නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
කර්මය හා කර්ම ඵලය
කර්මය පිළිබඳව සාකච්ඡා කොට ඇති බොහෝ ලියවිලිවල සඳහන් වන දෙයක් නම් කර්මය හා එහි ඵලය අතර, එනම් ක්‍රියාව හා එහි ප්‍රතිඵලය අතර, සෘජු වූ නොවෙනස්ව ක්‍රියාත්මක වන්නා වූ නියාමයක් ඇති බවයි. මෙසේ අවධාරණය කරනු ලැබීම ගැන කිසිදු ගැටලුවක් නොමැති වුවද, කර්මය ක්‍රියාත්මක වන ආකාරයේ තවත් පැත්තක් ඇත. එය බොහෝ විට අවධානයට ලක් නොවන, එහෙත් ඉතා වැදගත් පැත්තකි.
එනම්, කර්මයෙහි වෙනස්වීමට ඇති ඉඩකඩය. පැහැදිලිව දක්වනවා නම්, කර්මයෙහි ප්‍රතිඵල ගෙන දෙන නියාමය යන්ත්‍රානුසාරී අනම්‍යතාවෙන් ක්‍රියාත්මක නොවන අතර, කර්ම ඵලය මුහුකුරා යන ක්‍රියාවලිය තුළදී සෑහෙන පුළුල් පරාසයක විපර්යාසයන්ට භාජන වීමට ඉඩ ඇති බවයි.
කර්ම විපාකය සෑම විටම ඒකාකාරී ප්‍රබලතාවෙන් ක්‍රියාත්මක වන අතර, කර්ම ඵලය වෙනසකට භාජන වීමක් හෝ අහෝසි වී යාමක් සිදු නොවන්නේ නම් සංසාර චක්‍රයෙන් ගොඩ ඒමට මිනිසාට හැකි වන්නේ නැත. කුමක් නිසා ද යත්, පරතෙරක් නොමැති අතීතය විසින් නොකඩවා ම අකුසල කර්මයන්හි ඵලවිපාක වශයෙන්, විටන්විට නිවන් මග අවුරා පැන නැගෙනු ඇති බැවිනි. බුදුරදුන් මෙසේ පවසා ඇත්තේ එබැවිනි.
“පුද්ගලයෙකු කර්මයක් කරන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම ඔහුට එහි ඵල විපාක ලැබෙනු ඇතැයි කිසිවෙකු කියන්නේ නම්, ඒ අනුව (කර්ම ඵලය නැති කර ගැනීම සඳහා වූ) දැහැමි පිළිවෙත් පිරීමකට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දුක සහමුලින්ම උපුටා දැමීමේ ඉඩක්ද නොලැබේ.
එහෙත් පුද්ගලයෙකු විසින් වෙනස් වෙනස් ආකාරයෙන් වින්ද හැකි වූ ප්‍රතිඵල සහිත කර්මයක් කරන්නේ එහි විපාක ඔහු ඒ ආකාරයෙන් විඳිනු ඇතැයි යමෙකු කියන්නේ නම් එවිට දැහැමි පිළිවෙත් පිරීමකට හා දුක සහමුලින්ම සිඳ දැමීමට අවස්ථාවක් ද තිබෙනු ඇත.”
(අංගුත්තර නිකාය 3:110)
ඕනෑම ශාරීරික ක්‍රියාවක් මෙන්ම කර්මමය ක්‍රියාවකට ඇතුළත් මානසික ක්‍රියාදාමය ද කිසිදු විටෙක ඒකීයව, තනිව පවත්නේ නොව, තවත් සාධක රැසක් ඇති ක්‍ෂේත්‍රයක් තුළ පවතී. එවිට ප්‍රතිඵලයක් ජනිත කිරීමට ඊට ඇති ශක්තිය රඳා පවත්නේ එයටම අයත් බලය මත පමණක් නොවේ. ඒ ශක්තිය අවට ඇති ෂචල්‍ය සාධක මත ද රඳා පවතින හෙයින්, ඒවාට එම ප්‍රතිඵලය වෙනස්කම්වලට භාජන කිරීමට පුළුවන.
උදාහරණ වශයෙන් යහපත් හෝ අයහපත් කිසියම් කර්මයක් එහි ප්‍රතිඵලය ඊට සහාය වන තවත් කර්ම නිසා ශක්තිමත් වන්නට හෝ විරෝධක කර්ම නිසා දුර්වල වන්නට හෝ ඉඩ ඇති බව දනිමු. එසේම විනාශක කර්ම නිසා එය අහෝසි වී යන්නට ද පුළුවන. කර්ම ඵලය ඇති වීම එය පරිපාකයට පත්කිරීම සඳහා අවශ්‍ය බාහිර සාධකයන් එක් තැන් වීම ප්‍රමාද වුවහොත්, කල්පසු වන්නට ද ඉඩ ඇත. එම ප්‍රමාදය හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කර්මයන්ට හෝ අහෝසිකාරක කර්මයන්ට ක්‍රියාත්මක වන්නට අවකාශයක් සලසා දෙනු ඇත.
වෙනස් කිරීම් සිදු කළ හැක්කේ එම බාහිර සාධකයන් විසින් පමණක් නොවේ. පරිපාකයට පත්වීමේ ක්‍රියාවලිය තුළ කර්මයෙහි “අභ්‍යන්තර ක්‍ෂේත්‍රය” ද පිළිබිඹු වී තිබේ. අභ්‍යන්තර සාධක ලෙස සැලකිය යුතු එයට ඇතුළත් වන ක්‍රියාව පැන නගින මනසේ සමස්ත ගුණාත්මක සැලැස්මය. සදාචාරාත්මක හෝ ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පිරිපුන් අයෙකුට එක් තනි වරදකින් පැමිණෙන විපාක එබඳු ආරක්‍ෂක ගුණාත්මක භාවයෙන් සන්නද්ධ නොවූ අයෙකු වෙත පැමිණෙන විපාක තරම් බරපතල නොවනු ඇත. තවද මේ හා සමාන්තරව මනුෂ්‍යයන් අතර භාවිත නීති සම්ප්‍රදායයන්ට අනුව, පළමුවරට වරදක් කරන්නාට ලැබෙන දඬුවම නැවත නැවත එම වරද කරන්නාට ලැබෙන දඬුවමට වඩා අඩු වනු ඇති බව දනිමු.
එසේ වෙනසට භාජන වූ ප්‍රතික්‍රියා පිළිබඳව බුදුරදුහු අප ඉහත උපුටා දැක්වූ සූත්‍රයේම මෙසේ වදාරති:
“සුළු වැරදි ක්‍රියාවක් කළ පුද්ගලයෙකු අපාගත වූවා යැයි සිතමු. එම වැරදි ක්‍රියාවම කළ තවත් පුද්ගලයෙකු එහි විපාකය මේ ජීවිත කාලය තුළදීම අත්විඳින කල්හි එම කර්මයෙහි කිසිම ශේෂයක් අනාගතය සඳහා ඉතුරු නොවන අතර බරපතළ විපාකයක් ගැන සඳහන් කිරීම අනවශ්‍යය. ඉතින් සුළු වරදක් නිසා අපාගතවන්නේ කවර පුද්ගලයෙක් ද? ඒ වනාහි ශාරීරික සංයමයක් ප්‍රගුණ නොකළා වූ ද යහගුණ හා යහපත් සිතිවිලි නොවැඩුවා වූ ද හේ කිසිදු ප්‍රඥාවක් ප්‍රගුණ නොකළ පටු කල්පනා ඇති පහත් චරිතයක් ඇත්තේ සුළු දේ නිසා පවා දුකට පැමිණෙයි. කුඩා වරදකට වුවද අපාගත වන්නේ එබඳු පුද්ගලයාය.”
“එම වරදේ ම ඵල විපාක මෙම ජීවිත කාලය තුළදී ම විඳින්නට සිදුවන අතර අනාගතය සඳහා එකී කිසිම ශේෂයක් ඉතුරු නොවන්නා වූ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහි ශාරීරික සංයමය ප්‍රගුණ කළා වූ ද යහගුණ හා යහපත් සිතිවිලි වැඩුවා වූ ද ප්‍රඥාව ප්‍රගුණ කළා වූ ද හේ දුශ්චරිතයන්ට කොටු වූයේ නොවේ. ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි; අයහපත් දෙයින් නොබැඳී ඔහු වාසය කරයි. යටකී සුළු වරදෙහි ඵල විපාකය අනාගතයට කිසිදු ශේෂයක් ඉතිරි නොකොට මේ අත්බවෙහිදීම විඳින්නේ එබඳු පුද්ගලයාය. “ඉතින් කිසියම් කෙනෙක් ලුණු අහුරක් කුඩා වතුර බඳුනකට දැම්මොත් මහණෙනි, ඔබ සිතන්නේ කුමක් වනු ඇති කියා ද? එම ලුණු අහුර නිසා බඳුනේ ඇති වතුර ටික ලුණු සහිත වී බොන්නට බැරි තත්ත්වයට පත් වෙනවා නේද?” “එසේ වෙනවා වහන්ස”
“ඒ ඇයි? – “බඳුනේ ඇති ජලය ඉතා ටිකක් නිසා ලුණු අහුර එය බොන්නට බැරි තරම් ලුණු ගතියට හරවන නිසා”
එම නරක ක්‍රියාව නරක වචන හා ඒවාට තුඩුදුන් නරක සිතිවිලි අනෙක් පුද්ගලයාට හානියක් කරන්නට අසමත් වන අතර ඒවා කරන පුද්ගලයාගේ චරිතයට නම් සැබැවින්ම හානියක් සිදු කරනු ඇත. ඔහු තවදුරටත් මේ අනපේක්ෂිත අවස්ථාවට කෝපයෙන් වියරු වී තම අපේක්ෂා භංගත්වය තවත් ද්වේෂාත්මක ප්‍රතික්‍රියාවන් බවට පත්කළොත්, එම හානිය දෙගුණ තෙගුණ වනු ඇත.
සත්ත්වයන් තමන්ගේ අන්සතු කළ නොහැකි වස්තුව වන තම කර්මය සඳහා පූර්ණ වගකීම් දරන්නන් බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ එබැවිනි. තමන්ගේ ක්‍රියාවන්හි නීත්‍යානුකූල උරුම කරුවෝ ඔවුහුම වෙත්, එසේම යහපත් හා අයහපත් ඵළ විපාක ඔවුන්ට උරුම වන ජන්ම දායාදයයි.
තමන්ගේ ක්‍රියා, වචන හා සිතිවිලි පළමුව තමන් වෙතම ක්‍රියාත්මක වන බවත් තමන්ගේ සිත විපර්යාසයට භාජන කරන බවත් විටින් විට තමන්ට සිහිගන්වා ගැනීම කුසල් සහගත ක්‍රියාවකි. එම මෙනෙහි කිරීම සැබෑ ආත්ම ගෞරවය සඳහා ප්‍රබල දායකත්වයක් සපයනු ඇත. එසේ ප්‍රබල වූ ආත්මශක්තිය දුෂ්ට වූ ද නීච වූ ද කටයුතුවලින් තමා වළකාලන ආරක්ෂණයක් වනු ඇත. මෙම මෙනෙහි කිරීම එක් බුද්ධ වචනයක් නව දසුනකින් වටහා ගැන්ම පිණිස ප්‍රායෝගික පියවරක් වනු ඇත.
“බඹයක් පමණ වූ සංඥානයන් හා චින්තාවන් සහිත මෙම සිරුර තුළ,, ලෝකය ද, ලෝකයේ ආරම්භය ද, ලෝකයේ අවසානය ද,,ලෝකය අවසාන කිරීමේ මාර්ගය ද, දැක්ක හැකි වේ.”
(අංගුත්තර නිකාය 4.45) ///
බුදරදුන් වදාළ මෙම “ලෝකය” යනු ශරීරය හා මනස එක්වූ මෙම සංස්කාර ධර්මතාවයි. කුමක් හෙයින්ද යත්, ලෝකය අත්විඳිය හැක්කේ හා දැන ගතහැක්කේ අපගේ ශාරීරික හා මානසික ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය මගින්ම පමණක් වන බැවිනි. ඇසට පෙනෙන, කනට ඇසෙන, නැහැයට ආඝ්‍රාණය වන, දිවට දැනෙන,, සිරුරෙන් විඳින වේදයිතයන් ද, දැනුවත් ව හා නොදැනුවත්ව සිදුවන අපගේ විවිධාකාර වූ මානසික කර්තව්‍යයන්ද යන මේ සියල්ල අප ජීවත් වන ලෝකය වන්නේය. අපගේ මෙම ලෝකය උපදින්නේ එකී ශාරීරික හා මානසික ක්‍රියාවන්හි එකතුව තුළය. සය ආකාර (රූප, ශබ්ද, ගන්ධ,, රස, ස්පර්ශ, විඥාන) වූ ශාරීරික හා මානසික ඉන්ද්‍රිය වස්තූන් කෙරේ තෘෂ්ණාව නම් කර්මමය කර්තව්‍යය ඇති කරන්නේ එම එකතුව විසිනි.
“ආනන්දයෙනි! ඉන්ද්‍රිය ක්ෂේත්‍රයෙහි කර්මය පරිපාකයට යාමක් නොවූයේ නම් ඉන්ද්‍රිය ක්ෂේත්‍රයක් පහළ වනු ඇත්තේ ද?”
“සැබවින්ම නැත ස්වාමීනි”
(අංගුත්තර නිකාය 3.76)
එහෙයින් කර්මය වනාහි අප උපත ලබන තැන (කමම යොනි) යැයි කියනු ලැබේ. ලොවෙහි සැබෑ මැවුම්කරුවා ද අපගේ මැවුම් කරුවා ද ලාව වින්දනය කරන්නා ද කර්මය ම වේ. අපේම ක්‍රියාවෙන් , වචනයෙන් හා සිතිවිල්ලෙන් අපි මේ ලෝකයත් මින් එපිට ඇති ලෝකත් නිරතුරුවම, නොනවත්වා නිර්මාණයෙහි හා පුනර්නිර්මාණයෙහි නිරතව සිටිමු. අපේ යහපත්ක්‍රියා පවා තෘෂ්ණාවෙහි බලපෑම යටතේ හෝ මානය, මෝහය යටතේ හෝ පවතින්නේ නම් මේ දුක්ඛමය ලෝකය උත්පාදනයට ද පවත්වා ගෙන යාමට ද ඉන් දායකත්වය සැපයෙනු ඇත.
ලෝකචක්‍රය වනාහි අකුසල් මුල් වන ලෝභ, ද්වේෂ, මෝහ යන තුනෙහි ප්‍රධාන බලවේගය මගින් සදාතනිකව ක්‍රියාත්මකව පවතින අභ්‍යාස යන්ත්‍රයක් වැනිය. එම අභ්‍යාස යන්ත්‍රයෙහි පටියක් මත නොනැවතී දුවමින් “ලෝකයෙහි අවසානය” වෙත ළඟා විය නොහැකිය. එබ්දු යන්ත්‍රයකින් සැපයෙන්නේ ඉදිරියට යාම පිළිබඳව මායාවක් පමණි. එම නිෂ්ඵල ප්‍රයත්නය නැවැත්වීමෙන් පමණී,, අවසානය වෙත ළඟා විය හැක්කේ.
“ලෝභ ද්වේෂ, මෝහ යන තුන ප්‍රහීණ කිරීමෙන් පමණී, කර්ම සංයෝජනය අවසන් වන්නේ”
(අංගුත්තර නිකාය 10.174).
මෙය සිදු විය හැක්කේ අන් කිසි තැනෙක නොව, සිරුර හා මනස එක්තැන් වන්නා වූ දුක්ඛයත් දුක්ඛයට හේතුවත් ජනිතවන තැන්හි ම ය. චතුරාර්ය සත්‍යයෙන් තුන් වැන්න වූ “දුක නැති කිරීම” හා සම්බන්ධ බලාපොරොත්තු සහිත පණිවුඩය වන්නේ ඉහතින් සඳහන් කළ නිෂ්ඵල ව්‍යායාම සහිත අගාධයෙන් ගොඩ ඒමට ඉඩක් තිබෙන බවයි. එසේ විමුක්තිය ලැබීමට ඉඩ ඇති බව දැන දැනත්, අප නිමක් නැතිව ජීවිතය නැමැති අභ්‍යාස යන්ත්‍රය තුළ දිවෙමින් සිටිමු නම්, එසේ කරන්නේ කඩා දැමිය නොහැකි චිරාත්කාලීන ඇබ්බැහිකමක් නිසාය.
අපි එසේ අප අභ්‍යන්තරයේ ගැඹුරට කාවැදී ඇති “මම” , “මගේ” ආදී වූ මමත්වයන්හි දැඩිව එල්බ ගෙන සිටන්නෙමු. එසේ වුවද සිව්වන චතුරාර්ය සත්‍යයෙහිද තවමත් බලාපොරොත්තු සහගත පණිවුඩයක් තිබේ. එනම් කර්මයෙහි ඇලී ගැලී සිටීමේ අපේ ව්‍යාධියට ඖෂධයක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් ක්‍රම ක්‍රමයෙන් අප සුවපත් බවට පමුණුවා සංසාර විමුක්තිය වෙත අප ළඟා කරවීමේ ඇති හැකියාවය. මෙහිදී ද එම ප්‍රතිකාරය සඳහා සියලු දේම ඇත්තේ අපේම සිරුරෙහි හා මනසෙහි බව සඳහන් කළ යුතුව ඇත.
නියම ප්‍රතිකාරය ඇරඹෙන්නේ කර්මයෙහි සැබෑ ස්වභාවය සහ ලෝකය තුළ අප පත්වී සිටින තත්ත්වය නිවැරදි ලෙස අවබෝධය කර ගැනීමෙනි. මෙම අවබෝධය ලැබීම අපට අපේ ජීවිත තුළ යහපත් කර්ම තිරසාර ලෙස පිහිටුවා ගැන්මට පෙළඹවීමක් වනු ඇත. මනුෂ්‍ය ස්වභාවය තව තවත් පැහැදිලිව අවබෝධ කර ගැනීම හා සමග එම ස්ථාපනය තවතවත් ගැඹුරට විහිදෙනු ඇත. එසේ ලබන ශක්තියෙන් කර්ම බන්ධනය නමැති යදම් බිඳ දැමීමට අපට හැකි වනු ඇත. නිවන් මගෙහි අප්‍රමාදව ඉදිරියට යාමට වඩවඩාත් අප උත්සුක වනු ඇත. එසේ අපේ සියලු ආකාර ක්‍රියාවන් හා එහි ඵළයන් සියලු කර්මයන් ප්‍රභීණ කිරීම,එනම්, තමන් මෙන්ම සියලු සත්ත්වයන් ද අවසාන විමුක්තිය වෙත පත්කිරීම යන ශ්‍රේෂ්ඨතම අන්තය සඳහා කැපකිරීමට අපට හැකි වනු ඇත.
.දිණමිණ පුවත්පත