නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
සතිපට්ඨාන දේශනාව
කිසියම් පින්වත් පුද්ගලයෙකු සතර සතිපට්ඨාන ධර්මයන් බුදුරදුන් පෙන්වා වදාළ ආකාරයෙන් අවුරුදු හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අඩුම වශයෙන් සතියක් (දින හතක්) වැඩිදියුණු කරන්නේ නම් අරහත් භාවයට හෝ අනාගාමි මාර්ගඵලාවබෝධයට පත්වනු ඇත.
(යෝහි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, ජ වස්සානි, පංච වස්සානි, චත්තාරී වස්සානි, තීනි වස්සානි, ද්වෙ වස්සානි, එක වස්සං, ද්වෙ මාසානි, මාසො, අඩ්ඪ මාසො, සත්තාහං තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාඨිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සතිවා උපාධිසේසෙ අනාගාමිතා)
සතිපට්ඨාන දේ්ශනාවේ පරමාර්ථ
1. කෙලෙසුන්ගෙන් අපිරිසිදුවී සිටින සත්වයන්ගේ පිරිසිදු භාවය ලබාගැනීම.
2. දුකින් පීඩාවට පත්ව සුසුම් හෙලමින් හඬමින් සිටින සත්වයන් ඉන් වලක්වාලීම.
3. කායික මානසික දුකින් මිදීම.
4. සතර සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම.
5. අමාමහ නිවන් සදා සැනසීම ලබාගැනීම.
6. ඒකායනොඅයං භික්ඛවෙ මග්ගො.
(1. සත්තානං විසුද්ධියා. 2. සෝකපරිද්දවානං සමතික්කමාය. 3. දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය. 4. ඤායස්ස අධිගමාය. 5. තිබ්බාණස්ස සච්ජිකිරියාය.)
සතර සතිපට්ඨානය
1. කයෙහි කය පිළිබඳ ස්වභාවය, ඇතිසැටිය, මනාලෙස දකිමින් වාසය කිරීම.
2. වේදනාවෙන් විදීම් කෙරෙහි ස්වභාවය හොඳින් දකිමින් වාසය කිරීම.
3. නාම රූපයක් නිසා ඇතිවූ සිත පිළිබඳව මනා අවබෝධයෙන් දකිමින් වාසය කිරීම.
4. පංච නීවරණාදි ධර්මයන් පිළිබඳව ස්වභාවය දකිමින් වාසය කිරීම, (යදිදං චත්තාරො සතිපට්ඨාන) කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානු පස්සී විහරති. වෙදනාසු වෙදනානුපස්සී විහරති. චිත්තෙ චිත්තානුපස්සී විහරති. ධම්මෙ ධම්මානුපස්සී විහරති.)
සතිපට්ඨානයන් වඩන්නා සසරින් මිදීමට සුදුසුකම් ලබන අයුරු.
1. කෙලෙස්වලින් මිදීමේ වීර්යය. 2. ඒ සඳහා අවශ්‍ය නුවණ දියුණුවීම. 3. සතර සතිපට්ඨායන් කෙරෙහි යොමුකළ සිහියෙන් යුක්තවීම. 4. දුක පදනම්කරගත් ලෝකයේ ඇලීම හා ගැටීම දුරුකිරීම. (ආතාපි, සම්පජානො, සතිමා, විනෙය්‍ය ලොකෙ අභභිජ්ඣා දොමනස්සං)
කායානුපස්සනාව
* ආනාපාන සති භාවනාව * ඉරියාථ භාවනාව
* සම්පජඤ්ඤ භාවනාව * පටික්කුල මනසිකාර භාවනාව
* ධාතු මනසිකාර භාවනාව * නව සීවථික භාවනාව
ආසනය (ඉඳගැනීම)
පළඟ බැඳ (එරමිණිය ගොතාගෙන) හිස හා උඩුකය කෙලින් තබාගෙන වඩන භාවනා අරමුණ කෙරෙහි හොඳින් සිහිකල්පනාව යොමුකර ඉඳගනී. (නිසීදති, පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.)
සූත්‍ර දේශනා නිදානය
අප සම්මාසම්බුදුරදුන් භාරතයේ සොළොස්මහ ජනපද අතරවූ කුරු ජනපදයෙහි කම්මාස්ස දම්ම නම්වූ නියම් ගමේදී තමන් වහන්සේ සමග චාරිකාවේ යෙදී සිටි භික්ෂූන්වහන්සේ අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේ්ශනා කළහ. එම ගමේ බොහෝ ගම් වැසියෝ ද මේ සඳහා සහභාගි වූහ. එම ගම්වැසියන්ගේ විශේෂ වටහාගැනීමේ ශක්තියක් පැවති නිසා කුරු ජනපදයේදීම මේ දේශනය කළ බැව් සතිපට්ඨානය විස්තර කෙරෙන බොහෝ පොත්පත්වල සඳහන්වේ. ඒ කෙසේ වෙතත් අනිකුත් බොහෝ සම්බුද්ධ දේ්ශනා මෙන් සිවු පිරිසේ පළමු පිරිසවූ භික්ෂුන්ට මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද බව පෙනේ.
ආනාපාන සති භාවනාව
සෑම බෝධිසත්වයන් වහන්සේලාම සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා අවසාන අවස්්ථාවේ වඩන ලද භාවනාව වශයෙන් සඳහන් වන්නේ ආනාපාන සතියයි. “තථාගත මූලක කම්මට්ඨාන” “අවිජහිත කම්මට්ඨාන” යන නාමයන්ගෙන් මේ භාවනාව හඳුන්වන්නේ එම නිසාය. ආනාපාන සතිය කා විසිනුත් වැඩිය යුතු වැදගත් කමටහනක් බව මෙයින් ද ප්‍රකට වේ.
ආන + අපාන යන වචන දෙක එකට සම්බන්ධවීමෙන් ආනාපාන යන්න හැදී ඇත. ආන යනු ආශ්වාසයයි. අපාන යනු ප්‍රශ්වාසයයි. ආනාපාන සති යනු ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහියයි. ආනාපාන සතිය දක්වන සෑම තැනකම ඒ සඳහා වාඩිවෙන ආකාරය (ආසනය) දැක්වෙයි. “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳගැනීමෙන් ඉතා මැනවින් වඩන කමටහන කෙරෙහි සිහිය පිහිටුවාගත හැකි බව අවධාරණය කරයි. කායික රෝගීන්ට හිස, කඳ කෙළින් තබාගත හැකි අයුරු ආසනයක හිදගැනීම කළ හැකිය. කාහට වුවත් යමකට හේත්තුවීම සුදුසු නොවේ. පුරුෂ පක්ෂයට සම්පූර්ණ පළක් බැදීමත් (බද්ධපරියංකය වම්පය උඩ දකුණු පයත් වම්අත උඩ දකුණු අතත් තබාගෙන කෙලින් සිටින සේ උඩුකය තබාගැනීම) කාන්තාවන්ට අර්ධ පරියාංකයත් (පාදෙක පිටුපසට දමා ඉඳගැනීම) නියම වේ.
භාවනා කරන්නේ කෙසේද?
දෙ ඇස් වසාගෙන පපුව පිරෙන තරමට හුස්මපාරක් ඇතුළටගෙන පිටකර සුළඟ ඇතුළුවන විට පිටවෙන විට වදින (ස්පරුසවන) ස්ථානය හඳුනාගත යුතුයි. එම හුලංපාර වදින තැන සිත කල්පනාව පිහිටුවාගෙන හුස්ම ඇතුළුවන විට ඇතුළු වෙනවා. පිටවෙන විට පිටවෙනවා යයි සිහිකළ යුතුය. මේ හුස්ම සිහිකිරීම කම්මැලි නොවී හොඳින් පුරුදුකරගත යුතුයි. භාවනාව පටන් ගැනීමේදී සිදුකරන උවමනාවෙන් හුස්ම ගැනීම, හෙලීම ඊට පසුව නොකළ යුතුයි. එසේම හුස්මපාර සමඟ සිත ඇතුළට හෝ පිටතට ගැනීම ද නොකළ යුතුය. නොකළයුතු දෙයින් සම්පූර්ණයෙන්ම වැලකී මහත් ඉවසීමෙන් යුතුව භාවනාකිරීම මැනවි.
ආනාපාන සතිය වඩන ක්‍රම කීපයක්ම පවතී. එනම්
1. ගණනා 2 ඵුසනා 3. අනුබද්ධනා 4. ඨපනා ආදියයි.
ඉහත විස්තර කළ හුස්මපාර වදින තැන සිහිය රඳවාගෙන ඇතුළුවීම පිටවීම සිහිකිරීම, බාල තරුණ මහලු කා විසිනුත් බහුල වශයෙන් දැනට සිදුකෙරෙන ක්‍රමයයි. එය ඵුසනා නමි. ඒ අනුව ඵුසනා යනු හුළංපපාර වදින, ස්පරුසවන ස්ථානය මුල්කර ගැනීමයි.
ගණනා යනු ඇතුල්වීම පිටවීම ගණන් කිරීමයි. ඇතුල්වන විට එකයි. පිටවනවිට දෙකයි ආදී වශයෙන් එකේසිට 5, 8, 10 දක්වා ආරෝහන අවරෝහන ක්‍රමයට ගණන් කිරීමයි. (1, 2, 3,, 4, 5 – 5, 4, 3, 2, 1) මේ සඳහා ද සිත බාහිර අරමුණු කරා යානාදී සංවරකර ගත යුතුයි.
අනුබද්ධනා යනු ඇතුල්වීමත් පිටවීමත් අතර කාලය තුළ හැසිරෙන ආකාරය කෙරෙහි නාසය අඟ උරකුහරය (පපුව) යටිබඩ ආදී වශයෙන් සිහිකිරීමයි.
ඨපනා යනු භාවනාකරගෙන යනවිට සිත එකඟවීමේ ස්වභාවය හොඳින් වටහා ගැනීමයි. මේ හැම ක්‍රමයක්ම භාවනා පිළිබඳ අත්දැකීම් බහුල උපදේශකයෙකුගේ මගපෙන්වීම අනුව සිදුකළ යුතුයි.
භාවනාව යනු හිතට කෙරෙන හොඳම වෙදකමයි. කෙලෙස් හැගීම්වලින් ආතුරවී ඇති සිත ශක්තිමත් පිරිසිදු ක්‍රියාත්මක භාවයට පත්කළ හැක්කේ ධර්මය නැමැති බෙහෙත් නිසි අයුරු පත්‍යාපත්‍ය හරිහැටි දැන හඳුනාගෙන සද්ධාවෙන් යුතුව පානය කිරීමෙනි. (ධම්මොසධ සමං නත්ථි, එතං පිවත භික්ඛවො) මෙහි ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ භාවනා කිරීමයි. භාවනාව හැකිතරම් දුරට තමන්ගේම දෙයක් බවට පත්කර ගත යුතුයි. එයින් ධර්මයට ක්‍රමයෙන් ළංවන අතර තමන් ගැන හොඳින් හඳුනා ගතහැකිවෙයි.
ඇතැම් නොදන්නා අය හේතුඵල සම්පත් ගැනත්, පාරමිතා සම්පූර්ණ කිරීම ගැනත් සිතමින් භාවනා කිරීමට උත්සාහ නොකරති. මේ මහත්ම මුලාවකි. ජීවිතයක් නම් තමාටත් ලෝකයටත් බරක් නොවන අයුරු ඉතා හොඳින් සකස්කර ගැනීමට නිතර උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා හැකි අයුරු භාවනා කිරීම ඉතා හොඳ සත්කාරයක් බවත් අමතක කළ යුතු නොවේ.
ජීවිතය යනු ගිනි ගොඩවල් එකොළහක ක්‍රියාත්මක එකතුවකි. (ජරා, ව්‍යාධි, මරණ, ලෝභ, දෝස, මෝහ, ශෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාය) මේ සෑම අඩු වැඩිවෙමින් උපතේ සිට මරණය දක්වා ඇවිලෙයි. මේ ගිනිගොඩ කෙළවරක සිට නිවා ක්‍රමයෙන් අඩුකර ගත යුතුයි. ඒ සඳහා භාවනාකරන යෝගියාට ලැබෙන ඉඩකඩ වඩාත් වැදගත් වේ.
කමටහනක මැනවින් සිත රඳවා ගැනීමෙන් දියුණුකර ගන්නා චිත්ත සමාධියක් ඇත්තා ගිනි ඇවිලීමේ ස්වභාවය හා එයට මුල්වන හේතූන් දැන හැඳින සාමාන්‍ය ජීවිතයේ දී එම හේතුන්ගෙන් වෙන්වීමට, දුරුකිරීමට උත්සාහ කරයි. මෙය තමාගේ උත්සාහයෙන් මෙන්ම අවබෝධ ඤාණයෙන්ම කළ යුතු වේ.
ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය නොහොත් ආනාපාන සති භාවනාව තුළින් සිහිය මුල්කරගෙන නුවණ දැකීම වැඩෙන ආකාරය පියවරෙන් පියවර මෙසේ දැක්වේ.
එනම් “දීඝංවා අස්ස සන්තො... දීඝංවා පස්සන්තො... පජානති”. තමාගේ කය මුල්කරගෙන ඇතිවන (දිග, කෙටි වශයෙන්) වෙනස්වීම් හඳුනාගනී. මෙහිදී සිහියත් නුවණත් අවදිවන ආකාරය ප්‍රකටවේ.
ස්වාභාවික ජීවිතයේ පැවැත්ම තහවුරු කරන ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය හඳුනාගැනීමේ ප්‍රමාණයට අනුව ශාරීරික පහසු අපහසුකම් ගැන අනවශ්‍ය ආකාරයෙන් අල්ලාගැනීම නිසා ඇතැම්විට පසුබසින්නට ඉඩද ඇත. මනා ඉවසීමෙන් මෙන්ම සද්්ධාවෙන් මේ බාධකය (පලිබෝධය) ඉවත් කර ගැනීමට උත්සාහ කිරීම මැනවි.
ආනාපාන සතිය තුළින් වැඩෙන සිහියේ ප්‍රමාණයට ශක්තිමත් වන දැනුමෙන් නිරෝ්ධය ඉලක්ක කරගෙන සිත මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. නිරෝ්ධය යනු ජීවිතයක් පුරා ශක්තිමත් කරගෙන ආ අල්ලාගැනීම, රැස්කිරීම වෙනුවට අත්හැරීම, අස්කිරීම සඳහාම සිත පුරුදු කිරීමයි. තමා සතුව ඇතැයි කියන ජීව - අජීව සෑම දෙයක් පිළිබඳවම සිතේ ඇති බැදීම, ඇලීම පියවරෙන් පියවර ටිකෙන් ටික සැහැල්ලුකර ගැනීමයි. මේ නිසාම අත්විඳින සතුට සැනසුම ප්‍රමාණ කළ නොහැකිය.
තමා විසින් අත්‍යවශ්‍ය ලෙස සලකා දැන හෝ නොදැන තහවුරු කරගත් කායික මානසික බන්ධන (දේපොල සම්පත්, දූදරු, ස්වාමි, භාර්යාය, පදවි, පට්ටම්) දියුණුකර ගත් සිහිය නුවණ නිසා මුදා, විසුරුවා හැරීමට බර අඩුකර ගැනීමට මානසික අනුමැතියක් උදාවේ. තමා දකින ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ විපරී නාමය වෙනස්වීම (සමුදයවය) සෝවාන් මග ඵල නුවණ දක්වා දියුණු කළ හැකිය. (යංකිඤ්ගි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති. යමක් හටගනී ද ඒ සියල්ලම ඒ මොහොතේම විනාශයට පත්වේ.)
මේ ස්වභාව ධර්මයේ ස්වභාවය දැකීම, දැනීම සෝවාන් මග ඵල නුවණයි. චිත්ත සමාධිය නියම අයුරු ඇතිවීමට සිත කෙලෙස් පරිහරණයෙන් මුදාගත යුතු වේ. මේ තත්ත්වය උදාකරගැනීමට නම් ඇස කණ ආදී ඉඳුරන් සමග ඇති සබඳතාවයෙන් සිත ඉවත්කර ගත යුතුයි. සිතට සියලුම බාහිර ලෝකය පිළිබඳ තොරතුරු, පණිවිඩ ලබාදෙන්නේ ඉඳුරන් මගිනි. එම සම්බන්ධතාවය මුල්කරගෙන ඇලීම්, ගැටීම් ස්වාභාවිකව සිතක ඇතිවේ.
මූලික වශයෙන් ලෝභ, දෝස, මෝහ සමඟ කටයුතු කිරීමයි සාමාන්‍ය ලෞකික ජීවිතයක ස්වභාවය. මේ ක්‍රියාකාරීත්වයෙන් සැනසුම සතුට සොයන නමුත් එහි ස්ථිරත්වයක් ඇතිකර ගැනීම අසීරුය. ඉඳුරන් මගින් දෙන පණිවිඩ කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අල්ලාගැනීමෙන් සිතක මනා දියුණුවක් ඇති නොවේ. සිත සුරැකීමට නම් දියුණුකරගත් සිහියක් නුවණක් තිබිය යුතුමය. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීම විනා අල්ලාගැනීමට හෝ සිතෙහි තැන්පත්කර ගැනීමට ඉක්මන් විය යුතු නොවේ. මේ ආකාරයෙන් ඉවසීමෙන් හා විමසීමෙන් යුතු හොඳ සිතක උදාව ඇතිවන්නේ ආශ්වාස ප්‍රශ්වාස සිහිය (ආනාපාන සතිය) නියම අයුරු වැඩීමෙනි.
සෑම ලෞකික මිනිස් සිතක්ම බරවී පවතින්නේ කෙලෙස්වලටය. අවදිවූ මොහොතේ සිට නින්දට යනතුරාම පසිදුරන් සමග එක්වී නොදැනීම හා ආසාව (අවිද්‍යා හා තණ්හා) මුල්වී සිත්සතන් අපිරිසුදුභාවයට පත් වෙයි.
එක මිනිත්තුවක් හෝ මේ ක්‍රියා සමූහයෙන් සිත මුදාගැනීම යනු චිත්ත සමාධියයි. භාවනාකිරීමේ මූලික අරමුණ වියයුත්තේද මෙයයි. වතුරට බැසගත් මිනිසෙකු උඩ යට යන්නාක් මෙන් සිතේ සමාධිය ඇතිවෙයි. නැතිවෙයි. (සෝදනවා මඩේ දානවා) වීර්යය හීන සද්ධාව නැති අයෙකුගේ සිත එකඟකරගැනීමක් මෙවැනි ඵලරහිත ක්‍රියා සමූහයකි.
ආනාපාන සතිය දියුණු කරන්නාට ඇතුල්වෙන පිටවෙන සුළං පාරේ ස්වභාවය දැනෙන්නට පටන්ගනී. දිග කෙටි වශයෙන් තමාට හසුවන ස්වභාවය මැනවින් මෙනෙහි කිරීමෙන් සිතේ අවුල් සහිත දුබල තත්වය ක්‍රමයෙන් සීමාකර ගැනීමට අවස්ථාව සැලසේ.
දිගට ඇතුල්වන පිටවන හුස්ම හඳුනාගත් යෝගියා එහිම කෙටිවීම, ඉක්මන්වීම දැනගනී. මෙයින් ද ඔහු දැනුවත් කරන්නේ වෙනස්වීම, අනිත්‍යය පිළිබඳවයි. මේ සඳහා කිසියම් ප්‍රමාණයක චිත්ත සමාධියක් ද අවශ්‍යය. වෙනස්වීම යනු ලෝකයේ ස්වභාවයයි. ලෝකය යනු මිනිස් සිරුරයි එහි නියම තත්වය වන මේ වෙනස්වීම දකින දහම් ඇසක් (ධම්ම චක්ඛු) උපගවා ගැනීමට මහත්සේ උපකාරීවේ.
ආශ්වාස ප්‍රශ්වාස නොදැනීයාම ඇතැම් විට ගැටලුවක්. මේ සඳහා වූ හේතු කීපයකි. සිත බාහිර අරමුණක් කරායාම, අරමුණ සියුම්වීම, ථින මිද්ධය (වීර්යය හීනවීම) ක්‍රියාත්මකවීම. මෙහිදී යෝගියා කළ යුත්තේ සිත රදවාගත් ස්්ථානයෙන් බැහැරට නොගෙන සිටීමයි. සුලු වේලාවකදී පෙර පරිදි දැනෙන්නට දැනීම ඇතිවේ.
පසිඳුරන් සමග ක්‍රියාත්මක වන සිතේ ස්වභාවය අරමුණෙන් බැහැරට යාමයි. ඒ අනුව සිතේ ස්වභාව දෙකක් පවතී.
පළමුවෙන් යමක් ඉදුරන්ගේ සහායෙන් හඳුනා ගනී. එයින් නොනැවතී හඳුනාගත් දේ අල්ලාගෙන එය හොඳ නරක අවශ්‍ය, අනවශ්‍ය වශයෙන් විග්‍රහ කිරීමයි. මේ දෙකෙන් පළමුවැන්නෙන් පමණක් සෑහීමට පත්වීමට පුරුදුවිය යුතුයි. එසේ නොවන්නේ නම් සිතේ සමාධියක් මෙන්ම සසර පැවැත්ම සඳහා කර්ම රැස්කිරීම නවතාගන්නට නොහැකිවෙයි.
භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සිත දියුණුකර ගැනීමයි. දියුණුව යනු සිත මුල්වී ඇතිකර ගන්නා ලෝභ, දෝස, මෝහාදියෙන් සිදුවන දුබලකම්වලින් සිත ආරක්ෂාකර ගැනීමයි. දිගින් දිගටම භාවනාවෙහි යෙදී සිටින අවස්ථාවේ පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දීත් සිත පරෙස්සම් කර ගැනීම මනා අවධානයෙන් යුතුව සිදුකළ යුතුයි. සිහියේ ඇති වැදගත්කම වඩාත් මෙයින් ප්‍රකටවේ. ආනාපාන පිළිබඳ සිහියෙන් ඉන්නවා යනු ජීවිතය පුරා තත්පරයක් පාසා සිහියෙන් කටයුතු කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොර ජීවිතයක් නැත්තාක් මෙන්ම සිහියෙන් තොර ජීවත්වීමක් ද නැත. සිහිය, සතිය පවත්වාගන්නේ යම් ප්‍රමාණයකට ද ඒ ප්‍රමාණයට නුවණ ද වැඩෙනු ඇත.
නුවණ දැන හඳුනාගැනීමේ ශක්තිය මනා පුහුණුවකින් ලබාගත යුතු මහත්ම ලාභයකි. එය භාවනාකිරීම තුළින් ලබාගත හැකි බව (කුසල ධම්මෙ භාවෙතීති භාවනා) බුද්ධානුශාසනාවයි. මධ්‍යස්ථානයක් තුළ සමූහයක් වශයෙන් එක්රැස්ව භාවනාකිරීම යනු සුදුසුකම් ලද උපදේ්ශකයෙකු ඇසුරේ භාවනාව පුරුදු පුහුණුවීමයි. එතැන් සිට සමස්ත ජීවිතය පුරා සිහියෙන් හා නුවණින් අදාල කටයුතුවල යෙදෙමින් සිත රැකගැනීමට යෝගියා උත්සාහ කළ යුතුය. මේ අනුව භාවනා කළ යුතු වේලාව හා ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවේ. සිහි නුවණින් ගත කරන සෑම මොහොතක්ම කුසල් දහම් වැඩෙන අයුරු සිත ආරක්ෂාකරගත යුතුයි. පවත්වාගත යුතුයි. එය ඬයම අයුරු සිදුවෙනවා දැයි තමාගෙන්ම අසා විමසා, බැලීමේ වේලාවක් දවස තුළ මොනයම් අවස්ථාවක හෝ යොදාගැනීම වෙන්කර ගැනීම, පුරුදු කමටහන වැඩීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
“සබ්බකාය පටිසංවෙදි අස්ස සිස්සාමීනී... පස්ස සිස්සාමීති සික්ඛතී.” සියලු කයම මනා ලෙස වටහා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. පුහුණුවෙයි. මෙහි කාය, කය යනු මනස මුල්වී සිදුවන ක්‍රියාවයි. ඒ අනුව කාය නමින් ගැණෙන කොටස් තුනකි.
රූප කාය, මනෝ කාය, ප්‍රාණ කාය වශයෙනි. ඒ, රූපකාය යනු සතරමහා ධාතුන්ගෙන් සැදුන කාටත් පෙණෙන කයයි. මෙය ක්‍රියාත්මක වන්නේ මනස මුල්කරගෙන ය. එය මනෝ කායයි. ආශ්වාස ප්‍රශ්වාස කයකි. එය හඳුන්වන්නේ ප්‍රාණකාය නමිනි. මේ සියලුම කායයන් ඔවු නොවුන් සමග සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වේ. සම්බකාය, සියලු කය යනු මේ කොටස් තුනයි. මේ සියල්ල එකතුව කරන ක්‍රියාව නාම රූප පරම්පරා සැලැස්මයි.
ආනාපාන සති භාවනාව සද්ධාවෙන් මෙන්ම වීර්යයෙන් වඩන අයෙකුගේ මානසික මට්ටම ක්‍රමයෙන් දියුණු වෙනවා යනු සිහිය හා නුවණ වෙනදාට වඩා ශක්තිමත්ව ගොනුවීමයි. එහි පවතින සාමාන්‍ය තත්වය සියලුම කාය පිළිබඳව විමසමින් දකිමින් සිහිය පිළිබඳ පුහුණුව ලබන්නාට මැනවින් ප්‍රකටවේ.
ඇතැම් යෝගීන්ට ඇති භාවනා කිරීම ඉක්මනින් අවසන් කිරීමේ කැමැත්ත එතරම් සාර්ථක උත්සාහයක් නම් නොවේ. සිහිය වැඩෙන ප්‍රමාණයට දැනුමද ප්‍රාණවත්වන ආකාරයත් දැනගන්නා සෑම විටකම මනා ඉවසීමද ඇතිකර ගත යුතුවේ. ගමනේ ඉක්මනට වඩා අවශ්‍යවන්නේ ගමන් මග හරිහැටි හඳුනා ගැනීමයි.
“පස්සංභයම් කාය සංකාරං අස්ස සිස්සාමීති... පස්සසිස්සාමීති සික්ඛති.” ආශ්වාස ප්‍රශ්වාස කාය සංකාරය සංසිදුවාලමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි ඉතා මැනවින් සිහිනුවණ සංවර කරගනී.
සංඛාර යනු සත්‍ය නොදන්නා නිසා සකස්කරගන්නා දේය (අවිජ්ජා පච්චයා සංඛාරා) කාය වාග් මනො වශයෙන් ද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභී සංඛාර වශයෙන්ද විවිධ වේ. කය වචනය සිත තිදොරින් සංඛාර ඇතිවෙන අතර කුසල් අකුසල් ඒකරාශී කිරීමෙන් ද සංඛාර ඇතිවේ.
ආනෙඤ්ජාභි සංඛාර යනු ධ්‍යාන කුසල් සිතයි. නොසෙල්වෙන කම්පානොවන යන අදහසින් මේ නම භාවිතාවේ. මෙහි දී යෝගියාගේ සිහිය නුවණ යොමුවන්නේ කය මුල්කරගෙන ඇති කාය සංඛාරය කෙරෙහි ය. මේ දක්වා ආශ්වාස ප්‍රශ්වාස සිහියෙන් කය තුළ හඳුනාගත් ස්වාභාවික ක්‍රියාවන් ක්‍රමයෙන් මනා ඉවසීමෙන් ගොණුකරගන්නා අතර මෙතෙක් ඒවා නිසා හටගෙන තිබූ නොසන්සුංභාවය ද, සංසුන්භාවය දක්වා සංසිඳුවාගැනීම ද හොඳ සිහිය මුල්කරගෙන ඇති වෙයි.
මෙසේ කායික ස්වභාවයන් (කායානුපස්සනාව) හඳුනාගනිමින් ඒවා ඇසුරුකරගෙන සිත එකඟවීම සංවරවීම නිසා සිත ඉඳුරන්ගෙන් මිදීම භාවනා අරමුණ සමඟ හුදෙකලාවීම ඇරඹෙයි. මේ නිසා සංඛාර හටගැනීම ද නවතී. සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යන්නෙන් ප්‍රකටවන්නේ එයයි.
ඉඳුරන්ගෙන් හුදෙකලා වූ සිත හඳුන්වන්නේ ධ්‍යාන චිත්ත නමිනි. සමථ භාවනා වැඩීමෙන් ලබන සමාධිය යනු ද මෙයමයි. සාමාන්‍ය ජීවිතයක් ගතකරන අයෙකුට මේ චිත්ත සමාධිය දිගින් දිගට රැකගැනීම අපහසු ය. ධ්‍යාන වැඩීම සඳහා ම කැපවී සිටින සමථයානික යෝගියෙකුට සමාධි ගත සිත නොසිඳී ඉදිරියට පවත්වා ගතහැකි වෙයි. මේ ධ්‍යාන සිත වෙනස්වන නිසා කළයුතු වන්නේ විදර්ශනා භාවනා පැත්තට යොමු කර ගැනීමයි. ඒ අනුව විදර්ශනාව පහසුවන අතර මගඵල නුවණ උදාකරගැනීමට මහත් සහායයක් ද ලැබේ.
භාවනානුයෝගියෙකු සිත නිතර සමාධියට පත්කර ගැනීමට සමත්වුවහොත් ඉඳුරන්ගෙන් සිත මිදීම නිසා සංඛාර (හොඳ නරක) මුල්කරගෙන ඇතිවන මානසික නොසන්සුන්තාවයන් සංසිඳවාගැනීමට ද හුරුවෙයි. සංසිඳවීම යනු සිතේ ඇති වූ පිරිසිදුබවින් හා පිබිදීමෙන් කාය සංඛාරයන් දැනහැඳින අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගැනීමයි. මෙසේ හොඳ නරක පාලනය කරගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය වැඩිවෙනවා යනු ජීවිතය සෑම අංගයකින් ම පිරිසිදු වීමයි. ශක්තිමත්වීමයි. මෙලොව ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගැනීමට මේ මානසික තත්ත්වය බෙහෙවින් උපකාරී වේ.
බොහෝකලක සිට විඤ්ඤාණය විසින් නම් ගම් දී රැස්කරගෙන සිටින සංඛාර නොහොත් හොඳ නරක රැස්කරගැනීමට උපකාර කළ අයගෙන් (ඉදුරන්ගෙන්) මිදෙනවාත් සමඟ එම සමාධි සිත හොඳ සංවරභාවයකින්යුතුව ක්‍රියාත්මක වේ. ඒ පැහැදිලි සංවර සන්සුං සිත ප්‍රඥාව වශයෙන් හඳුනාගත හැකිය. එයින් හොඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් හඳුනාගත හැකිය. එයින් ;හාඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් ද විග්‍රහවීම නිසා නරක දේ ක්‍රමයෙන් ගිලිහීයන්නට පටන්ගනී.
මේ චිත්ත සමාධිය ධ්‍යාන සිත ලබාගැනීම සඳහා භාවනාකරන සියලුම දෙනා වනාන්තරගත විය යුතු නැහැ. ආනාපාන සතිය හොඳින් පුහුණු වූ අයෙකුට ස්ථානය හා වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවේ. එසේ ඇතිවෙනවා නම් දැනුම මෙන් ම පුහුණුව නියම අයුරු නොලබන නිසා වියහැකිය.
සියලුම මිනිසුන්ගේ එකම පොදු බලාපොරොත්තුව යහපත් ලෙස හොඳින් ජීවත් වීමයි. ඒ සඳහා ජීව, අජීව වස්තු සම්පත්වල හිමිකරුවන්වීමට ගන්නා උත්සාහයේ සීමාවක්නම් නැත. යහපත් ජීවිතයක් උදාකරගැනීම වස්තු සම්පත්වලින් පමණක් කළ නොහැකිය. උසස් සාර්ථක ජීවිතයක් සඳහා ලබාගත යුතු මූලිකම සම්පත ප්‍රඥා සම්පත්තිය (පඤ්ඤා ජීවිං ජීවතමාහු සෙට්ඨන්ති) බව බුද්ධානුශාසනාවයි. මේ කිසිම ප්‍රමාණයක චින්ත සමාධියක් හිමිකරගත යුතු ය. මෙහි ප්‍රඥාව යනු කිසියම් විෂයයක් පිළිබඳව අනුන්දෙන සහතිකවලින් ලබන්නක් නම් නොවේ. ස්කන්ධ පහ මුල්කරගත් තමා අයත් ලෝකය පිළිබඳව තමාම සකස්කරගත් දැනුම සහතිකය නම් ඒ පිළිබඳ වූ අවබෝධඤාණයයි.
“ඉති අජ්ඣත්තංවා... බහිද්ධාවා... අජ්ඣත්ත බහිද්ධාවා කායොකායානුපස්සී විහරති.’ තමාගේ යයි සලකනු ලබන කයෙහි ද බාහිර අනුන්ගේ කය පිළිබඳව ද තමාගේ හා අනුන්ගේ කය පිළිබඳව ද ස්වභාවය දකිමින් වසයි.
කායානුපස්සනාවේ දී සබ්බ කාය නමින් ගැනෙන රූපකාය, මනෝකාය, හා ප්‍රාණකාය වෙන් වශයෙන් මෙන්ම එකක් වශයෙන් ගෙන සියලුම ආවේගයන් (නොසන්සුන්කම්) සංසිඳවමින් වසන යෝගියා තමාගේ කය තුළින් දකිමින් හඳුනාගත් ස්වභාවයන් තමන්ගේ නොවන බාහිර කායයන් හා සසදමින් ගතකරන අවස්ථාව මෙයින් ප්‍රකටකරයි.
මෙහි දී තමන්ගේ කය මුල්කරගෙන ලබන ස්වභාවිකත්වය පිළිබඳ දැකීම, දැනීම, තුළින් අභ්‍යන්තර බාහිර සෑම කයකම එකම ධර්මස්වභාවයක් ක්‍රියාත්මකවන ආකාරය ද අවබෝධ වේ. සමාධිගත සිතක දියුණුවේ ප්‍රමාණය අනුව වැටහීමේ ප්‍රමාණය ද අඩු වැඩිවේ. බාහිර කායයන් ගැන අවිද්‍යා තණ්හා නිසා පවත්වාගෙන ආ නොදන්නාකම් මේ අනුව අවම කර ගැනීමට ද අවස්ථාව සැලසේ. බාහිර කායයන් නිසා මෙතෙක් ජීවිතය පුරා ඇති වූ ඇලීම් හා ගැටීම් කෙතරම් අසාරදැයි වැටහෙනවිට කිසියම් සංවේගයක් ඇතිවීම ද ස්වභාවිකය. දහසක් දෙනා අතර තමා දන්නා හඳුණන අය කෙරෙහි පමණක් ඇස හිත යොමු කළ හැකිවීමට මෙය ද සමාන කළ හැකිය.
සිහිය හොඳින් පවත්වාගැනීමේ ඵලයක් ලෙස අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේ දී හඳුනාගෙන එයට අදාළ ආකාරයට සංවරවිය හැකිය.
‘සමුදය ධම්මානුපස්සීවා... වය ධම්මානුපස්සීවා...... සමුදය වය ධම්මානුපස්සීවා කායස්මිං විහරති.’ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන ආකාරය ද මනා වැටහීමෙන් යුතුව දකිමින් කායානුපස්සනාවෙන් (කායික ස්වභාවයන් දකිමින්) වාසය කරයි.
ලෝකයේ ස්වභාවය ඇතිවීම, වෙනස්වෙමින් පැවතීම හා අභාවයට පත්වීමයි. (උප්පාද, ථිති, භංග) ආනාපාන සතිය ක්‍රමයෙන් දියුණුවන විට යෝගියා ආශ්වාස ප්‍රශ්වාස මුල්කරගෙන ම ඒ තුළින් ම ඇතිවීම නැතිවීම දකින ඇස (ධම්මචක්ඛු) ශක්තිමත් කරගනී. මෙය සත්‍යබෝධයේ පළමු පියවරයි. මිනිසාගේ උපතත් සම¼ඟ ආශ්වාස ප්‍රශ්වාස වාර ගණන ඉදුරන්ගේ ශක්ති ප්‍රමාණය (දැකීමේ ඇසීමේ ප්‍රමාණය) සනිටුහන් වී ඇති බවක් ද පෙනේ. සීමාවන් ඉක්මවායන අයුරු අධික ආසාවන්ගෙන් මුලාවී කටයුතු කරන විට නොකල්හි එවැනි ශක්තීන් පිරිහීමට පත්වේ. සෑම ශක්තියකම ඇති ස්වභාවය (ඇතිවීම නැතිවීම) දැන හැදින පිරිමැස්මෙන් යුතුවම පරිහරණය කළ යුතු වේ. ඒ පිළිබඳ යහපත් මග පෙන්වීමක් මෙයින් සැලසී ඇත. කුමන දෙයකින් හෝ අන්තයට යාම බුදු දහමින් වලක්වා ඇත්තේ එම නිසා ය.
“අත්ථිකායොතිවාපනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදේව ඤාණමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතොව විහරති, නව කිඤ්චිලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.”
ආශ්වාස ප්‍රශ්වාස නමින් කයක් පවතීයයි කය පිළිබඳ වූ සිහිය බලවත් ව පිහිටයි. අවබෝධය දියුණුවීම පිණිස බලවත් සිහියේ දියුණුව පිණිස පවතින සිතම, මාගේ, මාගේ, ආත්මයයි අල්ලා නොගෙන වසයි. ලෝකය හා සම්බන්ධ කිසිවක් අල්ලානොගනී. මේ අනුව භික්ෂුව කය පිළිබඳ ස්වභාවය දකිමින් වසයි. ආනාපාන සතිය වඩන යෝගියා පියවරෙන් පියවර අවසානයට පැමිණ ඇත්තේ ලෝකයේ කිසිවක් අල්ලා නොගනිමින් සැහැල්ලුමනසක් කරාය. මෙතෙක් කය මුල්කරගෙන සොයා සිතාබැලූ ඔහු දිග, කෙටි, සියලු කය, කය සංසිඳීම, බාහිර අභ්‍යන්තරකාය, සමුදයවන යන සියලු පරීක්ෂණ තුළින් කායික ස්වභාවය මනාලෙස අවබෝධ ඤාණයෙන් දැකීමේ මහත්ම ඵලයවූයේ ලෝකයේ සියලු අල්ලාගැනීම්වලින් මිදීමයි. (නච කිංචි ලොකෙ උපාදයති)
ඉරියාපථ භාවනාව
“ ගච්ඡන්තෝවා ගච්ඡාමීති.... ඨිතොවා ඨිතොම්හීති... නිසිස්නෝවා නිසින්නොම්හීති සයානෙවා සයානොම්හීති පජනාති. යථායථාවා පනස්ස කායො පණිහිතො හෝති තථා තථානං පජානාති.”
යන විට යන්නෙමියි සිටින විට සිටිමියි, හිඳින විට හිඳගෙන සිටිමියි, නිදනවිට නිදාගෙන සිටිමියි, හොඳින් දැනගනී, තමාගේ කය යම් ආකාරයකින් පවත්වනු ලබයි ද එය ඒ ආකාරයෙන් ම හොඳින් දැනගනී. කායානුපස්සනාවේ දී ඉරියව් පැවැත්වීම පිළිබඳ සිහිය දියුණු කරගන්නා අයුරු මෙයින් පැහැදිලි කෙරේ. උපතත් මරණයත් අතර කාලය ගතකරන සතර ඉරියව්වේ දී සතිය සිහිය මනාව පවත්වාගැනීමෙන් කායික වශයෙන් ඇතිවීමට ඉඩ ඇති සියලු වරදින් ආරක්ෂා වීමට පුලුවන.
සාර්ථක ජීවිතයක මූලික ලක්ෂණය වන්නේ තුන්දොර ශක්ති පමණින් රැකගැනීමයි. ආශ්වාස ප්‍රාශ්වාස සිහිය දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ශක්තිය යෝගියාට ලැබේ. තමා ගතකරන සෑම මොහොතක් ම සිහියෙන් සිටිනවා යනු පවතින මොහොතේ ජීවත්වීමයි.
(වත්තමානෙන යාපෙන්ති) සාමාන්‍ය ජීවිතයේ සෑම මොහොතක් ම ඉරියව් පිළිබඳ සිහියෙන් සිටීම ඉරියාපථ භාවනාවයි. එකිනෙක ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීම කෙනෙකුට පීඩාවක් කරදරයක් වශයෙන් සිතෙන්නට පුලුවන. එසේ සිතෙන්නේ එම ඉරියව් භාවනාව පිළිබඳ දැනුමක් පුහුණුවක් නියම අයුරු ලබා නොසිටීමයි. වැඩක් කරන්නාට සිහිය උපකාරයක් මිස කරදයක් නම් නොවේ.
ආනාපාන භාවනාව තුළින් ඇති කරගත් චිත්ත සමාධිය ඉරියාපථ භාවනාව නිසා තවදුරටත් තහවුරුවේ. මේ නිසාම බොහෝ අල්ලාගැනීම්වලින් පීඩාවට පත් ව ඇති මනස අත්හැරීම් ක්‍රියාත්මක වන ප්‍රමාණයට අනුව ක්‍රමයෙන් සැහැල්ලුවට පත්වෙයි.
ඒ සමගම අත්හැරීමෙන් දානයත් මනස සංවරවීමෙන් සීලයත් ඒ දෙකම නිසා භාවනාවත් (සිතේ මනාව ඇතිවන වැඩීමත්) නිරාමිසව සිදුවේ.පරමාදර්ශී බෝධිසත්ව ජීවිතයක විශේෂ ලක්ෂණය අත්හැරීමයි. (දානයයි) එය ක්‍රමයෙන් ජීවිතය අත්හැරීම දක්වා ම දියුණු කළහ. දාන පාරමී, දාන උප පාරමී, දාන පරමත්ථ පාරමී ( ආහාර වස්තු සම්පත්දීම, සිරුරේ අවයව දීම, ජීවිත පරිත්‍යාගය) මේ අනුව මාර්ග ඵල ජීවිතයෙන් බාහිරව බෝසත් ජීවිතයක් (ඵලදායී මනුෂ්‍ය ජීවිතයක්) සඳහා ද චිත්ත සමාධිය අවශ්‍ය බව අවධාරණය කෙරේ.
අප සම්බුදුරදුන් (සත් සති ගතකරමින්) සක්මන් කරමින් හා වැඩහිඳිමින් ආහාරයෙන් තොරව දින 49 ක් සතර ඉරියව් මුල්කරගෙන තමන්වහන්සේගේ චිත්ත සමාධිය පිළිබඳව කිසියම් සොයා බැලීමක් කළ බව ද පෙනේ.
මේ අනුව ඉරියාපථ භාවනාව කායික මානසික නීරෝගිභාවය සඳහා බෙහෙවින් උපකාරීවේ.
සම්පජාන භාවනාව
“අභික්කන්තෙ පටික්කන්තෙ... ආලෝකිතෙ විලෝකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ සංඝාටි පත්ත චීවර ධාරනෙ, අසීතේ පීතෙඛායිතෙ සායිතෙ උච්චාරපස්සාව කම්මෙ ගතෙ ඨිතෙ නිසින්නො සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජාන කාරී හොති.”
ඉදිරියට යාම ආපසු යාම ඉදිරිපස බලන විට, හාත්පස බලන විට අත් පා හකුලන විට, දිගහරින විට, පාත්‍ර සිවුරු දරන විට, පොරවන විට, අනුභවකිරීම, පානයකිරීම, සැපීම, රස විදීම, වැසිකිලි යාම, යන විට සිටින විට, වාඩිවූවිට, සැතපෙනවිට, අවදියෙන් සිටින විට, කථාකරන විට, නිහඬව සිටින විට කෙලෙස් නැසීමේ සිහියෙන් නුවණින් යුතුවේ.
ඉරියාපථ සම්පජාන භාවනා දෙකේ එතරම් වෙනසක් නොපවතී. ඉරියව් සතරට ම අයත් කුඩා සිහිකිරීම් ගණනාවක් මෙහි දැක්වෙයි. කායානුපස්සනාවේ දී කය තුළ ක්‍රියාත්මක වන සෑම වෙනසක් ම සිහිකළ යුතු අනුපිලිවෙළ ගොණුකොට ඇත. ඉදිරිය හා වටපිට බැලීමේ සිට කිසිදුවැඩක නොයෙදී නිහ¼ඬව සිටින අවස්ථාව දක්වා සිහිය නුවණ මැනමින් පවත්වාගැනීමට යෝගියා සමත් විය යුතුය. ඒ අනුව බලවත් කැපවීමක් සිහිය තහවුරු කර ගැනීමට අවශ්‍යය.
ජීවිතයක් තුළ සැනසුමත් සතුටත් උදාකරගැනීම මිනිසුන්ගේ උත්සාහයයි. දුක් පීඩා ඇති කරගැනීමට කවරෙකු හෝ අකමැතිය. සිහියෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරන සෑම දෙනාට බොහෝ ජීවිත ප්‍රශ්න යහපත් ලෙස විසඳාගැනීමට හැකියාවක් ලැබේ. මේ සඳහා හොඳ අභ්‍යාසයක් සම්පජාන භාවනාවෙන් පුරුදු කරයි. මෙහි දී සිහිනුවණින් කලට වේලාවට ගුණ අගුණ දැන ප්‍රතිකාරකරන්නාක්මෙන් තමා කය මුල්කරගෙන සිදු කෙරෙන සියලු දේ ගැන අවදිව සිටීම ද අවශ්‍ය වේ.
කායික වෙනස්වීම් කෙරෙහි මෙසේ සිහිනුවණ අවදිකිරීම නිසා දැකිය යුතු බොහෝ දේ පිළිබඳව අවබෝධඤාණය කයත් සිතත් සංවරව පරිහරණය සඳහා අවශ්‍ය ශක්තිය ඇතිකරනවා පමණක් නොව ඇලීම් ගැටීම් ද අඩු වී සහනශීලි මනසක් ද ඇතිවෙයි.
කායික කුදු මහත් සියලු සිදුවීම් කෙරෙහි සිහියෙන් කටයුතු කිරීමේ දසී එම සිහිය නුවණ පිළිවෙලින් කොටස් හතරකට බෙදේ.
1. සාත්ථක සම්පජාන 2. සප්පාය සම්පජාන 3. ගෝචර සම්පජාන, 4. අසම්මොහ සම්පජාන වශයෙනි.
(1) ඉරියව් පැවැත්වීම සාර්ථක දැයි තීරණයකිරීම. මානසික අනුමැතියෙන් සිත මුල්වී කය තුළ ඇති වන වෙනස්වීම් සද්ධර්මාවබෝධය සහ නුවණින් යොමුවීමේ සාර්ථක – අසාර්ථක භාවයන් විමසා බැලීමයි. ප්‍රයෝජනයක් ඇති නම් පමණක් කළ යුතු බව.
(2) ඉරියව් පැවැත්වීමේ දී එය ප්‍රයෝජනවත් වුවත් සුදුසු නුසුදුකම් සොයාබැලීම, තමාගේ පිරිසිදු මානසිකත්වය රැකගැනීමට නොහැකි ඉරියව් ගමන් ආදියෙන් වැලකීම.
(3) අවශ්‍ය දේ පමණක් ගැනීම. අනවශ්‍ය දේ අත්හැරීම, පුරුදුකර ගෙන ආ කමටහන අත් නොහැරීම ද මෙයින් අදහස් කෙරේ.
(4) සාත්ථක, සප්පාය, ගෝචර යන සැමදෙයක් ම ඉවසීමෙන් විමසීමෙන් ඉක්මන්නොවී ක්‍රියාකිරීම, කායික සියලු ක්‍රියාවන් සතරමහා ධාතූන්ගේ ආධාරයෙන් මනසේ නියෝගයෙන් ම සිදුවනු විනා ඒ සැමට ප්‍රධානවන සත්වයෙකු පුද්ගලයෙකු නොමැති බව වටහාගැනීම.
ආශ්වාස ප්‍රශ්වාස සිහිය පුහුණුකිරීමෙන් ඇතිකරගත් චිත්ත සමාධියම මේ සැම අවුලක් ම ලිහා ගැනීමට උපකාරවේ.
ජලය බෙදාහැරීමේ දී ප්‍රධාන ජලටැංකිය අපිරිසිදු නම් එයින් ජලය ගමන් කරන අතිරේක සියලුම ජලනල අපිරිසිදුවන්නේ යම්සේද එසේ ම මනසේ පිරිසිදුභාවය තහවුරු වී ඇති නම් මනස හා සම්බන්ධ අනිකුත් ආයතන අපිරිසිදුවීමට හේතුවක් නොමැත.
ආයතන මගින් මනස අවුල්කිරීමට ද නොහැකිය. මොහොතින් මොහොත ආයතන (ඉන්ද්‍රිය) සම්බන්ධයෙන් මිදුන සිත (ධ්‍යාන සිත) ජීවිතයට සලසන මහා මෙහෙය මෙයින් අවධාරණය කෙරේ.
සම්පජානයෙන් කෙළෙස් මැඩීමේ නුවණින් සෑම ඉරියව් පැවැත්මක් ම හඳුනාගැනීමේ යහපත් හැකියාවක් ඇති නම් ඕනෑම පිරිසක් ඇසුරු කරමින් කුමන ස්ථානයකවූවත් වාසය කිරීම ප්‍රශ්නයක් ගැටලුවක් නොවේ.
සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් වන ශරීරය එම ධාතු ශක්තීන් අඩු කරමින් වැඩි කරමින් මනස විසින් පාලනය කරන ආකාරය ද සම්පජානයත තුළින් දැනගත හැකිය.
පටික්කූල මනසිකාර භාවනාව
නාම රූප දෙකේ වෙනස ඔවුනොවුන් ඔවුනොවුන්ට සහායවන අයුරු මේ සම¼ඟ මෙහෙයවන්නෙකු නැති බව ආදි ස්වභාවික සිදුවීම් සමූහයක ඇති තතු දැන ගැනීමෙන් ජීවිත බන්ධන රැසකින් මිදීමේ මග හෙලිවනු ඇත.
‘පුනව පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනො පච්චචෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචො’..
මහණෙනි අනික් භාවනාවක් ගැන කියමි. භාවනාකරන පුද්ගලයා පාදවලින් උඩ හිසකේවලින් යට සම අවසන් කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණු මේ සිරුරම සිහි නුවණින් බලයි.
‘සෙය්‍යථාපි භික්ඛවෙ උභතොමුඛ මුතොලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං, සාලීනං, විහීනං, මුග්ගානං, මාසානං, තිලානං, තණ්ඩුලානං, තමෙනං, චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චචෙක්ඛෙය්‍ය.’ මහණෙනි යම්සේ උඩ යට දෙපසින් මුව දෙකක් ඇති නොයෙක් වර්ගයේ ධාන්‍යවලින් පිරුණ මල්ලක්වේද (හැල්වී, වී, මුං ඇට, මෑ ඇට තල, සහල්) ඇස් ඇති පුරුසයෙක් එම මල්ල ලිහා ඒ ධාන්‍ය වෙන්කරන්නාක්මෙන් හිස සිට දෙපතුල දක්වා ඇති අපිරිසිදු දේ නුවණින් විමසා බලයි.
පටික්කුල මනසිකාරය යනු කය තුළ ඇති දෙතිසක් කුණුවැගිරෙන කොටස් එකිනෙක ගෙන මෙනෙහි කිරීමයි. විමසා බැලීමයි. පිලිකුල් භාවනාව, අසුභ භාවනාව යන නම්වලින් ද හදුන්වනු ලබයි.
මහා සතිපට්ඨාන දේශනාව මේ සියලුම කය අසූචියෙන් පිරුණක් ලෙස සලකා සිහිනුවණින් බලන ලෙස සඳහන් කරයි. අප ගන්නා ආහාරවලින් පෝෂණයවන සිරුර තුළ ඇති දිරාගිය කොටස් අසූචි නමින් ගනී. ආහාර පැසවා දිරායාම තුළින් දෙසතිස් කුණපකොට්ඨාස හටගනී. මේ සෑම කොටසක් ම ලේ, සැරව, මළ, මුත්‍රා, සෙම්, සොටු, කබ, කඳුලු, ඩහදිය යන කුණුවලින් ගැවසී ඇත. එම කොටස් කෙසේ, ලොම් නිය, දත්, සම් වශ(යෙන් ගෙන සිහිනුවණින් බලා පිළිකුල් සහගතව හඳුනාගැනීම මේ භාවනාව තුළින් සිදුවේ. මෙතෙක් සුභ වශයෙන් ගෙන පරිහරණය කළ තම සිරුරේ ස්වභාවිකත්වය දැන හඳුනාගැනීමෙන් ඒ පිළිබඳව අවිද්‍යා තණ්හා අඩුකරගන්නට මග සැලසේ.
මේ සියලුම ශරීර කොටස් මගේ යයි අල්ලාගෙන සිටින නමුත්, පෝෂණයකරන නමුත් කිසිම අයෙකුට රුචි පරිදි පාලනයකර ගැනීමට නොහැකිය. එම කොටස් නිර්මාණය වී ඇති සතර මහා ධාතූන්ගේ අඩු වැඩිවීම්වලට අනුව දිරීම, දුර්වලවීම, රෝගිවීම, විරූපවීම, වේදනා ඇතිවීම, ජීවිත පුරාම ඇති වේ. අසුභ භාවනාවෙන් සිරුරේ ඇතිතතු මේ ආකාරයෙන් හඳුනාගන්නා යෝගියා කය නිසා මෙතෙක් ලද දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට මුල පුරයි.
දෙතිස් කුණපකොට්ඨාස ධාතු වශයෙන් බෙදීමේ දී කෙස්වල සිට හිස්මොළය දක්වා ඇති කොටස් 20 පඨවී ගණයට අයත් වේ.
- උහුමියේ සුමනසාර හිමි