නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
දානෙට මස් දීල පව් පුරෝගන්න එපා
අපි උදේ සිට මහා රාත්‍රිය වන තුරු බණ කියනා රටක්. බණ අහන රටක්. ඒත් දවසින් දවස අපට අසන්න ලැබෙන්නේ නම් මහ පොළොව නුහුලන අපරාධ. ඇයි එහෙම වෙන්නේ? පංච ශීලය රකින සමාජයක එසේ විය හැකිද? පන්සිල් පද පහ රකින්නාගෙන් සමාජයට කරදරයක් නොවෙන බව අපි දනිමු. එහෙත් අද සමාජයේ කීයෙන් කී දෙනෙක් පන්සිල් පද පහ සුරකිමින් ජීවත්වන්නේ ද යන්න ප්රශ්නකාරීය. අද බොහෝ දෙනෙකු අතින් ඉටු වනුයේ පන්සිල් පද ඇසීම පමණකැයි සිතේ. පන්සිල් පද අසා පමණක් නොව එය මනාව වටහාගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්සවා ගත යුතු බවට හරවත් කතාවක් ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති හා සංවිධායක “පූජා උත්තම පූජා” මහා මෛත්‍රි වැඩසටහනේ කර්තෘ දේශමාන්‍ය නිහාල් විජේරත්න මහතායි.
මෙතැන ඉන්න හැම කෙනෙක්ම බෞද්ධයෝ. මේ හැම කෙනෙක්ම උදේට පන්සිල් සමාදන් වෙන අය කියලා හිතනවා. ඒ වගේම මේ ඉන්න අයගෙන් පන්සිල් පද පහේ තේරුම ඇහුවොත් ගිරව් වගේ කියයි. ඒ වගේම පන්සිල් රකිනවද කියලා ඇහුවොත් නං මේ හැම කෙනෙක්ම නිශ්ශබ්ද වෙනවා. මේ තත්ත්වය මෙතැනට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මම රට පුරාම දේශන පවත්වනවා. ඒ හැම තැනකදීම අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ තත්වයක් යැයි ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති හා ජාතික සංවිධායක, පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව වැඩසටහනෙහි නිර්මාතෘ දේශමාන්‍ය නිහාල් විජේරත්න මහතා කොළඹ විශාඛා විද්‍යාලයේ පැවති දේශනයේ දී පවසන ලදී.
පංච ශීලයේ පළමු සිල් පදයේ තේරුම ගැඹුරින් විග්රහ කළොත් එතැන ප්‍රධාන කරුණු තුනක් කියැවෙනවා. මම සතුන් නොමරමි. මැරීමට අනුබල ද නොදෙමි. යම් කෙනෙක් සතෙකු මරනවා නං ඔහු එයින් මුදා ගනිමි යි යන ප්‍රධාන කරුණු තුන පංච ශීලයේ පළමු සිල් පදයෙන් කියැවෙනවා. යම් කෙනෙක් පළමු සිල් පදය සමාදන් වෙනවා කියන්නේ ඔය කියන කරුණු තුනම රකින්න පොරොන්දු වෙනවා කියන එකයි. ගොඩාක් අය ඔය කරුණු තුනෙන් දෙවැනි කාරණය ඉෂ්ට කරන්න දායක වෙනවා. යම් කෙනෙක් මස් මාංශ කනවා නං ඒ කෙනා සතුන් මැරීමට අනුබල දීලා තියෙනවා. මිනිස්සු මස් මාංශ කෑවොත් තමයි, සතුන් මරලා වෙළෙඳ පොළට එවන්නේ.
ඒ අනුව ඉතාම පැහැදිලියි යම් කෙනෙක් සත්ත්ව මාංශ අනුභව කරනවා නං ඒ කෙනා පළමු සිල් පදය උල්ලංඝණය කරනවා කියන එක. ඒ වගේම මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පාණාතිපාත සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා. සතුන් මැරීම, මැරවීම, මස් මාංශ විකිණීම, මිලට ගැනීම, ඉවීම, අනුභව කිරීම ආදියෙන් ප්‍රාණඝාතය හා ඊට අනුබල දීමෙන් වළකමි යන පංච ශීලයේ පළමුවන ශික්ෂා පදය උල්ලංඝණය වෙනවා. එම සතාගේ කැමැත්තක් නැතිව එම මස් බලෙන්ම මංකොල්ලකමින් ලබාගන්නා නිසා සොරකම් කිරීමෙන් වැළකීමේ පංච ශීලයේ දෙවන ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. පංච ඉන්ද්රියයන් අතරින් දිව පිනවීම සඳහා රස තෘෂ්ණාවෙන් කෙරෙන කාමයෙහි වැරැදි හැසිරීමත් නිසා වැරැදි කාම සුවයෙන් වැළකීමේ පංච ශීලයේ තෙවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. සතුන් මැරීම පවක් බව කිය කියා, සත්ත්ව මාංශ කෑම වැරැදි නැත, ඉන් අත්වන පවක් නැත කියමින් බොරු ප්‍රකාශ කරන නිසා බොරුවෙන් වැළකීමේ පංච ශීලයේ සිවුවැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා.
ඒ වගේම මරනු ලබන සතා ක්‍රෝධයෙන්, වෛරයෙන් මැරුම්කන බැවින් ශරීර අභ්‍යන්තරයේ වකුගඩුවල පිහිටි නිර්නාල ග්‍රන්ථියකින් වෑහෙන “ඇඩ්රිනලීන්” නමැති හෝමෝනය සතාගේ රුධිරයට එක් වෙනවා. එයින් එම සත්ත්ව මාංශ “එතනෝල්” ගන්නෙකු ගේ මෙන් විෂ තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා මත් දියරයෙන් සිදුවන්නාක් මෙන්ම මෙම මස් මාංශ බුදින්නාගේ සිතත්, කයත් සංවේදී තත්ත්වයෙන් බැහැර වෙනවා. එවිට බෞද්ධයෙකු තුළ තිබිය යුතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සංජානනයන් ඉවත් වී මස් මාංශ අනුභව කරන්නා කලහාකාරී තත්ත්වයකට පත් කෙරෙනවා. මත්පැන්වලින් කෙරෙන්නේ ද එයයි. එනිසා සුරාමේරයෙන් වැළකීමේ පංච ශීලයේ පස්වැනි ශික්ෂා පදයත් උල්ලංඝණය වෙනවා. මේ අනුව මස් මාංශ අනුභව කරන කෙනා තුළ පන්සිල්වත් නැතැයි කියලා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා කිව්වේ ඒ හින්දයි.
දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ත්ව මාංශයි, බිත්තරයි සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශයි, බිත්තරයි බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ ඉතා වටිනා අදහසක් ප්‍රකාශ කළා. “මට පින් අනුමෝදන් කිරීමට අමාරුයි. දානය පිළියෙළ කළ අය දැනටමත් පව් අනුමෝදන් කරගෙන හමාරයි. මම වැළඳූ දානයට නං පින් අනුමෝදන් කරන්න පුළුවන්.”
මේ ප්‍රකාශයෙන් ඔය අයට තේරෙනවා නේද මෙච්චර කාලයක් දානයක් දෙන කොට මස් මාංශ පිළියෙල කරලා දානයක් දීලා කරලා තියෙන්නේ පින්කමක් ද? ගොන්කමක්ද කියන එක. ඒ නිසා මින් ඉදිරියටවත් පින්කම් නාමයෙන් ගොන්කම් කරන්න එපා. ඒ වගේම පොළොවේ ජීවත් වෙන, ජලයේ ජීවත් වෙන, අහසේ පියඹන, ඉපදෙන්නට අවස්ථාව එනතුරු බිත්තර තුළ සිටින හැම සතෙක්ම මේ භයානක සංසාර ගමනේ අපගේ දෙමව්පියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන්, හිතමිත්‍රාදීන් වෙලා ඉපදුන වාර ගණන අනන්ත අප්‍රමාණ බව අප බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ, දුග්ගහ වර්ගයේ, අනමතග්ග සූත්‍රයේ දී දේශනා කරලා තියෙනවා. මේ අනුව බලන විට රස තෘෂ්ණාවට ගිජු වෙච්ච මස් මාංශ අනුභව කරන කෙනෙක් “මට චිකන්, මට බීෆ්, මට මට්න්, මට පෝර්ක්” කිය කියා තමන් ගේ බඩ පුරවා ගන්නේ තමන්ගේ සංසාරික දුවගේ පුතාගේ – අම්මා - තාත්තාගේ මස් මාළුවලින් වෙන්න පුළුවන්. මගුල් මේසයේ එක එකා ගානේ, කෑලි කපලා - රෝස් කරලා තියෙන්නේ සංසාරික සහෝදර සහෝදරියන්, හිතමිත්රාදීන්ගේ මාංශ වෙන්න පුළුවන්. ඒ තරමට මේ සංසාර ගමන ඉතාම දීර්ඝයි. ඒ වගේම භයානකයි. ඒ බව මේ හැම කෙනෙක්ම හොඳට මතක තියා ගන්න.
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ උපදේශක, විද්‍යා හා සාරධර්ම අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. ඩී. පී. සුනිල්රත්න මහතා දේශනය පවත්වන අවස්ථාව.
මෙම අවස්ථාවට සහභාගි වූ විද්‍යා හා සාරධර්ම අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. ඩී. පී. සුනිල්රත්න මහතා ද හරවත් කතාවක් මෙසේ දරුවන් හමුවේ තැබිය.
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය මගින් මෙහෙයවන මෙම “පූජා උත්තම පූජා” මහා මෛත්‍රී ධර්ම යාත්‍රාව වැඩසටහන අප රටේ සිසු දරු දැරියන්ගේ සාරධර්ම සුරැකීමට මෙන්ම අධ්‍යාපන අභිවෘද්ධියට ද ඉතාමත් ප්‍රයෝජනවත් වී ඇත. රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේත්, පළාත් අමාත්‍යාංශයේත් අනුමැතිය ඇතිව පැවැත්වෙන මෙම වැඩසටහන් විභාග ප්‍රතිඵල නැංවීමට ද විශේෂයෙන් ඉවහල් වී ඇත. මස් මාංශ ආහාරයට ගැනීම නිසා සිසු දරුවන්ට අලසකම, කළහාකාරී, ප්රචණ්ඩත්වය, රෝගාබාධ ආදිය ඇතිවීම නිසා තම තමන්ගේ අධ්‍යාපන කටයුතු ද නිසියාකාරව කිරීමට අපහසුතා ඇතිවීම නොවැළැක්විය හැක්කකි. මස් මාංශ අනුභවයෙන් පන්සිල් පදය නම් කැඩෙන බව ස්ථිරයි.එවන් පුද්ගලයන් අපරාධවලට යොමු වනවා වැඩියි. ක්‍රෝධයෙන් වෛරයෙන් මැරුම්කන සතාගේ මස් සහ ලේ මනුස්සයාගේ ඇට මස් නහරවලට යෑමෙන් මිනිහා තුළද ඇති වෙන්නේ ක්‍රෝධය හා වෛරයයි.
ඒ නිසා අපරාධවලට පෙළඹෙන ප්‍රවණතාව වැඩියි. බොහෝ දරුවන්ට මතක ශක්තිය හීනවීමටත්, අලසකම හා නිදිමත වැඩිකම නිසා අධ්‍යාපන කටයුතුවල නිරතවීමටත් නොහැකි වූ අවස්ථා මම අත්දැකීමෙන්ම දනිමි. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ මෙම වැඩසටහන පැවැත් වූ පාසල් සෑම එකකම වාගේ පසුගිය වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කලින් වසරවලට වඩා සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බව ප්‍රතිඵල විශ්ලේෂණයෙන් පැහැදිලි වී ඇත. එසේම පාසල්වල විනය ගරුක බව හා සාමකාමී පරිසරයක් ඇති වී ඇත. එබැවින් සෑම විදුහල්පති/පතිනියක්ම, ගුරුභවතෙක්ම තම දරුවාගේ අනාගත අධ්‍යාපන ජයග්‍රහණ ලැබීමට කැමැත්තේ නම්, මෙම නිර්මාංශ ප්‍රතිපත්තියට තම දරුවන් යොමු කිරීම ඉතාම වැදගත් බව ප්‍රකාශ කරමි.
මෙම අවස්ථාවට විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසුවියන්, ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා, ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ හා යොවුන් සංවිධානයේ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.