිවන වෙනසද හඳුනාගැනීමට තරම් චිත්ත සමාධියක් පවත්වාගත යුතු වේ. මේ සමාධිගත සිත ඊළඟ මොහොතේ සමාධිය තහවුරු වී ධ්‍යාන (මතුපිට ඕලාරික කෙලෙස් සමනය වීම) තත්ත්යට පත්වේ. ඉඳුරන් සමග මෙතෙක් පැවති සම්බන්ධය සිතෙන් අවසන් වී සිත හුදෙකලා ;වයි. ඇතැම් විට අරමුණ පවා නොදැනී යයි. මෙහිදී සිතුවිලි හඳුනාගැනීම කරයි. විග්‍රහ කිරීම , විස්තර කිරීම නොකරයි.
පංච නීවරණ ධර්මයන් යටපත් විතක්ක විචාරාදී වූ ධ්‍යාන අංග ඉදිරියට එන්නේ ද මේ අවස්ථාවේදී ය. ධ්‍යාන සිතේ (මහග්ගත) විපරීනාමය - වෙනස්වීම ස්වභාවිකය. මෙහි පවතින තාවකාලික බව භාවනාව තුළදී ඇතිවන සියලුම හැඟීම් සිහිපත් කරන අයට හොඳින් හඳුනාගත හැකිය. රෝගියෙකු ප්‍රතිකාර ගන්නා මුල් අවස්ථාවේදී දැණෙන තාවකාලීක සුවයක් මෙන් මහග්ගත සිත් ඇත්තාද වෙනස් වන සුවයක් ලබයි. පසිඳුරන් සමග පවත්නා අනිවාර්ය සබඳතාවය ඇරඹීමත් සමග අමහග්ගත (දුර්වල) තත්ත්වයට සිත ආපසු පත්වෙයි.
මෙයට බොහෝ දෙනකුටම හේතු වන්නේ ධ්‍යාන සිත කෙරෙහි දැක් වූ අධික ආශාවයි. ඒ අනුව මහග්ගත චිත්ත මට්ටම නැවත ඇති කර ගැනීමද දුෂ්කර වෙයි.
මේ සිත් දෙකම හොඳින් මෙනෙහිකොට සිත්වල ඇතිවන වෙනසක් සිතේ මූලික වශයෙන් ඇතිවන වෙනස්වීමේ සුවභාවයත්, හඳුනාගත් අයෙකුට එක සිතක්වත් අල්ලාගැනීම අවශ්‍ය නොවේ. වෙනස්වීම් (අනිත්‍යය) දකින විට විදර්ශනාව (විශේෂයෙන් බැලීම) මුල්කරගෙන සද්ධර්මාවබෝධයට යොමු වෙයි.
සිත දුර්වලවීම නිසා (අමහග්ගත) සමාධි සිතද දුර්වල වේ. සඋත්තරචිත්ත නමින් අනතුරුව එළඹෙන චිත්ත මට්ටම හඳුන්වනු ලබයි. බලවත් නොවූ සමාධි සිත යනු එහි ස්වභාවයයි. සිතේ තහවුරු වී පැවති එකඟ බව හා පසිදුරන්ගෙන් මිදීම සුලු වශයෙන් වෙනස් වූ අතර නැවත සමාධිය සම්පූර්ණ වීමට මුල පුරයි. එම සිත “අනුත්තරංවා චිත්තං” බලවත් වූ සමාධි සිත නමින් ගැණෙයි.
සමාධිය සමග නිරතුරුව නැගෙන වැටෙන සිත මොහොතක් පාසා වෙනස් වෙමින් පවතින සිත හඳුනාගැනීමේ අවස්ථාව උදාවෙයි. බාහිර කිසිම අයෙකුට දොස් පැවරීමෙන් තොරව තම සිතේ ස්වභාවය යහපත් ලෙස පිරිසුදුව, ශක්තිමත්ව පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම පෙළඹෙයි. ඒ අනුව “සමාහිතං චිත්තං” එකඟ වූ සිතක් ලබා ගනී ඒ සමගම “ අසමාහිතං චිත්තං “ සිතේ ස්වභාවය. (එකඟභාවය ) අහෝසි වෙයි.
මේ වනවිට චිත්තස්වභාව 10 ක් පිළිබඳව අත්දැකීම් ලබා ඇති යෝගියාගේ සති සම්පජඤ්ඤ(සිහිය හා නුවන) දියුණුවීම නිසා - “අනුපස්සනාඤාණය” - ( සිහි කිරීම්වලට අනුව ඇති වූ දැන හඳුනාගැනීම) වැඩෙන්නට පටන් ගනී.
සිතක පවත්නා ස්වාභාවික පැවැත්ම සැනසුම, සතුට, සහනය පතන කවරෙකු විසින් හෝ හඳුනාගත යුතු බවයි. බුද්ධානුශාසනය මෙවැනි විවිධ සාධක ඇසුරෙන් සිතක මහිම දැන හඳුනාගත් අයෙකුට සිතේ හැසිරීම්වලට අනුව නොසැලී පවතින්නට මෙන්ම සද්ධර්මය විමසා බලන්නටද වාසනාව හැකියාව ලැබෙනු ඇත.
සීමාසහිත කාලයකට පමණක් නොව අවදියෙන් සිටින සෑම මොහොතකදීම ජීවිතය පුරාම හොඳ සිතින් සත්‍ය දකින සිහියෙන් තමන්ටත් ලෝකයටත් බරක් නොවී “ සබ්බසත්ත හිතානුකම්පී ජීවිතයක්” සඳහා මග හෙළි පෙහෙලිවනු නො අනුමානය.
සද්ධර්මාබෝධය මුල්කරගත් යහපත් මානසික තත්ත්වයක් සඳහාම මහත් ඉවසීමෙන් සොයා, සිතා, මෙනෙහි කිරීමෙහි යෙදී සිටින අය සිතක පවතින ඊළඟ මට්ටම දැන හඳුනාගනී. එනම් එකඟ සිත එකඟ නොවූ සිත (සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං) අතර පවතින වෙනස සිතේ පෙරළීම දැනගනී. මේ ආකාරයෙන් සිතක පවතින විවිධත්වය ඉදිරියේ නොසැලී සිටිනවිට රාග, දෝස ,මෝහාදී, කෙලෙසුන්ගෙන් සිත මිදෙන අයුරුත් නැවත කෙලෙස් වැළඳ ගන්නා ආකාරයත් - “විමුත්ත චිත්තං, අවිමුත්ත චිත්තං” (කෙලෙසුන්ගෙන් මිදෙන සිත නොමිදෙන සිත) වශයෙන් දැන ගනී.
සිතක පවතින පෙරලෙන සුලුබව, සතර සත්‍යයන් අවබෝධවන මොහොත දක්වාම පවතින විස්මිත ස්වභාවය මේ චිත්ත විග්‍රහයෙන් ප්‍රකට වේ. සිත මුල්කරගත් කායානුපස්සනාව මෙන්ම කායික ක්‍රියා මුල්කරගත් වේදනානු පස්සනාව, සිතේ විවිධ පෙරළීම්වලට අනිවාර්යෙන්ම හේතු වේ. සිතක මුල් පියවර වශයෙන් නීවරණ ධර්ම අකුසල මූල ආයතන සය යන මේවා අතර පවතින සහ සම්බන්ධතාවය දක්නට හැකිය.
දෙවැනි පියවර (මහග්ගත, අමහග්ගත, උත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත) සිත ඉඳුරන්ගෙන් මිදී ලබන ධ්‍යාන මට්ටම හා ඒ හා සම්බන්ධ වෙනස්වීම් පෙනේ. සිතේ තුන්වෙනි පියවර කෙලෙසුන්ගෙන් මිදීම හා කෙලෙස් ඇතිවීම ( විමුත්ත, අවිමුත්ත) නිසා සිතේ ඇතිවන සැහැල්ලුව සැනසුම හා එයින් මිදීමයි.
දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථ කාම නිපාතිනො
චිත්තස්ස දමතො සාධු
චිත්තං දන්තං සුඛාවහං
(ධ.ප.චිත්තවග්ග.03)
සිත නිග්‍රහකොට යහපත් ලෙස හදාගත නොහැකිය.
සිත සැහැල්ලුය බර අඩුය. ඒ නිසා එක තැන රඳවාගත නොහැකිය.
සිත කැමති, කැමති අරමුණුවල හොඳ නරක නොබලා නවතී.
සිත දමනය කරගැනීම, හදා ගැනීම හොඳයි.
සිත දමනය කර ගැනීමෙන් (හොඳින් හඳුනාගැනීමෙන්) ලෞකික ලෝකෝත්තර සැප ලැබිය හැකිය.
ධම්මානු පස්සනා භාවනාව
අප සම්බුදුරදුන් වසර 45 ක් පුරා මහා කරුණාවෙන් වදාළ සියලුම දේශනා ධර්ම (ධම්ම) දේශනා වශයෙන් සැලකේ. ජීවිතයක ඇති තතු නියමාකාරයෙන් හඳුනාගැනීමට මේ දේශනාවන් උපකාරීවන නිසා ධම්මානුපස්සනා නමින් කැටිකොට දැක්වෙයි.
සිතේ ක්‍රියාත්මකභාවය මුල්කොට ඇතිවන මේ ධර්මයන් සිතේ පැවතීම අක්‍රියවීමත් සමඟ අහෝසි වී යයි.
මෙහි දැක්වෙන සියලුම ධර්මයන් කොටස් වශයෙන් පහකි.
එනම්
1. පංච නීවරණ ධර්ම
2.පංච උපාදානස්කන්ධ
3.සළායතන
4.සත්ත බොජ්ඣංග ධර්ම
5.චතුරාර්ය සත්‍ය ධර්ම
පංච නීවරණ ධර්ම
“ඉමෙ ඛො භික්ඛවෙ පංච නීවරණ, අන්ධ කරණ, අචක්ඛු කරණා, අඤ්ඤාණ කරණා, පඤ්ඤා නිරෝධියා, විඝාත පක්ඛියා, අනිඛ්ඛාණ සංවත්ථනිකා.”
(සං.නි. නීවරන සුත්ත)
මහණෙනි නීවරණ ධර්ම පහ (මිනිසා) අන්ධයෙක් බවට පත්කරවයි. නුවණ ඇස නැති කරයි.
සිතේ හා කයේ එකතුව ජීවිතයයි. ජීවිතයත් ධර්මයත් එකිනෙක වෙන්කළ නොහැකිය. මෙය විග්‍රහකිරීමේදී හොඳ ඉවසීමක් හා සන්සුන් මනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. පතලක් සාරා මැණිකක් සොයා ගන්නා කෙනෙකු මෙන් ඇප කැපවීම, වීර්යය, ඉවසීම ඉතාමත් අවශ්‍ය වේ. ජීවිතයක නියම ස්වභාවය නොදකින අයුරු නොදැණෙන අයුරු වසාගෙන ආවරණය කරන්නේ නීවරණයි. එම වැසීම්, ආවරණ පහකි.
1. කාමච්ඡන්ද,
2. ව්‍යාපාද,
3. ථින මිද්ධ,
4. උද්ධච්ච කුක්කුච්ච
5. විචිකිච්ඡා යනුයි ඒ.
“කාමච්ඡන්ද” යනු රූප සද්ද, ගන්ධ, රස හා පහස යන කාම වස්තූන් අනවබෝධයෙන් සුභ, සුඛ, යහපත්, හොඳ වශයෙන් ගෙන පරිහරණය කිරීමයි. ඒ ආවරණ පහෙන් වෙන් වූ ලෞකික ජීවිතයක් නම් නොමැත. මේ කාම වස්තූන් පිළිබඳව ඇති බලවත් කැමැත්ත නිසාම මම, මාගේ යන මමත්වය මුල්කරගත් සක්කාය දිට්ඨි ( මේ කය ස්ථීරයි යන වැරදි දැකීම) කල්පනාවන් තහවුරු වේ. ජීවිත ඇල්ම අධිකවීම නිසා සතුටක් සැහැල්ලුවක් නැති ජීවිතයක් උදාවෙයි. මෙයින් වැලකීම සඳහා යමක ඇති තතු හඳුනාගැනීමේ ඥානය ක්‍රමයෙන් දියුණුකරගත යුතු අතර සුභසුභ වශයෙන්ද, අසුභ, අසුභ වශයෙන්ද දැකීමේ ශක්තිය ඇතිකරගත යුතුය.
“ව්‍යාපාද” යනු සිතේ හැළහැප්පීම් (ගැටීම්) ඇති කරන අරමුණු අවිචාරයෙන් පිළිගැනීමයි. මේ පිළිගැනීම්වලට අනුව කයද විපරීත (විකෘති) ස්වභාවයට පත් වේ. චිත්තානු පස්සනාවේදී “ සදොසංවා චිත්තං සදොස චිත්තන්තී පජානාති” රූපාදී අරමුණු සමග ගැටීම් වශයෙන් පිළිගැනීම හා කල්පනා කිරීම මෙහි ස්වභාවයයි. යම් පුද්ගලයෙකු දිනකට වාර ගණනාවක් නිරන්තරයෙන් “තරහ ගැනීම” යනු කයෙහි හා සිතෙහි නීරෝග භාවය විනාශ කර ගැනීමකි. කයෙහි යහ පැවැත්මට හා චිත්ත සමාධියට උපකාරීවන රුධිරය (ලෙය) කිළිටුවීම හා රත්වීම ව්‍යාපාදයෙන් සිදුවේ. මේ රෝගී මානසික තත්ත්වයෙන් මිදීම සඳහා අනුකම්පාව (කරුණාව) තරහ නැති සිත (මෛත්‍රිය) මොහොතක් පාසා පවත්වාගත යුතුයි.
මෙත්තා විහාරී යො භික්ඛු
පසන්නො බුද්ධ සාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං
සංඛාරූප සමං සුඛං. (ධ.ප.25)
මෙත් සහගත සිතින් යුතු භික්ෂුව බුදු සසුනෙහි පැහැදීමට පත්වීද, ඔහු සියලුම සංස්කාරයන්ගෙන් මිදේ. නිවනට පත් වේ.
“ථීණ මිද්ධය” යනු කුසල ධර්මයන් අනුව ක්‍රියාකිරීමට උත්සාහයක් නැතිවීමයි. කයේ හා මනසේ ඇතිවන අලසභාවයයි. චිත්තානුපස්සනාවේදී” සංඛිත්තංවා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති.” කුසල ධර්ම විෂයෙහි තමා තුළටම හැකිලී ගිය සිතක් ඇතිවම වශයෙන් ප්‍රකටවන්නේද මෙයමයි. වඩාත් බලවත් අරමුණ ඉටුවන තෙක් නොකඩවා කරන වීර්යයෙන් “ථින මිද්ධය” දුරුකරගැනීමට හැකිය.
“උද්ධච්චි කුක්කුච්ච” නීවරණ යනු සිතේ පවත්නා නොසන්සුන්භාවය හා කළ නොකළ දේ ගැන ඇතිවන කළ කිරීමයි. මේ තත්ත්වය දවසේ වැඩිකාලයක් සිතේ පවතී නම් සමාජ ජීවිතය බොහෝ දුරට අවුල්වන අතර සමාජ ප්‍රතිලාභද අඩුවේ.