ඇතැම් කෙනෙක් පින එකෙක කුසල අනෙකෙකැයි කියති. තවත් කෙනෙක් පින හා කුසලය සමාන අර්ථ ඇත්තේ යයි කියති. බුදු දහමට අනුව අපි මේ දෙකම ඉවත නොදමමු. නොපිළිගනිමු. මැදහත් සිතින් බුද්ධ දේශනා, අටුවා ආදියෙහි බහා බලමු. මෙය බුදු රජ වදාළ පිළිවෙළයි. අපි ප්‍රථමයෙන් බොහෝ දෙනා කතා කරන , පාලි භාෂාවේ කුසල ශබ්දය හා පුඤ්ඤ ශබ්දය ගැන සොයා බලමු.
”කුච්ඡිතේ පාපධම්මේ සලයති චලයති කම්පේති විද්ධංසේතීති කුසලං “ (අභිධානප්පදීපිකා 94 පිට )ලාමක වූ පාපධර්මයන් සොලවා දමයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල් නම්වේ යන අර්ථයි.
” පුනාතීති පුඤ්ඤං අත්තනෝ කාරකං ජනං අත්ත සන්තානං වා, යත්ථ සයං උප්පන්නං තං සන්තානං පුනාති සෝධේතීති පුඤ්ඤං “ (අභිධානප්පදීපිකා 239) පවිත්‍ර කරයි යන අර්ථයෙන් පින නම් වේ. පින කරන්නා වූ ජනයා හෝ තමන්ගේ සන්තානය හෝ යම් තැනෙක පින උපන්නේද ඒ සන්තානය ශුද්ධ කරයි යන අර්ථයෙන් පින නම් වේ. මෙහි පුන ධාතුව පවිත්‍ර කිරීමෙහි වැටේ. පුන ධාතුවට ණා විකරණය යෙදී ති ආඛ්‍යාත ප්‍රත්‍යය යෙදුන කල්හි පුනාති යන පදය සෑදේ. එවිට පුනාති යනු පවිත්‍ර කරයි යන අර්ථයි.
මේ අනුව පාපධර්මයන් විනාශ කරන්නේ යමකින්ද එය කුසලයයි. යම් සිතක උපන් කල්හි එම සිත පවිත්‍ර කරන්නේ යමකින්ද එය පිනයි. මේ දෙකේ සමානාර්ථයක් ඇති බව පෙනේ.අපි තව ටිකක් සොයා බලමු.
“ චත්තාරෝ මේ භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා ...” (සෝතාපත්ති සංයුත්ත 5814 ) මහණෙනි, පුණ්‍යප්‍රවාහ කුසලප්‍රවාහ සතරකි.
“ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දාති පුඤ්ඤ නදියෝ කුසලනදියෝ “ (එම අටුවා)
පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා යනු පින් ගංගා, කුසල ගංගා යන අර්ථයි. මේ බුද්ධ දේශනාවට අනුව පින, කුසලය යනු සමානාර්ථ පද දෙකෙක් බව පෙනේ. බුදු රජ මෙබඳු සූත්‍ර විශාල ප්‍රමාණයක් දේශනා කොට ඇත.
“ පුඤ්ඤේ ච පාපේ ච අනූපලිත්තෝ “ (මහා නිද්දේස සුද්ධට්ඨක සූත්‍රය) සැරියුත් තෙරුණුවෝ ඉහත ගාථා පාදයෙහි පුඤ්ඤ යන්නට මෙසේ අර්ථ විවරණය කරති.
“ පුඤ්ඤං වුච්චති යං කිඤ්චි තේධාතුකං කුසලාභිසංඛාරං “ පින යනු කාම, රූප, අරූප යන ලෝකත්‍රයට අයත් කුසල චේතනායයි කියනු ලැබේ. සැරියුත් තෙරුන්ගේ අර්ථ විවරණයට අනුව පින, කුසලය යනු එකම අර්ථය දෙන දෙපදයක් බව පෙනේ.
“ කුසලානං භික්ඛවේ ධම්මානං සමාදානහේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪති “ (දීඝ නිකාය 26 ) මහණෙනි, කුශල ධර්ම සමාදන් කොට ගෙන පවත්නා හෙයින් මෙසේ මේ පින් වැඩෙයි.
“ඒවමිදං පුඤ්ඤන්ති – ඒවං ඉදං ලෝකුත්තරං පුඤ්ඤම්පි යාව ආසවක්ඛයා පවඩ්ඪති “ (එම අටුවා)
‘ ඒවමිදං පුඤ්ඤං යනු මෙසේ මේ ලෝකෝත්තර පින් ද රහත් බව තෙක් වැඩෙයි යන අර්ථයි ‘ යනු එහි තේරුමයි. මෙහි දී ලෝකෝත්තර ධර්ම ද පින් වශයෙන් විස්තර කොට ඇත.
“ පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍ය ...” (ඉතිවුත්තක 22)
“ තත්ථ පුඤ්ඤමේව සෝ සික්ඛෙය්‍යාති - යෝ අත්ථකාමේ කුලපුත්තෝ, සෝ පුජ්ජඵලනිබ්බත්තනතෝ අත්තනෝ සන්තානං පුනනතෝ ච පුඤ්ඤන්ති ලද්ධනාමං තිවිධං කුසලමේව සික්ඛෙය්‍ය නිවේසෙය්‍ය උපචිනෙය්‍ය පසවෙය්‍යාති අත්ථෝ “ (එම අටුවා)
යම් තමන්ට හිත වැඩි කැමැති කුල පුත්‍රයෙක් වේද හෙතෙම පූජ්‍ය ඵල නිපදවන බැවින් ද තමන්ගේ සන්තානය පවිත්‍ර කරන බැවින් ද පින යැයි නම් ලද ත්‍රිවිධ කුසලයෙහිම හික්මෙන්නේය. එම කුසල් රැස් කරන්නේය.
“ පුඤ්ඤානන්ති – දානාදි කුසලධම්මානං “ (එම අටුවා) පුඤ්ඤානං යනු දානාදි කුසල ධර්මයන්ගේ යන අර්ථයි. මේ දේශනාවෙහි හා අටුවාවෙහි පින, කුසලය සමානාර්ථයෙන් සලකා ඇත. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ අර්ථ විවරණය
“ පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථේතං පුනප්පුනං තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ “ (ධම්මපදය 118)
“ පුරුෂ තෙම ඉදින් දානාදී එක්තරා කුසල කර්මයක් එක් වරෙකද කෙළේ වී නම් එය නැවත නැවත ද කරන්නේය. ඒ කුසලෙහි ආලය රුචිය කරන්නේයි. කුමක් හෙයින්ද යත්? දානාදි කුසලයාගේ රැස් කිරීම යම් හෙයකින් සගමොක් සැපතට කාරණාද එහෙයින් සුවයි. “ මෙහි පින, කුසලය බවත් එයින් සගමොක් සුව ලැබෙන බවත් වදාළහ.
“ අකුසලමලං තදංගාදිප්පහානේන පුනාතීති පුඤ්ඤං “ (වජිරබුද්ධී ටීකා)
අකුසල් නමැති කෙලෙස් මල තදංගාදිප්‍රහාණ වශයෙන් සිත පවිත්‍ර කරයි යන අර්ථයෙන් පින් නම් වේ. මෙහි දී පිනේ බලයෙන් අකුසල් නමැති කෙලෙස් ප්‍රහාණය වන බව කීහ.
ලබුගම ලංකානන්ද මහානාහිමියන්ගේ අර්ථ විවරණය
“ කුසලය වූ කලී දානමය, ශීලමය, භාවනාමය වශයෙන් තුන්වැදෑරුම් වෙයි. එහි චීවාරාදී සිවුපසය අතුරෙන් හෝ රූපාදි ෂඩාලම්බනයන් අතුරෙන් හෝ ආහාර පානාදි දස දාන වස්තූ®න් අතුරෙන් හෝ යම් දැයක් පරිත්‍යාග කරන්නහුට ඒ ඒ දාන වස්තුව උපදවන තැන් පටන් පූර්වභාගයෙහි ද පරිත්‍යාග කරන කාලයෙහි ද පසුවද සොම්නස් සහගත සිතින් සිහි කරන කල්හි දැයි තුන් කාලයෙහි පැවැති චේතනා දානමය කුසල නම් වෙයි.” (විශ්වකෝෂය 8 කාණ්ඩය 539 ) මෙහි දී දන් දීම කුශලයක් බව වදාළහ.
“ තත්ථ කතමෝ පුඤ්ඤාභිසංඛාරෝ ? “ කුසලාචේතනා කාමාවචරා රූපාවචරා දානමයා සීලමයා භාවනාමයා, අයං වුච්චති පුඤ්ඤාභිසංඛාරෝ (විභංග 348) එහි පුණ්‍යාභිසංස්කාර කවරේද යත්? දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූද කාමාවචර වූ රූපාවචර වූ කුසල චේතනාවයි. මේ පුණ්‍යාභිසංඛාරයයි කියනු ලැබේ. මේ දේශනාවෙහි දාන, ශීල, භාවනා, කාමාවචර රූපාවචර කුසල චේතනා පින හෙවත් පුණ්‍යාභිසංස්කාර හැටියට වදාළහ.
කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයේන පච්චයෝ. දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසථ කම්මං කත්වා තං පච්චවෙක්ඛති “ (පට්ඨාන)
කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. දන් දි ශීලය සමාදන් වී පෙහෙවස් රැක ඒවා නැවත මෙනෙහි කරයි. මෙහි දාන ශීලාදි කුසල් අරමුණු කොට කුසල් උපදින බව වදාළහ. “ කාමාවචර කුසල් සිත් අට ඇති වන්නේ දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච , පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේශනා, දිට්ඨිජ්ජුකම්ම යන දශ පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමේ වශයෙනි. (රේරුකානේ චන්දවිමල නාහිමි) මෙහි දානාදිය හේතුකොට කුසල් සිත් පහළ වන බව කීහ.
මොරගොල්ලේ සිරි ඤාණෝභාස තිස්ස නාහිමිගේ අර්ථ විවරණය.
පුඤ්ඤපෙක්ඛෝ - පින් කිරීමෙහි ආසා ඇත්තාය. පරලොව සැප කැමැතිව මේ ලොව්හි කුසල් රැස් කරන පුද්ගලයාය. (ධම්මපද විවරණය 222)
පුඤ්ඤ පින්ය 1.දන්දීම 2. සිල් රැකීම,3.භාවනා වැඩීම 4. පින්දීම 5.පින් අනුමීදන්වීම 6. වතාවත් කිරීම 7. පිදිය යුත්තන් පිදීම 8. දහම් දෙසීම 9. දහම් ඇසීම 10. සමදිටු බැව් දැඩි කිරීම යන දස මහ කුසල්ය.
පුඤ්ඤස්ස උච්චයෝ සුඛෝ
කුසලයාගේ රැස්වීම සැපය. යළි යළි සිදුකළ කුසල් සමූහ වශයෙන් රැස්වීම දෙලොව යසසින් සැපතින් වැඩුමට ද කෙළවර මොක් සුව ලැබුමෙන් දුක් දුරු කෙරුමට ද කරුණුය. (ධම්මපද විවරණය 245 )
“ දාන , ශීල, භාවනාදි පින්කම් කරන්නාට දාන වස්තු ආදි අරමුණු කොට උපදනා කුසල් සිත්වල යෙදෙන චේතනා චෛතසිකය ලෝභ දෝසා දී අකුසල් තදංග, විෂ්කම්භන, සමුච්ඡේද වශයෙන් නසන්නේනුයි කුසල නම් “ (මොරොන්තුඩුවේ ශි‍්‍ර ඤාණේශ්වර ධම්මානන්ද නාහිමි - සද්ධර්ම කෞමුදි 41 පිට)
ඊළඟට අපි ශබ්දකෝෂවල ඇති අර්ථය සලකා බලමු.
පුඤ්ඤ – පින, කුසලය, යහපත් ක්‍රියාව
(පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි)
පුඤ්ඤ – පුණ්‍ය, පින, කුසලය
(මඩිතියවල සිරි සුමංගල නාහිමි)
කුශල – පින , පුණ්‍යය , දක්ෂභාවය කෞශල්‍යය
පින්කම – පින් පිණිස කරනු ලබන ආගමික කටයුත්ත , යහපත් ක්‍රියාව කුශල ක්‍රියාව - පුණ්‍ය ක්‍රියාව (ප්‍රායෝගික ශබ්දකෝෂය )
(PUNNA –SANTANAN PUNATI VISODHETI (P.T.S)
සන්තානය පවිත්‍ර කරන්නේ යමකින්ද එය පිනයි.
ඉහත දැක් වූ අර්ථවලට අනුව පින, කුසලය සමානාර්ථයෙන් සලකා ඇත.
මෙතෙක් කියන ලද කරුණුවලට අනුව පින හා කුසලය පිළිබඳ අවබෝධයක් පාඨකයන්ට ලැබිය හැකිය. වියත්හු මේ පිළිබඳ විමසා බලත්වා.