නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
අන්ධයන්ට ගොළුවන්ට බිහිරන්ට පින්සිදු වන්නේ නැති ද?ඔවුනට පින් කළ නො හැකි ද?
ද ද මිනිසුන් බස් ගෙන කිසි කලෙ කය
ත ද අකුසල් කොට කුසලින් වැළ කය
අ ඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය
ම ඳ පිනකුත් නොපිරෙයි බල නිසැ කය
ඉහත දැක්වූ ප්‍රශ්නය ඇතමුන් අසන්නේ මේ ලෝවැඩසඟරා කවිය නිසා ය. කවිය රසවත් කරනු සඳහා දක්වන කරුණු ඇතුවාට වඩා කුඩාකොට හෝ මහත්කොට හෝ කීම කවීන් ගේ සිරිත ය. තව ද කිය යුතු කරුණ කීමට වුවමනා වචන ටිකෙන් පමණක් කවිය සම්පූර්ණ නො වෙතොත් එයට තවත් මොකවත් එකතු කිරීමත්, එළිසමය කර තැනීම සඳහා යම් යම් වචන යෙදීමත් කවි තැනීමේ දී කරන්නට සිදු වේ. එසේ නො කොට කවි තැනීම කළ නො හැකි ය. කවියක අදහස හරියට ගත හැකි වන්නේ අධික වර්ණනා හා වැඩිපුර යොදා ඇති වචනත් අත් හැර දමා අර්ථය ගන්නා තැනැත්තාට ය.
පව්කම් කරන්නෝ අනුන් ගේ කීම් ඇසීමෙන් ද කරති. එසේ නැතිව ද කෙරෙති. මේ කවියෙන් දක්වන කරුණ දැක්වීමට දද මිනිසුන් බස්ගෙන පව් කරන බව කියන්නට වුවමනා නැත. එයට “දද මිනිසුන් බස්ගෙන කිසි කලෙකය” යනු යොදා තිබෙන්නේ එළිසමය සඳහාත් කවිය පිරවීම සඳහාත් ය. මේ කවියෙන් ගන්නට ඇති අදහස කවර හේතුවකින් හෝ අඳ, ගොළු, බිහිරිව උපන හොත් ඔවුනට පින් කිරීමට දුෂ්කර වන බව පමණකි. අඳ බව ගොළු බව බිහිරි බව යන මේ කරුණු තුනෙන් ම යුක්තව යමකු උපනහොත් ඔහුට ජීවත්විය නො හැකි ය.
එසේ ඉපිද ජීවත්ව ඉන්නා අය දක්නට නැත. එසේ උපන් එකකුට නම් මඳ පිනක්වත් කරන්නට ලැබෙන්නේ නැත. අඳ බව, ගොළු බව, බිහිරිබව යන මේ තුනෙන් එකකින් හෝ දෙකකින් යුක්ත අය සමහර විට පින් කරති. උප්පත්තියෙන් ම අංගවිකලව උපදින්නෝ අහේතුක ප්‍රතිසංධිකයෝ ය. ඔවුනට නුවණ ඉතා මඳ ය. එබැවින් ඔවුහු උසස් පින් කිරීමට සමත් නො වෙති.
සමහරවිට මඳ පින් ඔවුහු කරති. අන්ධයන්ටත් බණ ඇසිය හැකිය, දන් දිය හැකිය, සිල් රැකිය හැකිය, භාවනා කළ හැකිය, තිරිසන් සත්ත්වයන් ද බණ අසා ස්වර්ගයට ගිය බව බෞද්ධ පොත්වල සඳහන්වී තිබේ. තිරිසනුන්ටත් එසේ පින් කළ හැකිව තිබෙන කල්හි මනුෂ්‍ය අන්ධයාට එය නො කළ හැකිවීමට කරුණක් නැත. ගොළු බිහිරන්ට අන්ධයන්ට තරමට පින් කිරීමේ ශක්තිය නැත. එහෙත් සමහරවිට ඔවුහු ද අනුන් කරනු බලා සිට මල් පිදීම් වැඳීම් ආදි පින්කම් කරති. එයින් ඔවුනට ද ඥානයෙන් තොර දුබල කුශල් ඇති වේ.
තද අකුසල් කොට කුසලින් වැල කය
අඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය
යන මේ කවි දෙපදය නිසාත් අඳ ගොළු බිහිරිව උපදින්නේ අකුශලයෙන්ය කියා වැරදි හැඟීමක් ඇතිවිය හැකිය. මනුෂ්‍යභවය කාම සුගතිභූමි සතෙන් එකකි. අකුශලයකින් දුගතියෙහි මිස කිසි කලෙක සුගතියෙහි නූපදී. බලවත් කුශලය සුගතියෙහි අංගසම්පූර්ණ උත්පත්තියක් ඇති කරයි. දුබල කුශලය එසේ කිරීමට සමත් නො වේ. එබැවින් බලවත් කුශල් නැතියෝ මිනිස්ලොව අංගවිකලව උපදිති. අකුශලයකින් මිනිසකුව උපදිනවාය කියත හොත් එය ධර්මයට විරුද්ධ ය.
බලවත් පින් නො කළ අය දුබල කුශල්වලින් මිනිස්ව අහේතුක ප්‍රතිසන්ධිය ලබති. ඔවුහු අන්ධයෝ ද, ගොළුවෝ ද, බිහිරෝ ද, නපුංසකයෝ ද, පණ්ඩිතයෝ ද, කෙලතොළුවෝ ද, පිස්සෝ ද, වික්කල් ගසන්නෝ ද වෙති. සමහරවිට අකුශල් නිසා ඉපදීමෙන් පසු අන්ධ භාවාදියට පැමිණෙති.
76
පින් නො කළ හැකි කල් අටක් ඇත්තේ ද?
මෙයද “නොකල් අටෙකි පින්කම් කළ නො හැකි” යන ලෝවැඩ සඟරා කියමන නිසා නඟන ප්‍රශ්නයෙකි. පින් නො කළ හැකි කල් අටක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර නැත. අංගුත්තර නිකාය “අෂ්ටක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ තෘතීය වර්ගයෙහි අක්ෂණ සූත්‍රයෙහි “අට්ඨිමෙ භික්ඛවෙ, අක්ඛාණා අසමයා බ්‍රහ්මචරිය වාසාය” යි බ්‍රහ්මචරියවාසයට නො කල් අටක් ඇති බව වදාරා තිබේ. එහි බ්‍රහ්මචරිය වාසය යනුවෙන් දැක්වෙන්නේ ඒ ජාතියේදී ම මාර්ගඵල ලැබීම සඳහා සීල සමාධි ප්‍රඥාවන් වැඩීම ය. ඒ සූත්‍රයෙහි නො කල් අට සැටියට වදාරා තිබෙන්නේ:
නරකයෙහි උපන් කාලය
තිරිසන්ව උපන් කාලය
පේ‍්‍රතව උපන් කාලය
එක්තරා දේවනිකායක උපන් කාලය
ප්‍රත්‍යන්ත දේශයෙහි උපන් කාලය
මිථ්‍යා දෘෂ්ටික වී ඉන්නා කාලය
හොඳ නරක තේරුම් ගැනීමට නො සමත්
මෝඩයකුව ඉන්නා කාලය
බුදුවරුන් ලොව පහළ වී නැති කාලය
යන මේ කාල අටය. බ්‍රහ්මචරිය වාසයට නො කල් සැටියට වදාරා ඇති මේ අට පසු කාලයේ සැපයුණු පොත්වල පින් නො කළ හැකි කල් අට වශයෙන් දක්වා තිබේ. බ්‍රහ්මචරිය වාසයත් පින් කිරීමක් ම බැවින් මේ අටට පින් නො කළ හැකි කල් අට ය යි ද කිය හැකි ය. එහෙත් එසේ කීමෙන් තරමක් අවුල් වේ. ප්‍රශ්න ඇති වන්නේ ඒ නිසා ය. පින් කළ නොහෙන තැන් සැටියට කියන මේ ස්ථාන අටෙන් සම්පූර්ණයෙන් ම පින් නො කළ හැකි තැන වන්නේ අසංඥ භවය පමණෙකි. සෘද්ධිමත් රහතන් වහන්සේලා නරකයට ගොස් ඍද්ධිබලයෙන් එහි ගිනි නිවා නිරිසතුන්ට දහම් දෙසති.
එබඳු අවස්ථාවල දී නිරිසතුන්ට ද පින් ඇති වේ. සමහර තිරිසන් සතුන් පින් සිදු කර ගන්නා බව නොයෙක් බෞද්ධ කථාවල සඳහන් වී ඇත්තේ ය. පේ‍්‍රතයෝ ද සමහරවිට දහම් ඇසීම් ආදිය කොට පින් සිදු කර ගනිති. ඔවුහු ඔවුන් උදෙසා කරන පින් අනුමෝදන්වීම් වශයෙන් බොහෝ පින් ලබති. ප්‍රත්‍යන්ත දේශවල උපන්නෝ ද මා පිය උපස්ථානාදී පින්කම් කරති. මිථ්‍යාදෘෂ්ටිකයෝත් සමහරවිට පරෝපකාරාදිය කෙරෙති. ඒවායින් ඔවුනට ද පින් සිදුවේ. ජාත්‍යන්ධාදීහු ද සමහරවිට පින් කෙරෙති. බුදුවරුන් ලොව පහළ වී නැති කාලවල දී මනුෂ්‍යයෝ දානාදි පින්කම් කෙරෙති. සමහරු ධ්‍යාන වඩා බ්‍රහ්මලෝකවල ද උපදිති.
මේ අෂ්ට අක්ෂණයෙන් සමහරක් ලෝවැඩ සඟරාවේ කියා තිබෙන සැටි පෙළට අටුවාවට වෙනස් ය. පටිපාටියත් වෙනස් ය. අක්ෂණ සූත්‍රයෙහි “අයඤ්ච පුග්ගලො පච්චන්තිමෙසු ජනපදෙසු පච්ඡාජාතො හොති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු යත්ථ නත්ථි ගති භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං යනාදීන් වදාර තිබෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසකෝපාසිකාවන් නො පැමිණෙන ප්‍රත්‍යන්ත දේශයෙහි ඉපදීම එක් අක්ෂණයක් ලෙස ය.
පව් මිස පිනකැයි නො කරන හැම ක ල
මුනි බණ නො පවතිනා පිටසක්ව ළ
නිසි ලෙස උපනත් ලැබ දන මනක ල
කිසි කලෙකත් කුසලක් නො කළැකි බ ල
යන කවෙන් ලෝවැඩ සඟරාවෙහි දක්වා ඇත්තේ පිට සක්වළ උපන් කාලය අක්ෂණයක් ලෙස ය.
අක්ෂණ සූත්‍රයෙහි “අයඤ්ච පුග්ගලො අඤ්ඤතරං දීඝායුකං, දෙවනිකායං උප්පන්නො හොති” යනාදීන් එක්තරා දේවනිකායක උපන් කාලය එක් අක්ෂණයක් ලෙස වදාරා තිබේ. “දීඝායුකං දේවනිකායන්ති ඉදං අසඤ්ඤ දෙවනිකායං සන්ධාය චුත්තං යි අටුවාවෙහි දක්වා තිබෙන්නේ ඒ දීඝ¡ායුෂ්ක දේව නිකාය අසංඥ දේව නිකාය කියා ය.
සිත මිස කය නැති බඹලොව සතරෙ කි
සිත නැතිව ම කය ඇති බඹතලයෙ කි
මෙද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපනත් කුසලක් නොම කළ හැ කි
ලෝවැඩ සඟරාවේ මේ කවෙන් දක්වන්නේ අරූපභව අසංඥභව දෙක්හි ම උපන් කාලය අක්ෂණයක් ලෙස ය. සිතක් නැති බැවින් අසංඥ භවයෙහි පින් නො කළ හැකි ය. අරූප ලෝකය පින් නො කරන තැනක් නො වේ. ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයෝ ද සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් පුද්ගලයෝ ද එහි ඇත. පරතෝඝොසය නො ලබන බැවින් එහි පෘථග්ජන පුද්ගලයන්ට මගපල නො ලැබිය හැකි ය. එහි වෙසෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි පුද්ගලයෝ විදර්ශනා භාවනා කොට මතු මතු මගපලවලට පැමිණෙති. ඒ භාවනාව ඉතා උසස් කුශලයෙකි.
“අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්ඡා ජාතො හොති, සො ච හොති දුප්පඤ්ඤො ඡළො එළමුගො න පටිබලො සුභාසිත දුඛ්භාසිතස්ස අත්ථ මඤ්ඤාතුං, අයං භික්ඛවෙ, සත්තමෝ අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.”
මේ අක්ෂණ සූත්‍රයේ සත්වන අක්ෂණය දක්වා වදාරා ඇති පාඨය ය. හොඳ නරක කීම්වල අර්ථය තේරුම් ගැනීමට නො සමත් මෝඩයකුව ඉන්නා අවස්ථාව එක් අක්ෂණයක් බව එයින් ප්‍රකාශ වේ. ලෝවැඩ සඟරාවෙහි “අඳ, ගොළු, බිහිරිව උපනත් මේ කය” යනාදි කව යොදා තිබෙන්නේ මේ කාරණය සඳහා ය. අඳ, ගොළු, බිහිරිව උපදින්නෝ ද අහේතුක ප්‍රතිසන්ධිකයෝ ය. ඔවුහු සුභාෂිත දුර්භාෂිතයන් ගේ අර්ථය දැනීමට සමත් නො වෙති. අඳ, ගොළු, බිහිරන් පමණක් නොව තවත් අහේතුක ප්‍රතිසන්ධිකයෝ ඇත්තාහ.
එබැවින් පමණක් නොව තවත් අහේතුක ප්‍රතිසන්ධිකයෝ ඇත්තාහ. එබැවින් ලෝවැඩ සඟරා කවියෙන් ඒ කාරණය සම්පූර්ණයෙන් කියවී නැති බව කිය යුතු ය. කාමසුගතියේ අහේතුක ප්‍රතිසන්ධිකයන් අතර අන්ධයෝ ද, ගොළුවෝ ද, බිහිරෝ ද, කෙළතොලුවෝ ද, පිස්සෝ ද, වික්කල් ගසන්නෝ ද, නපුංසකයෝ ද, පණ්ඩකයෝ ද, උභතෝඛ්‍යඤ්ජනකයෝ ද වෙති. ඒ හැම දෙනා ම සුභාෂිත දුර්භාෂිතයන් ගේ අර්ථය දැන ගැනීමට සමත් නො වන මෝඩයෝ ය.
ධර්ම විනිශ්චය
පින්වත්නි, යම් කිසි කෙනෙකුට පූජාවක් තබන්නට නම් ඒ පූජාව ලැබීමට ඔහු සුදුස්සෙක් වෙන්නට ඕනෑ. දැන් මේ පින්වතුන්ගෙන් මම ඇහුවොත් එහෙම. මම භික්ෂූවක් වශයෙන් පඤ්චකාම සම්පත්තීන් විඳිනවා කියලා දැන ගත්තොත්, හොඳ හැටි පස්කම් සුව විඳිනවා කියලා දැන ගත්තොත් ඔය ඇත්තන් එහෙම භික්ෂුවකට දානයකට එහෙම ආරාධනා කරයි ද? සංග්‍රහ කරයිද? දැන් අපි මේක අහන කොට හුඟාක් දෙනා කියන්නේ නැහැ ස්වාමිනි කියලා. මොකද හේතුව? පඤ්ච කාමයන් ඒ තරම් උසස් හැටියට සලකන්නේ නැහැ. පඤ්ච කාමයන් ගැන කියන්නේ ඒවා බොහොම ග්‍රාම්‍ය දේවල්, පෘථග්ජනයන්ගේ දේවල්, ග්‍රාම්‍ය පෘථග්ජනයන්ගේ දේවල්. ඒවා උසස් පෘථග්ජනයන්ගේ දේවල් නෙමෙයි පස්කම් සුව පසු පස්සේ යෑම.
එතකොට බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක චක්‍රවර්තී රජ්ජුරුවන්ගේ සැපත්, රත්නයන් නිසා විඳින පස්කම් සුව ගැන දේශනාවක් කරනවා. එතකොට එක්තරා භික්ෂුවක් බුදු හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිනි, ඔය කියපු පස්කම් සුවය පිළිබඳව චක්‍රවර්ති රජ්ජුරුවෝ විඳින, ගිහියා විඳින පස්කම් සුවයට සම්බන්ධ කරලා උපමාවක් කරන්න පුළුවන් ද කියලා. බුදු රජාණන් වහන්සේ එතැන තිබෙන ගල් කැටයක් අතට අරගෙන මිටෙන් වහනවා. එහෙම මිටෙන් වහලා අහනවා අර භික්ෂුවගෙන් මහණ, මේ මගේ අතේ වහලා තිබෙන ගල් කැටය ලොකු ද, නැත්නම් අර පෙනෙන හිමවත් පව්ව ලොකු ද කියලා.
එතකොට භික්ෂුව කියනවා ස්වාමිනි, හිමවත් පව්වට කොහොමද මේක සම කිරීම කරන්නේ කියලා. එහෙනම් දැන ගන්නට චක්‍රවර්ති රජ්ජුරුවෝ විඳින කාම සම්පතක් තිබෙනවා තිබෙනවා, නම් ගිහියාගේ කාම සම්පත්තියට සම කළොත් සාමාන්‍ය ගිහියෙක් විඳින කම්සුව හරියට මේ මිටේ වහලා තිබෙන ගල් කැටය වගෙයි කියලා චක්‍රවර්ති රජ්ජුරුවෝ විඳින කම් සුව අර පෙනෙන හිමාලයටත් වඩා ඉහළයි කියලා කියනවා.
එහෙනම් පින්වන්ති, දෙවියන්ගේ දෙවි සැප ගැන කවර කතාවක් ද? එහෙනම් දැන් ඔය ගිහිල්ලා තියන පූජා වට්ටි තබ තබා කරන කටයුත්ත දෙවියන් විඳින පස්කම් සුවය නිසා කරන එක්කද? නැහැ පින්වත්නි, අපි ඕක කරන්නට ඕනෑ ඒ යමෙකුගේ උදාර වූ අධ්‍යාත්මික ගුණ වගාවක් තිබෙනවා නම්, ඒ ගුණයට උපහාරයක් ලෙස තමයි අපි පූජා පවත්වන්නේ, ඉතින් ඒ ගුණය ගැන තමයි කියන්නේ සීල, සමාධි, පඤ්ඥා යම්කිසි ආකාරයකින් පුදන ලද්දක් වෙයි නම්, ඒ පුදන ලද්ද මහත්ඵල මහානිසංස වෙනවා නම්, ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ඒ ප්‍රතිග්‍රාහකයා සීල, සමාධි පඤ්ඤා, විමුක්ති, ඤාණදර්ශන කියන පඤ්චාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ පඤ්චාංගයන්ගෙන් ඉහළට ම ගිය තැනැත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව ශ්‍රේෂ්ඨයි කියාලා දේශනා කළා.
පින්වත්නි, ඒ බුද්ධ පූජාව හැමදාම තියන්නට ගෙදර පටන් ගන්නට, මේ බණ අහන මේ පින්වතුන් අද ඉඳන් පටන් ගන්නට ගෙදර බුද්ධ පූජාව තියන්න. ලෙහෙසියෙන් ම පූජාව තියන්නට පුළුවන්. තියන්න පුළුවන් ඉහළම මට්ටමෙන් තියන්නට. සමහරක් වෙලාවට උදේ වැඩට යන්න ලෑස්ති වෙලා ඒ ඉහළම වත් පිළිවෙත් තේ ටිකක් පවා වෙන්නට පුළුවන්, පාන් පෙත්තක් වෙන්න පුළුවන්, වතුර වීදුරුවක් වෙන්නට පුළුවන්, කමක් නැහැ තියන එක ඉහළම මට්ටමින් තියන්නට, සමහරක් විට ගෙදරක ඉන්න වෙලාවට අපට පුළුවන් නම් බුදුහාමුරුවන්ගේ අනන්ත වූ බුදු ගුණය සිහිපත් කරගෙන දානයක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට හොඳට සකස් කරලා. ඒක සමහරක් වෙලාවට තමන්ට පුළුවන් ආකාරයෙන් සමහරක් වෙලාවට සම්බෝලයකුයි, බතකුයි වෙන්නට පුළුවන්, ඒත් කමක් නැහැ. ඒක නම් තමන්ට තිබෙන ඉහළම මට්ටම, ඒ නිසා කවදාවත් බුද්ධ පූජාව දුර්වල කරන්නට එපා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න බුදු ගුණය සිහි කරගෙන.
ඇයි මේක කරන්න කියන්නේ? මේ ටිකත් මේ පින්වතුන්ට වටහලා දෙන්නට ඕනෑ. අපි “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” කියලා කියනවා. නමෝතස්ස භගවතෝ, “භගවතෝ” කියලා කියන්නේ “භග්ග රාගෝ, භග්ග දෝසෝ, භග්ග මොහෝ” බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා. ද්වේශය දුරු කළා. මෝහය දුරු කළා. මේ රාග, දෝස, මෝහ දුරු කළ නිසා භගවා කියලා කියනවා. ඒ වගේ ම අරහං කියලා කියනවා. මේ රාග, ද්වේෂ, මෝහ දුරුකරලා නික්ලේෂි බවට පත් වුණ, නිසා දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං.
අරහං ගුණයට තමයි අපි මේ උපහාරය කරන්නේ, ඒක සුළු දෙයක් නෙමෙයි මේ අරහං ගුණයට කරන උපහාරය කරන්න පුළුවන්. ඉහළම මට්ටමින් කරන කොට තමන්ගේ හදවත් පිරෙනවා. බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් තමන් දන්නවා තමන් යා යුතු මඟ ලෝභ දෝස, මෝහ දුරු කිරීමේ මාර්ගයයි කියලා. ඒ බවම තමයි තමන්ගේ මනසටය එන්නෙත්, තමා බුද්ධ පූජාව තියන කොටම තමන්ගේ හදවතේ තිබෙන ලෝභ, දෝස, මෝහ යටපත් වෙලා අලෝභ අදෝස අමෝහ කියන කුසල ශක්තීන් ඉස්මතු වෙනවා. හැමදාම අප්‍රමාණ කුසලස්කන්ධයක් මේ ආකාරයෙන් රැස් කරනවා.
මෙන්න මෙහෙම රැස් කරන කුසලස්කන්ධය මේ පින්වතුන් අනුමෝදන් කරන්නේ දෙවියන්ට ප්‍රාණරක්ෂක දෙවියෝ ඉන්නවා. ඒ වගේ ම ඉෂ්ට දේවතාවෝ ඉන්නවා. ඒ වගේ ම ශාසනාරක්ෂක දෙවිවරු ඉන්නවා. මේ දේවතාවන්ට අනුමෝදන් කරන්නට. ඒ දේවතාවන්ට අනුමෝදන් කරන කොට දෙවියොත් සතුටු වෙනවා. දැන් තියන විදිහට නම් පින්වත්නි, කුසලයක් නැහැ ඕකේ තණ්හාව විතරයි ඔතැන තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්න දෙවියොත් ඔක්කෝම ලංකා භූමියෙන් අනෙක් පැත්තට හැරිලා. බලන්න අද වෙලා තිබෙන දේ අපේ රටට මොකක් ද කියලා.
ඒ නිසා ඉක්මණින් හොඳට කුසල් ටිකක් රැස් කරලා “ආකාසට්ඨාච භුම්මට්ඨා” කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට එතකොට යහපත සිද්ධ වෙනවා. මේ ටික කියල දෙන්නට ඕනෑ. ඒ පින් අනුමෝදන් කරන කොට බුදු දහමේ සුත්‍රවලත් සඳහන් වෙනවා පොහෝ දවසට දෙව්වරුන් දෙව්ලොව රැස් වෙනවා කියලා සුධර්මා දිව්‍ය සභාවේ. දිව්‍ය ලෝකයේ රැකීමත් දිව්‍ය ලෝකයේ දියුණුවත් කියන කාරණය සාකච්ඡා කරන්නට. එතකොට එතැනට යන භූමාටු ආකාශස්ථ වාගේ දේවතාවෝ එහේ සඳහන් කරනවාය මෙන්න අපි ඉන්න තැන්වල මේ ඇත්තෝ දන් දෙනවා.
සිල් රකිනවා. භාවනා කරනවා යනුවෙන් ඒ ඇත්තන්ගේ කුසල ශක්තීන් කියන කොට දෙවියන් සතුටු වෙනවය. සතරවරම් දේවතාවෝ පවා ලෝකය සිසාරා යනවාය ඒ ඇත්තන්ගේ පින් අනුමෝදන් වෙන්නට. එතකොට ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය. එතකොට මෙන්න මේ විදියට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නේ, කුසලයක් කරපුවහම ඒ කුසලය කරපු තැන ඉන්න දෙවියන්ට පින් දෙන්න.
“යා තත්ථ දේවතා අස්සු තාසං දක්ඛිණමාදිසේ” එහි දේවතාවෝ ඇත්නම් ඒ දෙවියන්ට මේ පුණ්‍ය දක්ෂිනාව දෙන්නට. ඒ දෙවියෝ එතකොට ඒ ඇත්තනට ආශිර්වාද කරනවාය. “දේවතානුකම්පිතෝ පුරිසෝ සදා භද්‍රානි පස්සත” එසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන තැනැත්තාට හැමදාම යහපත සැලසෙනවාය. ඒ නිසා පින්වත්නි, යහපත දකින්නට කැමති නම් හැමදාම වෙන දෙයක් නෙමෙයි, වෙන කුසලයක් නෙමෙයි හැමදාම මේ බුද්ධ පූජාව තියන්න, තියලා දෙවියන්ට පින් දෙන්නට.
කවුරු හරි කියයි අනේ ඕක වැරදුණොත් හොඳ නැහැ කියලා පින්වත්නි, භය වෙන්නට එපා, බුදු හාමුදුරුවෝ කාත් එක්කවත් තරහා වෙන කෙනෙක් නෙමෙයි, දවසක් දෙකක් වැරදුණත්, අමතක වුණත් ඔය කියන්නා වූ දෙයක් ඇති වෙන්නේ නැහැ. තමන් හොඳ දිවියක පිහිටලා පන්සිල් රකින්නට උත්සාහ කරමින් හැමදාම මේ බුද්ධ පූජාව, දානය දෙන්නට, ඥාතීන්ට, මිය ගිය ඇත්තන්ට පින් දෙන්නට, වැඩි කලක් නොගිහින් අපේ මේ රටට වාසනාව පෑදෙනවා.
මේ කාලකන්නිකම ගිහිල්ලා අපේ ලංකාවට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඔය යදින එක පැත්තකට දාලා තමන් හොඳට කුසල් රැස් කරන්නට, අලෝභ, අදෝස, අමෝහ චේතනා තමන් තුළ දියුණු කර ගන්නට, එයින් තමයි තමන්ට වාසනාව පෑදෙන්නේ. මේ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින් හොඳට හිතලා බලලා අගුණ දුර්වලකම් දුරුකර ගන්න. ගුණධර්ම වඩා සිටුවා ගන්නට හැමදෙනාට ම උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් යහපත සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රේරුකානේ චන්දවිමල නාහිමි