නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
චූල කම්මවිභංග සූත්‍රය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ දී දිනක් තෝද්‍යෙය නම් බ්‍රාහ්මණයාගේ පුතා වන සුභ නමැති තරුණයා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමිණියා. බුදුරජාණන් වහන්සේ මීට පෙර මුණගැහිල තිබුණත් තවම මෙයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා තිබුණෙ නැහැ.
සුලු පිළිසඳරකින් පසුව සුභ තරුණයා භාග්‍යවතුන්වහන්සේගෙන් අහනවා ‘පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් අතර නොයෙක් උස් පහත්කම්, වෙනස්කම් දකින්න ලැබෙනවා. සමහරු බොහෝ කල් ජීවත් වෙනවා, නමුත් තවත්සමහරු අඩු වයසින් මැරෙනවා. සමහරු බොහොම නිරෝගීව ඉන්නවා, ඒත්තව සමහරු නිතර රෝග පීඩා වලින් දුක් විඳිනවා. සමහරු සිත් ඇද බැඳ ගන්නා සුලු රූපයකින් යුක්තයි.
තව සමහරු අවලස්සනයි. සමහරු මහේශාක්‍යව (බෝහෝ පිරිස් බලය ඇතිව) ජීවත් වෙනවා, තව සමහරු අල්පේශාක්‍යව ඉන්නවා. සමහරු උසස් කුලවලත් තව සමහරු පහත් කුලවලත් ඉපිද සිටිනවා. සමහරු ප්‍රඥාවන්තයි, නමුත් තව සමහරු දුෂ්ප්‍රාඥයි. මිනිස්සු වෙලාම ඉපදිලා ඉන්න මේ අය අතරෙ මේ වගේ විශාල වෙනස්කම් පවතින්න හේතු වන කරුණු මොනවා ද?.’
බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ‘පින්වත් තරුණය, සියලු සත්ත්වයෝ තමාගේ දේ කරගෙන සිටින්නේ කර්මය යි. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, කර්මයම දායාද කරගෙනයි ඉන්නෙ. කර්මය තමයි හැමෝගෙම නෑදෑයා. කර්මය පිළිසරණ කරගෙනයි මේ සියලුම දෙනා ජීවත් වෙන්නෙ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්වයන් අතර උස් පහත්කම්, විවිධ වූ වෙනස්කම් ඇති කරලා තියෙන්නෙ’
සුභ තරුණයා කියනවා ‘අනේ පින්වත් ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද ඒ කාරණය මට හරියටම තේරුණේ නැහැ. ඒ නිසා විස්තර වශයෙන් කියල දෙනවා නම් මම හරි කැමතියි’
‘එහෙනම් පින්වත් සුභ අහගන්න, මම ඒ කාරණය විස්තර වශයෙන් කියල දෙන්නම්’ කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් සුභ තරුණයා ඇතුලු අපි හැමෝම අරභයා මේ දේශනය වදාළා.
අඩු වයසින් මැරෙන්නේ ඇයි?
‘පින්වතුනි, මේ ලෝකයේ ඇතැම් මිනිස්සු (ගැහැණු හා පිරිමි) ඉන්නවා, රුදුරු යි, අත්වල ලේ ගාගෙන, නොයෙක් ආයුධ අතැතිව සතුන් මැරීමෙන් යුක්ත වෙලා ඉන්නෙ. සතුන් ගැන දයානුකම්පාවක් නෑ. ඔය විධියට ජීවත් වෙන මිනිස්සු ඒ කර්මය හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, අඩු වයසින් මරණයට පත් වෙනවා.’
‘මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා, සතුන් මැරීමෙන් වැළකිලා ඉන්නෙ. අවි ආයුධ අත හැරලා, සියලු සතුන් ගැන හිතානුකම්පාවෙන් ඉන්නවා. සතුන් මරන්න ලැජ්ජයි. ඔය විදියට ජීවත් වෙලා ඒ කර්මය හේතුවෙන් මරණින් මත්තේ සැප සහිත වූ දෙව්ලොව උපදිනවා. යම් හේතුවකින් මිනිස් ලෝකයේ ඉපදුනොත්, දීර්ඝායුෂ ලබනවා.’
නිතරම ලෙඩ වෙන්නේ ඇයි?
‘මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා, අතපයින්, ගල් වලින්, පොලු ආයුධ ආදියෙන් සතුන්ට හිංසා පීඩා කිරීමෙන් යුක්තව ජීවත් වෙනවා. ඒ විධියට රැස්කරන කර්මය හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, නිතරම නොයෙක් ලෙඩ රෝග වලින් පීඩා විඳිමින් ජීවත් වෙන්න සිදු වෙනවා. කොයි වෙලාවෙ බැලුවත් මොකක් හරි අසනීපයකින් පීඩා විඳිනවා.’
‘මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, අතපයින් හෝ ගල් වලින් හෝ පොලු ආයුධ ආදියෙන් හෝ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකී ජීවත් වෙනවා. එසේ රැස් කරන කර්මය හේතුවෙන් මරණින්මත්තේ සැප විපාක සහිත වූ සුගතිය නම් වූ දිව්‍යලෝකයේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, නිතරම ඉතා නිරෝගී ජීවිතයක් ලබනවා.’
සමහරු කැත ඇයි?
‘මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු, නිතරම ඉන්නෙ තරහ ගිහින්. ඉතා පොඩි දේකටත් ගොඩක් තරහ ගන්න බලාගෙන ඉන්නෙ. වෛරයෙන් පිරිලා, තරහින්, තද ගතියෙන් ඉන්න ඒ උදවිය ඒ නිසාම සිත් තැවුලෙන් ජීවත් වෙනවා. ඔවුන් ඒ විදියට රැස් කරන කර්මය හේතුවෙන් මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, දුර්වර්ණ වෙච්ච කැත රූපයක් තමයි ලැබෙන්නෙ.’
‘මේ ලෝකයේ සමහර මිනිස්සු, වෛරයෙන් පිරිලා නෑ. සුලු දේකටවත් ලොකු දේකටවත් තරහ ගන්නෙ නෑ. කිසිම දේකට තරහ ගන්නෙවත් නොසතුටු බවක් වත් දක්වන්නෙ නෑ. අන් අයගේ වැරදි වලට සමාව දෙමින්, සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් වාසය කරනවා. එසේ රැස් කරන කර්මය හේතුවෙන් මරණින් මත්තේ සැප විපාක සහිත වූ සුගතියේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, ඉතා ලස්සන සිත් ඇදගන්නා සුලු රූපයක් ලබනවා.’
සමහරු තනිවෙලා ඇයි?
‘මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු, අනිත් අයගේ යහපතට ඉරිසියා කරනවා. විශේෂයෙන් තමන් අකැමැති අය හොඳ ජීවිත ගත කරනවා ඒ අයට පේන්න බෑ. ඒ වගේම තමන්ට නැතිව අන් අයට ගෞරව සත්කාර, ලාභ, වැඳුම් පිදුම්, කීර්ති ප්‍රශංසා ලැබීම ගැන නොසතුටෙන් ඉන්නවා. ඔය ආකාරයට රැස්කරන කර්මය හේතුවෙන් මරණින්මත්තේ දුක් විපාක සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, (අල්පේශාක්‍යව) තනිවෙලා සමාජයේ පිළිගැනීමක් නැතිව තමයි ජීවත් වෙන්න ලැබෙන්නෙ.’
‘මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, අනිත් අයගේ යහපත ගැන ඉරිසියා කරන්නෙ නෑ. අනුන්ගේ සැපතේ දී සතුටු වෙන ඒ අය අනුන්ගේ විපතේ දී දුක් වෙනවා. ඒ විදියට රැස් කරන කර්මය හේතුවෙන් මරණින් මත්තේ සැප සහිත වූ දෙව්ලොව උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, මහේශාක්‍යව බොහෝ පිරිස්වලට නායකත්වය දෙමින් පිළිගැනීමකින් යුක්තව ජීවත් වෙනවා.’
හැමෝම පොහොසත් නැත්තෙ ඇයි?
‘මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා, හරිම ලෝභයි. ස්වාමීන් වහන්සේලාටවත්, නැති බැරි අයටවත්, ආහාර – ඇඳුම් - බෙහෙත් ආදිය දන් දෙන්නෙ නැහැ. ගොඩක් තිබිලත් පොඩි දෙයක්වත් දෙන්න කැමති නෑ. දෙන අයවත් ඉන් වළක්වන්නයි හදන්නෙ. ඒ අය ඔය විදියට රැස් කරන කර්මය නිසා මරණින් මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත් හරියට කෑමක් බීමක් ඉන්න හිටින්න තැනක් ඇඳුමක් පැළඳුමක් නැති දුගී දුප්පත් පවුල්වල උපත ලබලා ජීවිතය ගෙවන්න සිද්ධ වෙනවා.’
‘මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු, දන් දෙන්න සැදී පැහැදී ඉන්නවා. ලෝභ කමින් තොරව ඉන්නවා. තියෙන පොඩි දෙයක් හරි හිතේ පැහැදීමෙන් දෙනවා. තමාගේ දේ අනුනට දීමෙන් සතුටු වෙනවා.
එසේ රැස් කරන කර්මය හේතු කොට ගෙන මරණින් මත්තේ දිව්‍යලෝකයේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත් යානවාහන සේවකයෝ සුව පහසු නිවාස මිල මුදල් බොහෝ තිබෙන පොහොසත් තැන් වල උපත ලබල ජීවත් වෙනවා.’
කුල භේදය නැති නොවෙන්නේ ඇයි?
‘මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ගරු කළ යුත්තන්ට ගරු කරන්නෙ නෑ. හිතට අරං දැඩි මාන්නයෙන් ඉන්නවා. පිදිය යුත්තන් පුදන්නෙ නෑ. ඔවුන් ඒ විදියට රැස් කරන කර්මය හේතුවෙන් මරණින්මත්තේ දුක් සහිත වූ අපායේ උපදිනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත් හීන කුලයේ උපත ලබනවා.’ ‘මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, ගරු සත්කාර කළ යුත්තන්ට ගරු සත්කාර කරනවා. නිහතමානීව ඉන්නවා. පිදිය යුත්තන් පුදනවා. එසේ රැස් කරන කර්මය හේතුවෙන් මරණින්මත්තේ සුගතියේ උපදිනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, උසස් කුලයේ උපත ලබනවා.’
කොච්චර කිව්වත් නොතේරෙන්නේ ඇයි?
‘මේ ලෝකයේ ඉන්න සමහර මිනිස්සු හිතාගෙන ඉන්නෙ,, දැනගත යුතු දේවල් සේරම මම දැන් දන්නවා කියලා. තවත් දැනගන්න දෙයක් නෑ කියලයි හිතන් ඉන්නෙ. ඒ අය ආර්ය මහා සංඝ රත්නය මුණ ගැසිලා කුසල් අකුසල් පිළිබඳ හොඳ නරක ගැන, යහපත අයහපත ගැන තමා නොදන්නා දේ දැනගන්න උනන්දු වෙන්නෙ නෑ. තමන් නොදන්න බව වත් දන්නෙ නෑ. ඔය විදියට රැස්කරන කර්මය මරණින් මත්තේ දුක් විපාක ඇති අපායේ උපදින්න හේතු වෙනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත් කියන දේ නොතේරෙන – දුෂ්ප්‍රාඥ - මෝඩ කෙනෙක් වෙනවා.’
‘මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා, ඒ අය පින්වත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තමා නොදන්නා දේ අසා දැන ගන්නවා. තමාගේ යහපත පිණිස පවතින දේ මෙන්ම අයහපත පිණිස පවතින දේත් කුසල් මෙන්ම අකුසල් ගැනත් තමා නොදන්නා දේ අසා දැනගෙන, ඒ අනුව කටයුතු කරනවා. ඒ ආකාරයෙන් රැස් කරන කර්මය හේතුවෙන් ඔවුන් මරණින් මත්තේ සැප විපාක ඇති සුගතියේ උපත ලබනවා. බැරි වෙලාවත් මිනිස් ලෝකෙ ඉපදුනොත්, වහා වැටහෙන නුවණ ඇති, අදාළ දේ සුදුසුම වෙලාවේ දී තෙරුම් යන ප්‍රඥාවන්ත කෙනෙක් ලෙස උපදිනවා.’
‘පින්වත් සුභ, ඔය ආකාරයෙන් තමයි මම දේශනා කළේ. සියලු සත්ත්වයෝ තමාගේ දේ කරගෙන සිටන්නේ කර්මය යි. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, කර්මයම දායාද කරගෙනයි ඉන්නෙ. කර්මය තමයි හැමෝගෙම නෑදෑයා. කර්මය පිළිසරණ කරගෙනයි මේ සියලුම දෙනා ජීවත් වෙන්නෙ. අන්න ඒ කර්මය විසින් තමයි මේ සත්වයන්අතර උස් පහත් කම් විවිධ වූ වෙනස්කම් ඇති කරල තියෙන්නෙ’ කියලා.
‘ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, ඉතා පුදුමයි, හරිම ආශ්චර්යයි. යටිකුරුව තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගේ. අතරමං වෙලා හිටපු කෙනෙක්ට පාර පෙන්නුවා වගේ. කලුවරේ සිටින ඇස් ඇත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් පත්තු කළා වගේ. මම අද පටන් බුදුරජාණන් වහන්සේවත් ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් දිවි හිමියෙන් සරණ යනවා.
සාදු.... සාදු.... සාදු...
Name
*
First
Last
Email
*
Comment
*
Submit