නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
ලෝක විනාශය සිදුවන්නේ කවදාද ?අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව වර්ෂ 2600 ක් ගත වන මෙම අවස්ථාවේ උන්වහන්සේ පුරා පන්සාලිස් වසක් දේශිත සද්ධර්මයෙහි දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පෙනේ.
එක් පසෙකින් ලොව ගින්නෙන් දැවෙන අතර ජල රකුසාගෙන් පැමිණෙන විපත් ද ඊට දෙවැනි නැත. පොළොව තැන තැන ගිලා බසින අතර භූ චලන ආදිය තුළින් ලෝ වැසි සත්ව ප්‍රජාව තම දිවි ගමන අවසන් කරමින් සිටිති. විෂම කාලගුණ රටාවක් නිර්මාණය වෙමින් යන මෙවන් අවදියක ලොව්තුරා බණ පදයක සිසිලස අම බිඳකට ද වඩා වටනේ යැයි මනුෂ්‍ය ප්‍රජාව තේරුම් ගන්නේ නම් ඉතා මැනවි.
මෙම විපර්යාසයන් කෙරෙහි බලපාන හේතු සාධක බුදු සමය තුළ මනාව විස්තර වී ඇති ආකාරය තත් දර්ශනය විමසීමෙන් මොනවට පෙනේ. අපගේ පෘථිවිය පමණක් නොව සූර්යයා ද තම විෂම චර්යාව ප්‍රකට කරන ආකාරය පෘථිවි වාසී අපට මෑතකදී දැක ගත හැකි විය. මෙලෙස දැඩි පාරිසරික අර්බුදයක් සහිත නූතන ලෝකය විනාශයට මුල පුරණු ඇතැයි ලොව නන් දෙසින් කියනු ඇසේ.
මෙකී කරුණ කෙරෙහි බෞද්ධ දර්ශනයෙහි මැදිහත්වීම කවරේදැයි මෙහිලා යමක් සඳහන් කිරීම අතිශය කාලෝචිත වන්නේය.
ලොව බුදු කෙනකු පහළ වනුයේ අන් කිසිදු කරුණක් නිසා නොව “තිණ්ණෝහං තාරයිස්සාමි - සංසාරෝඝා මහබ්භයා” යන වදන අනුව මහා බියකරු සසර කතරින් සත්වයා එතෙර කරවනු පිණිසමය. එහිලා උන්වහන්සේගේ කාර්ය භාරය වනුයේ මඟ පෙන්වීම ය. (අක්ඛාතාරෝ තථාගතා) නිර්වාණගාමී ප්‍රතිපදාවට ඉවහල් නොවන කිසිදු දහමක් දේශනා කිරීමට බුදුරදුන් උත්සුක නොවුවද උක්ත ප්‍රස්තුතයට අදාළ කරුණු රාශියක් දේශණාපාලිය තුළින් හමුවේ.
නූතනය වන විට විනාශ මුඛයෙහි අභිමුව සිටින ලෝකයෙහි නිමැයුම, පැවැත්ම හා විනාශය සර්ව බලධාරී දෙවියන් අතැති බව පවසන නිර්මාණවාදි ආගම් උක්ත කාරණයෙහි ලා දෙවරක් සිතා බැලිය යුතුය. ප්‍රකට විද්‍යාධරයකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ අනාගත අනාවැකියට අනුව 2050 පමණ වන විට ලොව සියලු නිර්මාණවාදී ආගමික ආධිපත්‍යය බිඳ වැටී සියල්ලට සාර්ථකව මුහුණ දිය හැකි එකම දහමක් ඉතිරි වේ. එනම් බුදු දහමයි යන ප්‍රකාශය උක්ත කරුණු කාරණා සලකා කරන ලද්දක් දැයි විටෙක සිතේ.
කෙසේ හෝ භෞතික මෙවලම් අනුසාරයෙන් ලබන නූතන විද්‍යාත්මක දැනුම ;කතරම් ප්‍රාථමික දැයි වැටහෙනුයේ බුදුරදුන් දේශිත ඇතැම් කරුණු පිළිබඳ සිතනා කල්හිය. විද්‍යාව දිනෙන් දින බුදු දහමට ළංවන බව පෙනීම සුභදායක වුවද ධර්මයෙහි සුභසිද්ධිය සඳහා විද්‍යාත්මක නිරීක්ෂණ බෞද්ධ දර්ශනයට ඈඳා ගැනීම සාසනයේ අභිවෘද්ධිය පිණිස යැයි සිතා කරන අනුවන ක්‍රියාවක් ලෙස කිවමනාය. මෙකී කරුණු ද සිහියේ තබා ගෙන විනාශය කරා යන නූතන ලෝතලය සැබවින්ම විනාශ වනුයේ කෙසේදැයි විමසීම මින් මතු සිදු වේ.
අප ජීවත් වන විශ්වය තුළ අනන්ත අප්‍රමාණ ලෝක හා චක්‍රාවාටවලින් යුක්ත බවට කරුණු පිළිගත් සත්‍ය කාරණයකි. එම චක්‍රාවාට බිලියන ගණනක් වූ තරුවලින් ද නොයෙක් වායුන්ගෙන් ද දූවිලි වළාවන්ගෙන් ද ගහණ ය. අප ජීවත්වන්නා වූ චක්‍රාවාටය ද විශ්වයෙහින් හුදෙකලා වූවක් නොවන අතර එය එබඳුම චක්‍රාවාට සිය දහස් ගණනකින් වටව පවතී. ක්ෂීර පථයේ ආසන්නයේ ම පිහිටා ඇති චක්‍රාවාටය “මැගලන් පට චක්‍රාවාටයයි.”
එය අපට ආලෝක වර්ෂ 160,000 දුරින් පිහිටා ඇත. ආලෝක වර්ෂ යනු ඉලක්කම්වලින් දැක්විය නොහැක්කකි. ආලෝකය තත්ත්පරයකට කි. මී. 300000 පමණ දුර ගමන් කරන අතර එය ආලෝකයෙහි ප්‍රවේගයයි. ක්ෂීර පථයට ආසන්න විශාලතම චක්‍රාවාටය ලෙස විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ “ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයයි.” එය අපට ආලෝක වර්ෂ 260,0000 පමණ දුරින් පිහිටා ඇත.
මේ ආකාරයට අනන්ත වූ අප්‍රමාණ වූ චක්‍රාවාට සමූහ පිළිබඳ නූත විද්‍යාව ප්‍රකාශ කිරීමට පෙර බුදුරදුන් එය පිරිසිඳ දැන සිටි බව සූත්‍ර පිටකය තුළින් මනාව පිළිබිඹු වේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවේදී “... අසඤ්ඥ දස සහස්සි ලෝක ධාතු සංකම්පි” යනුවෙන් හා දීඝ නිකායේ පරිනිබ්බාන සූත්‍රය, මහා සමය සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් දස දහසක් සක්වල පිළිබඳ විස්තර කෙරෙන අතර අංගුත්තර නිකායේ අභිඥ සූත්‍රය මඟින්
1. සහස්සී චුල නිකා ලොක ධාතු
2. ද්වි සහස්සි මජ්ක්‍ධිමා ලෝක ධාතු
3. ති සහස්සි මහා සහස්සි ලොක ධාතු යැයි ආකාර තුනකට ලෝක ධාතු බෙදා විග්රහ කොට ඇත.
මෙකී විවිධ නයෙන් විවරණය වන අප වසන ලෝකය ද ඇතුළත් විශ්වයෙහි විකාශය සිදු වන ආකාරය බුදුරදුන් ඉතාම පැහැදිලි ලෙස දේශනා කොට ඇත. වර්තමානයේ පවත්නා විපරීත කාලගුණික රටාව අනුව සිතා “මේ නං ලෝක විනාසෙ තමයි”, “2012 දී ලෝක විනාසේ වෙනවලු” යනුවෙන් ලෝවැසියන් මැසිවිලි නගති. ඔවුන්ගේ දැනගැනීම සඳහා ද සම්බුද්ධ සාසනයේ උත්කෘෂ්ට බව සඳහා ද මෙම කරුණු සඳහන් කරනු ලැබේ.
උක්ත ප්‍රස්තුතයෙහි ලා පාදක කොට ගත හැකි ත්රිපිටකාගත සූත්‍ර අතර දීඝ නිකායේ ආග්ගඤ්ඤ සූත්‍රය, චක්ක වත්ති සීහනාද සූත්‍රය හා අංගුත්තර නිකායේ සත්ත සුරියුත්ගමන සූත්‍රය ද මූලාශ්‍රය අතර ප්‍රධාන වේ.
මිනිස් ආයුෂ අසංඛයේ සිට දස වන විය දක්වා කෙමෙන් පිරිහී යන ආකාරය හා එකල මිනිසුන් තම මව, පියා, නැගණිය, සොහොයුරා යන සංඥාව හැර ඔවුන් හුදෙක් තම මෛථුනයට හේතුකාරකයෝ යැයි සිතා බල්ලන්, ඌරන්, කුකුළන් මෙන් හැසිරෙන තත්ත්වයට පත්වේ. මෑත කාලයේ තම වැඩිමහල් සොහොයුරා නිසා මවක් වූ නැගණියකගේ තොරතුරක් වාර්තා වූ වග අප හැමට අමතක වීමට තරම් කල්ගත වුයේ නැත. එවැනි පුවත් අප්‍රමාණ ය. මෙලෙස පිරිහෙන ආයුෂ සහිත හෙතෙම දස වසක් තුළ තම ජීවිතයේ සියලු ජීවන කෘත්‍ය නිම කොට මරණයට පත්වන අවදියකට පත්වන බව බුදුහු චක්කවත්ති සිහනාද සූත්‍රයෙන් විවරණය කරනු ලබයි.
අප ජීවත් වන ලෝකය ගින්නෙන්, ජලයෙන් හා වාතයෙන් විනාශ වන බව ධර්මයෙහි සඳහන් වේ. ලොව පිට පිට සත් වරක් ගින්නෙන් විනාශ වූ පසු අටවන වර ජලයෙන් විනාශ වන අතර මෙලෙස හත්වරක් ජලයෙන් විනාශ වන අතර නැවත අටවන වරය එනම් ගින්නෙන් ලෝකය (56) වාරයක් ද ජලයෙන් හත්වාරයක් යැයි හැට තුන් වාරයක් ද විනාශ වූ පසු හැට හතර වන වාරයේදී ලොව විනාශ වනුයේ වාතයෙනි.
මෙලෙස ත්‍රිපිටක ගත යෙදුම් විවරණය කරන අටුවාවන්හි විස්තර කරන ආකාරයට ලොව විනාශ වනුයේ අව්ව, වැස්ස, ගින්න, සුළඟ වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් යටතේදීය.
මීට අමතරව අංගුත්තර නිකායෙහි එන සත්ත සුරියුග්ගමන සූත්‍රයට අනුව මතු දිනෙක අපට දර්ශනය වන්නා වූ සූර්යයා මෙන් හත් දෙනකුගේ බලපෑම මත ලොව විනාශයෙහි නිමග්න වන බව දක්වයි. මෑත කාලයේදී අමෙරිකාවේ නාසා ආයතනය මගින් මතු දිනෙක විශාල ගිනි වළල්ලක් අප චක්‍රාවාටය ආක්‍රමණය කරන බවට අනාවැකි පළ කරන ලදුව එහි පෙරනිමිති පසුගිය දිනෙක ප්‍රදර්ශනය විය.
දෘශ්‍යමාන පළමු හිරුට අමතරව දෙවන, තෙවන හා සිව්වන ආදි වශයෙන් සූර්යයන් හතක් උදාවත්ම ක්‍රමයෙන් දිය පහරවල්, ළිං, පොකුණු, වැව්, අමුණු ආදිය ද මිනිසා ඇතුළු සමස්ත සත්ව සංහතියමද සුවාසූ දහසක් ගැඹුරැති මහා සාගරය ද සිඳී සියලු සත්වයන්ගෙන් තොර ශුන්‍ය පෘථිවිය එකම ගිනි ජාලාවක් වන ආකාරය එහිලා විස්තර කොට ඇත.
මෙම කරුණ පිළිබඳ අතිශය ප්‍රායෝගිකව කා හට වුවද වැටහෙන පරිදි මෙසේ සඳහන් කළ හැකිය. අප ජීවත්වන සූර්යය කේන්ද්‍ර කොට ගත් සෞරග්‍රහ මණ්ඩලයෙහි පෘථිවියට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.
සූර්යයා යනු ගිනිගෙන දැවෙන ලෝකයක් වන අතර එහි දැඩි රශ්මිය අපට ඉතා තදින් දැනෙන අතර සූර්යයා ආසන්නයෙහිම පිහිටා ඇති බුධ ග්‍රහයාට එහි බලපෑම කෙසේදැයි වෙනමම කීම නුවමනාය. කල්යත්ම එම රශ්මිය මත ගිනියම් වන බුධ ග්‍රහයා ද එකම ගිනි ජාලිවකින් වෙලී යයි. එම කරුණ කරණ කොට ගෙන අප ජීවත් වන පෘථිවියට සූර්යයන් දෙදෙනකුªගේ බලපෑම එල්ල වේ යැයි සිතිය හැකි අතර එසේ අනෙක් ග්‍රහලෝක ද ක්‍රමයෙන් ගිනියම් ව ගිනිගන්නා කල්හි උක්ත බෞද්ධ දර්ශන ගත කරුණු මනාව සදෘශ වේ.
එසේම චන්ද්‍රයා යනු එසේ ගිනි ගෙන අවසන්ව නිවී යන ග්‍රහ ලොවක් වන අතර අග්ගඤ්ඤ සූත්‍රය අනුව ලොව ගිනිගෙන නැවත (දිඝස්ස අද්ධුනො) බොහෝ කල් ඇවෑමෙන් මනුෂ්‍ය වාසයට සුදුසු පරිදි සකස් වූ කල්හි අහසින් ගමන් කරන ජීවීන් නිසා ජනාවාස බිහි වූ බව යන මතයට අනුව අප ද සඳ තරණය කළ අතර දැන් එහි ජීවත් වීමට අවශ්‍ය පහසුකම් පවතී දැයි පර්යේෂණ කරන බව නාසා ආයතනය පවසයි.
මෙලෙස බැලූ කළ මෙම මත බුදුසමයට කෙතරම් සමීප දැයි සිතේ. එසේම චක්‍රාවාට ඈත් වීම ලංවීම පිළබඳව සාකච්ඡා කරන නූතන විද්‍යාව මගින් සූර්යයා කල්යත්ම ඉතා විශාල ලෙස විකාශනය වී පුපුරා යන බව පවසයි. එසේම චක්‍රාවාට ඈත් වීම ලංවීම යන නියමය යටතේ අප චක්‍රාවාටය මැගලන් ඇන්ඩ්රොමීඩ් වැනි කුඩා චක්‍රාවාට හා මුදු වන අතර එහි පවතින්නා වූ සූර්යයන්ගේ රශ්මිය නිසා ලොව විනාශ වන බව පවසයි.
කෙසේ හෝ නූතනය පිළිගන්නා වූ විද්‍යාව පිළිබඳ අල්ප මාත්‍රයක හැඟීමක් නොතිබුණු මින් වසර 2600කට පෙර බුදුරදුන් තම උත්කෘෂ්ට නුවණින් ලොවට අනාවරණය කළ කරුණු අමිල ය. එමෙන්ම අතිශය විශ්මය ජනකය. කෙසේ හෝ ලෝකය විනාශ කිරීමෙහිලා වැඩි වගකීමක් පැවරී ඇත්තේ මිනිසා මතය. වායුගෝලය උණුසුම් වීම වැනි ස්වභාවික ආපදා සඳහා මිනිස් ක්‍රියාකාරකම් ඍජුවම බලපාන ආකාරය විද්‍යාව පෙන්නුම් කර දී ඇත.
කරුණු මෙසේ හෙයින් ලෝකය විනාශ වනවා යැයි මැසිවිලි නගමින් සිටිනවා වෙනුවට තමාගෙන් තමාටත්, අන්‍යයන්ටත් ඉටුවිය යුතු කාරණාවන් කෙරෙහි සිත් පිහිටුවා පිළිවෙතින් පෙළ ගැසීම නම් වූ මෙම උතුම් සම්බුද්ධ ජයන්තිය අර්ථවත් කරමින් මෙලොව මෙන්ම දෙලොවට වැඩ සලසා ගත යුතුය.
උඩුබද්දාවේ අරියඥාන හිමි