නමෝ බුද්ධාය
පෙර වදනක්
සූත්‍ර දේශනා
භාවනා
දේශණා ( dawnload )
අවිහිංසා සංකප්ප
ජීවිතය ජයගන්න
විවිධ මාතෘකා
විමර්ශන
video
අණන සූත්‍රය
අණන සූත්‍රය
චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි, ගිහිනා කාම භොගිනා කාලෙන කාලං සමයෙන සමයං කතමානි චත්තාරි අÀථි සුඛං, භොග සුඛං , අනන සුඛං, අනවජ්ජ සුඛන්ති’ති
අණන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ ජීවිතයට සම්බන්ධකර ගන්න ඕන කාරණා හතරක් පෙන්නුම් කරනවා. චත්තාරිමානි, ගහපති සුඛානි .... ගෘහපතිය, ගිහියෙකු විසින් වරින් වර සමයෙන් සමයට අවස්ථාවෙන් අවස්ථාවට, තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගත යුතු, තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් තිබෙනවා. “කතමානි චත්තාරි, ඒ කාරණා හතර මොනවා ද? අÀථි සුඛං, භොග සුඛං, අනන් සුඛං, අනවජ්ජ සුඛං, මේ පාලි පාඨයෙන් කියන කරණු හතරේ අදහස කුමක් ද? කාම භෝගී ජිවිතයක් ගත කරන ගිහි පින්වතුන් විසින් මෙන්න මේ කරුණු හතර තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කර ගත යුතුයි.
අÀථි සුඛය. මට දැහැමින් සෙමින් උපයා සපයා ගන්නා ලද වස්තුවක් ධනයක් තිබෙනවා කියලා යම් කිසි කෙනෙකුට සතුටු විය හැකි නම්, ලෞකික වශයෙන් ගිහියෙකු ලබන උසස් සතුටක්. මම දැහැමින් සෙමින් ජීවත් වෙන්නේ. මට ධාර්මිකව උපයා ගත් වස්තුවක් තිබෙනවා කියා සතුටු විය හැකියි. ඒක හැම දෙනාටම ලබන්න බැහැ. භෝග සුඛය. මම ධාර්මිකව ජීවත් වෙමින් දැහැමින් සෙමින් අඹුදරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වලත් යෙදෙනවා කියන සතුට යම් කිසි කෙනෙකුට ලබන්න පුළුවන් නම් ඒක ලෞකික ජීවිතයේදී ගිහි පින්වතුන් විසින් ලබන සංතෝස අතරින් තවත් එකකි.
අණන සුබය, මම කිසිම කෙනෙකුට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ ණයක් නැහැ. ණය නැති ජීවිතයක් මා ගෙවනවා කියන සතුට හැම කෙනෙකුටම ලබන්න බැහැ. ඒ සතුට යම්කිසි කෙනෙකුට තිබෙනවා නම් එය ගෘහස්තයෙක් වශයෙන් ලැබිය හැකි ඉතා වැදගත් සතුටක්, අනවජ්ජ සුඛය. මම නිවැරැදිව ජීවත්වෙන කෙනෙක්. මගේ කයින් කෙරෙන කටයුතු නිවැරදියි. මගේ වචනයෙන් කෙරෙන කටයුතු නිවැරදියි. මම සිතන සිතුවිලි ක්‍රමය නිවැරදියි කියලා යම්කිසි කෙනෙකුට ධර්මානුකූලව හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ගිහියෙක් වශයෙන් ලැබිය හැකි උපරිම සතුට එයයි.
මේ සංතෝෂ හතර ගිහි පින්වතුන් වශයෙන් ඔබ හැම දෙනාම ලබාගත යුතුයි. දැන් අපි මේක තව පොඩ්ඩක් විස්තර වශයෙන් බලමු. අද වර්තමාන සමාජය තුළ ජීවත් වන ගිහි පින්වතුන්ගේ ජීවිතය දෙස බලන්න. ඔය පින්වතුන් අතර කී දෙනෙකුට මේ පළවෙනි සංතෝෂය ලබා ගන්න පුළුවන්ද? මේ අÀථි සුඛය කියන්නේ මම ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්, ධාර්මිකව හම්බ කළ වස්තුවයි, ධනයයි මට තියෙන්නේ කියන මේ සතුට ලබන්න අපේ බෞද්ධ පින්වතුන් අතර කී දෙනෙකුට පුළුවන්ද?
හොඳට මේ පින්වතුන් හිතලා බලන්න බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ කරගැනීමට පුළුවන් , සම්බන්ධ කරගන්නා ප්‍රමාණයෙන් සතුටු වන්න පුළුවන්, ඒ ලබන සංතෝෂය තුළින් සුඛිත, මුදිත, වාසනාවන්ත, භාග්‍යවන්ත පසුතැවිලි නොවන ජීවිතයක් ගතකරන්නට හේතු වෙනවා. බුද්ධ දේශනාව ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම්, සමහර අය කථා කරනවා බුදුරජාණන්වහන්සේ නිවන් මග ගැනත්, දුකෙන් නිදහස් වෙනහැටිත් පමණයි දේශනා කරලා තිබෙන්නේ. ලෞකික ජීවිතය සකස් කර ගන්නා හැටි දේශනා කරලා නැහැ කියලා. බුද්ධ ධර්මය දන්නේ නැති අය, බුද්ධ ධර්මයෙන් පෝෂණයක් ලබා ගත්තේ නැති අය තමයි එහෙම කල්පනා කරන්නේ.
විශේෂයෙන් අන්‍යාගම්කාරයෝ, බුදුරජාණන්වහන්සේගේ ධර්මය ගැන නොයෙකුත් විධියෙන් විරෝධය පාන, වාද විවාද කරන, ප්‍රකාශන කරන ලියවිලි දමන සමහර අය කියනවා බුදුරජාණන්වහන්සේගේ ඔය ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ නිස්සාර පැත්ත, අසුභ පැත්ත, දුක්ඛ දායක පැත්ත පමණයි කියලා. ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. ධර්මය දන්න අය දන්නවා බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව ඇත්ත ඇති හැටියටත්, තියෙන දේ තියෙන හැටියට ත්, නැති දේ නැති හැටියට ත් සැප සැප හැටියට ත්, දුක දුක හැටියට ත් දේශනා කරලා තිබෙනවා කියලා.
දැන් අපි බොහොම සරල දෙයක් ගනිමු. උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා හොඳට කෑම්බීම්, ඇඳුම් පැළඳුම් , යාන වාහන, භව භෝග, සැප සම්පත් තිබෙනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතය හරිම හොඳ සැපවන්ත ජීවිතයක් කියලා. එහෙත් උන්වහන්සේ දේශනා කරනවා ඒවා අස්ථිරයි. ඒවා අනිත්‍යයි, ඒවා දුකට පත් වෙනවා. ඒ නිසා ඒවායේ ඇලිලා ගැලිලා වෙලිලා කටයුතු කරන්නේ නැතිව ඉන්ඔබ්බට යාමට කටයුතු කරන්න කියලා. බලන්න කොච්චර වැදගත් කියමනක් ද කියලා ඒ. විශේෂයෙන් සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, මංගල, පරාභව, වසල ආදී වශයෙන් මේ කියන හුඟක් දේශනා වලින් කියවෙන්නේ ගිහි ජීවිතය සැපවත් කර ගන්න හැටි, වාසනාවන්ත කර ගන්නහැටි, නිවැරදිව ජීවත් වන හැටි. ඒ අතරින් අප කථා කරන මේ “ අණන සුත්‍රය” හරිම වැදගත් එකක්.
අත්ථි සුඛං
අද මිනිස්සුන්ගේ ප්‍රධාන තේමාව මුදල් හම්බ කිරීමයි. ඉඳුරන් පිනවීමයි. ඒක හොඳින් බැරිනම් නරකින්හරි කර ගන්නවා.
ඉතිං ඒ අය කල්පනා කරනවා ඒ වෙලාවට නෝට්ටු කොළ අතට එනවා නම් ඩොලර් අතට එනවා නම්, ඊට වඩා සතුටක් නැහැ කියල. දන්නේම නැහැ මෙන්න දරුවෙක් අසනීප වෙනවා. තමන්ට අසනීපයක් හැදෙනවා. පවුලේ කෙනෙකුට අසනීපයක් වෙනවා ඒවාට බේත් හේත්, වෛද්‍ය පහසුකම් සොයාගෙන ගියාම අර හම්බ කළ මුදල වගේ එහා ගුණයක් යනවා. තමන්ට කොතනකින්වත් සතුටු වෙන්න තැනක් නැහැ. මා හිතන විධියට පින්වතුනි යම් කිසි කෙනෙක් බුද්ධ දේශනාවේ සඳහන් වන පංඤ්චසීල ප්‍රතිපත්තිය ජීවිතයට අරගෙන හිතට එකඟව කටයුතු කරනවා නම් සුගතියට යනවා කියන එක ඉතාම සුළු දෙයක්, නිදා පිබිදියාක් මෙන් සුගතියේ උපදින්න පුලුවන්. භාවනා කරලා නොවෙයි. මහා පරිමාණයෙන් පින්කම් කරලා නොවෙයි පින්වතුනි, පන්සිල් රැකලා.
ඉතිං අද නූතනයේ ජීවත් වන අය මේ පන්සිල් කියන ඒවා බොහෝම පහත් කොට සලකනවා. ශික්‍ෂාපද ටිකක් කියනවා නිකන් ඉන්නවා. සමහර විට ඒ වේලාවෙම ශීලය ඉවරයි. ඉතින් එම නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් කොච්චර ලස්සනද බලන්න. කොච්චර සුවදායකද බලන්න මම හම්බ කරලා තියෙන ධනය ධාර්මිකයි. මම ධාර්මිකව ධනය හම්බ කරලා ජීවත් වෙනවා මට තිබෙන වස්තුව ධාර්මිකයි කියලා අවංකවම හිතන්න පුළුවන්නම් ඒ තැනැත්තාට කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද?
අපේ පරණ මිනිස්සු, කෘෂිකාර්මික රටක් වෙච්ච මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සු මොන තරම් සංතෝෂයෙන් හිටියාද? අද මහල්, දෙමහල්, තෙමහල්, සිව් මහල්, විසි තිස් මහල් හදාගෙන ගොඩනැගිලි ගහලා තියෙනවා. නොයෙක් විධියේ සුඛෝපභෝගී භාණ්ඩවලින්, යාන වාහන වලින් අපේ රට පිරිලා තියෙනවා. නමුත් අද මිනිසුන්ට නැත්තේ මොකක්ද සංතෝෂය, අද මිනිසුන්ට සතුට නැහැ. ඔවුන්ට ඇතිවන මානසික පීඩාවලට බෙහෙත් නැහැ. මානසික පීඩා නිසා සිය පණ හානිකර ගන්නවා. අනුන්ගේ ජීවිත නැති කරලා දානවා.
බුදුරජාණන්වහන්සේ තරම් කාලීන ධර්ම දේශනා කළ උත්තමයෙක් මේ ලෝකෙ කොහේවත් නැහැ. ශත වර්ෂ විසිපහක් එහාටත්, අදටත් හෙටටත් මේ ධර්මය වලංගුයි, පින්වතුනි, මේ බුද්ධාන්තරය තිබෙන තෙක්ම මේ ධර්මය වලංගුයි. ඒ නිසා මේ කාලීන බණ කියලා අමුතු බණක් නැහැ. මේ ධර්මය හැමදාටම සර්වකාලීනයි, සර්වකාලිකයි. ඒ නිසා අපි මහන්සි ගන්නට ඕන ධාර්මිකව ධනය හම්බ කරන්නට, මේ පළවෙනි සංතෝසය ටිකක්වත් අපේ ජීවිතවලට ලබා ගත්තේ නැත්නම් අපේ ජීවිතවල ජයග්‍රහණයක් නැහැ. අපේ ජීවිත පරාදයි , සත්ව වෙළඳාමෙන්, අවි ආයුධ වෙළඳාමෙන්, මස් මාංශ වෙළඳාමෙන්, වස විෂ වෙළදාමෙන්, මත්පැන් වෙළඳාමෙන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ කටයුතුවලට දරුවන් විකිණීමෙන් ධනය හම්බ කරනවා නම් ඒ ජීවිතයේ කිසිම සාර්ථකත්වයක් නැහැ.
සමහර අය පහසුවට කියලා සත්ව ගොවිපළවල් ඇති කරනවා. ඉතින් ඒවායින් ලබන ධනය පින්වතුනි කිසිසේත් ම ධාර්මික නැහැ. මේවා පින්වතුනි කවුරුවත් කරන දේවල් නොවෙයි. වැරදි විධියට නම් ක්‍රියාව කරන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය නරක එකක්මයි.
භෝග සුඛය
දෙවැන්න “භෝග සුඛය”යි. මම ධනය හම්බ කරලා තියෙන්නේ ධාර්මිකවයි. මව්පියන් පෝෂණය කරනවා. ඒ ධනයෙන්, ශාසනික වශයෙන් දාන මානාදී පින්කම් කරනවා, දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා. මම හම්බ කරන ධනය අතහැර දමා යන්න සිද්ධ වෙනවා. මරණින් මතු අහිමි වන ධනය සසරට පරලොවට ගෙන යන්න පුළුවන් විධියේ කටයුතුවලත් යෙදෙනවා කියලා පුදුමාකාර සතුටක් ලබනවා. ඒ විධියට මේ ජීවිතයෙන් පුදුමාකාර සතුටක් ලබන්න පුළුවන්. මෙන්න තථාගතයන්වහන්සේ දේශනා කොට වදාළ නිවැරදි සංතෝෂය ලබන ක්‍රමය. නමුත් බහුතරයක් සංතෝෂය ලබන්නේ වෙන වෙන දේවල් කරලා. ඒවායේ ප්‍රතිඵල එනකොට මොකද වෙන්නේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය බැහැගෙන යනවා. දුර්වර්ණ වෙනවා. ප්‍රෙසර් එක කියනවා. පිළිකාවක් කියනවා. වකුගඩු රෝගයක් කියනවා. පෙනහළු නරක් වෙලා කියනවා. තව නොයෙකුත් රෝගාබාධ ඇති වෙනවා ලෙඩ වෙලා දුක් විඳලා අකාලයේ මරණයට පත් වෙනවා.
මේකෙ මූල බීජය මොකක්ද කියලා හොයල බැලුවොත් නරක් වෙච්ච මානසික තත්ත්වයයි හේතුව, මනස නරක් වීමයි. නූතනයේ වෛද්‍යවරු ප්‍රකාශ කරනව මිනිසුන්ට හැදෙන අසනීපවලින් සියයට අසූවක්ම මනස නරක් වීමෙන් මනස විකෘති වීමෙන් කියලා. පින්වතුනි, මෙච්චර රෝගීන් ඇති වෙන්න හේතුව, ලෙඩරෝග බහුල වෙන්න හේතුව මොකක්ද, මනස විකෘති වීමේ හේතුව නිසයි.
මම නම් කියන්නේ ලෝකෙ කොහේ බැලුවත් අපට පේනවා බොහොම නරක ක්‍රමයක්, නරක රටාවක් වර්ධනය වේගෙන එන හැටි, දියුණු නොදියුණු කියලා නැහැ හැම රටකම පාහේ මහා මාරාන්තික උවදුරු ස්වාභාවික විපත්. බලන්න මේ ඊයේ පෙරේදා ඇමෙරිකාව දිහා සිද්ධ වෙච්ච දේ. පසුගිය දවස්වල අපේ රටට සිද්ධ වුණාටත් වැඩිය භයානක ඛේදවාචකයක්. එච්චර ධනවත් රට පවා අද අනෙක් අයගෙන් ආධාර ගන්න තත්ත්වයට පැමිණ තිබෙනවා. මේක පින්වතුනි නිකන් ප්‍රවෘත්තියක් විතරක් නොවෙයි යම් කිසි රහසක් අපට මේකෙන් කියා දෙනවා.
ස්වභාව ධර්මයට විරුද්ධ වුණොත්, අධර්මවාදී වුණොත්, බලවත් වුණොත්, ස්වභාව ධර්මයට පුළුවන් මේ ලෝකය නැති කරන්න කියන සංඥාවකුත් ඒ තුළින් අපට ලබා දෙනවා. දැන් අපේ රට ගැන කථා කරනවා. අප දන්න තරම් කාලයක කලින් ස්වභාවික විපත් සිදු වුණා කියලා මතක් කරන්න පුළුවන්ද, කලින් සිදු වුණා කියලා කියනවා. නමුත් අපි දන්නේ නැහැ. මේ රටේ ස්වාභාවික විපත් ගැන එච්චර ආරංචියක් නැහැ. භූ චලන ගැන, දැඩි සුළි සුළං වගේ දේවල් ගැන ආරංචියක් නැහැ.
මේ ස්වභාව ධර්මය පවා කුපිත වෙන්නේ මොකද? පින්වතුනි, මිනිසුන්ගේ මනස නරක් වීමෙන්, ස්වභාව ධර්මය පවා හොඳ වෙන්නේ මොකද, මිනිසුන්ගේ මනස හොඳවීම නිසයි. ඒ නිසා මේ මනුෂ්‍යයා හදන එක තරම් ලොකු දෙයක් මේ ලෝකේ තවත් නම් නැහැ පින්වතුනි, නමුත් ලෝකයේ නොසළකා හැරලා තියෙන්නෙ මොකක්ද? මිනිසා හදන එක. ඒ අය කරන්නේ මොකක්ද? මේ මනුෂ්‍යයාගේ මනස තව තවත් විකෘතිවෙන විධියට , ආවේග වැඩි වන විධියට ඕන කරන දේවල් සපයා දෙනවා. ඇසට, කණට, නාසයට, දිවට, ශරීරයට ඒවා ලබා දෙනවා. දැන් ඇමෙරිකාදී රටවල් බොහොම කැළඹීමට පත්වෙලා ඉන්නවා. මේ අනාගත පුරපුර ගැන.
ඒ අය පුදුම විධියට ප්‍රචණ්ඩත්වයට පත්වෙලා. බොහොම සැඩ වෙලා. අම්මලා තාත්තලා හඳුනන්නේ නැතිව සමාජයේ විකෘති ආශාවන්ගෙන් පෙළෙන අය බවට පත්වෙලා. ඉතින් ඒ අය මොකද මේ කියලා හේතු හොයලා බලනවා. ඒ ගැන හොයන්නේ විද්‍යාඥයෝ , නමුත් අපේ රටේ ඇත්තෝ ඒවාට හේතු සොයන්නේ නැහැ. තව තවත් ඒක වර්ධනය කරන්න කටයුතු කරන බව නම් පේනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැහැමින් ජීවත්වීම තරම් ලෝකයට යහපතක් කරන්න පුලුවන් දෙයක් තවත් නැහැ.
තමන්ට යහපතක් වෙන දෙයක් තවත් නම් නැහැ. ඒ මොකද පින්වතුනි, තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක්, ඒ නිසා සිදුවෙනවා, ධාර්මිකව ජීවත් වෙමින්, ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරමින් දාන ධර්මාදී පින්කම්වල යෙදෙනවා නම් ඒ තැනැත්තාට මේ භෝග සුඛය කියන සැපයත් ලබන්න පුලුවන්. මේක පරලොවදී ලැබෙන දෙයක් නොවෙයි . පරලොව ගියාම මරණින් මත්තේ ලැබෙන දෙයක් නොවෙයි. මේ ජීවිතයේදීම ලබන්න පුළුවන් ඉතා හොඳම තෘප්තියක් අපි හොඳට කල්පනා කරලා බැලුවොත්.
අණන සුඛය
තුන්වැන්න “අනන සුඛය”යි. මොකක්ද මේ අනන සුඛය කියන්නේ ණය නැති සැපය. තමන් කිසිම කෙනෙකුට කිසිම ආයතනයකට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ ණයක් නැත්නම් ණය තුරුස්වලට බැඳිලා නැත්නම් ඒ තැනැත්තාට කොච්චර සතුටක්ද? පින්වතුනි, දැන් අපි සමාජ රටාව දිහා කල්පනා කරලා බැලවොත් පුද්ගලයා තවත් කෙනෙකුට, පිරිසකට ණය වෙනවා. ඒ වගේම අපේ රට තවත් ලෝකයේ රටවලට ණය වෙනවා. මේ විධියට ණය කියන එක සාමාන්‍ය දෙයක්.
නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ණය වීම කියන එක හොඳ දෙයක් නොවෙයි. ණයට ගන්නවා කියන එක හොඳ දෙයක් නොවෙයි. ණය ගෙවා ගන්න බැරි වුණොත් ඒකෙන් ලැබෙන විපාකය හොඳ විපාකයක් නොවෙයි. මේ පින්වතුන්ලාට ප්‍රයෝජනවත් වන, මා අසා තිබෙන කථාන්තරයක් කෙටියෙන් මතක් කරලා දුන්නොත් හොඳයි කියලා මට මතක් වුණා. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ආදි කර්‍ත¡ෘ අපගේ නායක හාමුදුරුවන් වහන්සේ එක්තරා කාලයක බුරුම දේශයේ ඉන්න කාලේ උන්වහන්සේ අහලා තිබුණ කථාවක් මේක. අද තරම් බුරුමය ඒ කාලේ දියුණු තත්ත්වයක තිබිලා නැහැ. පහළ බුරුමේ ඉඳලා තිබෙනවා වෙළෙන්දෝ දෙන්නෙක් එකට වෙළඳාම් කළා. මේ අය හාල් වෙළදාමයි කළේ.
වෙළඳාම කරගෙන යනකොට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් එයාගේ ක්‍රියාකලාපය නරක්වීම නිසා බැහැගෙන බැහැගෙන ගියා. ව්‍යාපාරය බැහැගෙන ගිහිල්ලා දිළින්දෙක් බවට පත් වුණා. බොහෝම අමාරුවෙන් ජීවත්වන තත්ත්වයට පත්වුණා. ඉතින් මේ වෙළෙන්දා මොකද කරලා තිබෙන්නේ එදා වේල පිරිමසා ගන්න බැරි නිසා හාල් නැලියක් ණයට අරන් තිබුණා. සමහර විට මේ තැනැත්තා දිළින්දෙක් වෙන්න කලින් නිකනුත් හාල් දෙන්න ඇති. නමුත් දැන් හාල් නැලියක් ණයට අරගෙන තිබෙනවා. ඉතින් මේ දෙන්නා වෙන වෙනම මොන මොන කර්ම කළාද කියලා අපි දන්නේ නැහැ. මේ පුනර්භවය පිළිබඳව කියවෙන හරිම වැදගත් සිදුවීමක්. හාල් නැලිය ණයට ගත්ත මේ තැනැත්තාට ඒ ණය ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා.
අද හැටියට කල්පනා කළොත් මිලියන, බිලියන ගණනින් ණය වෙන්නේ ලෝකයාට , අපේ මිනිස්සු ණය වෙන්නේ ලක්‍ෂ කෝටි ගණනින් ආයතනවලට, පුද්ගලයන්ට, හාල් නැලියක් ණයට ගත්ත මේ පුද්ගලයා අවසාන වෙනකම් ගෙවා ගන්න බැරිවුණා. මේ මනුෂ්‍යයා මැරුණයින් පසුව නැවතත් ඒ රටේම එක්තරා ප්‍රදේශයක ඉපදිලා තිබෙනවා. ඉතින් යමක් කමක් තිබුණ පවුලක ඉපදුණා. නමුත් කථා කරන්න සුදුසු වයසෙත් මේ ළමයා කථා කරන්නේ නැහැ. ඉතින් අපේ රටේ වගේම බුරුමෙත් තිබෙනවා ඔය නොයෙකුත් විධියේ යාතු කර්ම නොයෙකුත් විධියේ ශාස්තර කාරයෝ පසු පස්සේ යන එක. නොයෙකුත් විධියට ස්තෝත්‍ර කරන එක ඒ රටේත් තිබෙනවා.
ඉතින් මේ අම්මා තාත්තා දෙන්නා දරුවා අරගෙන හැම තැනම ගියා නමුත් ඒ අය මේකට මොකුත් කියන්නේ නැහැ. මේ ළමයාට ලෙඩක් නැහැ රෝගයක් නැහැ අපලයක් නැහැ කියලා කියනවා. එක දවසක් අම්මා කුස්සියේ වැඩ කර කර ඉන්නකොට මේ ළමයා ළඟට ඇවිල්ලා හාල් නැලියක්, හාල් නැලියක් කියලා වචනයක් කියලා තිබෙනවා. අම්මා අර සේරම පැත්තක දාලා අර ළමයා වඩාගෙන එළියට ගිහිල්ලා ළමයා සිපගෙන අනේ පුතේ කථා කරන්න. අනේ පුතේ කථා කරන්න කියලා බැගෑපත් වුණා. නමුත් මේ ළමයා කථා කළේ එච්චරයි. ආයේමත් දවස් කීපයක් ගත වුණාම කියලා තිබෙනවා එක්තරා මුදලාලි කෙනෙකුගේ නමක්. ඒ විතරක් නොවෙයි වරින්වර මේ ළමයා තොරතුරු ටික ටික කිව්වා.
එයා මගේ යාලුවෙක්. අපි එකට ගණුදෙනු කළා. ආදි වශයෙන් ඉතින් මේ අම්මා ඇවිටිලි කරලා තියෙනවා පුතේ අපි හාල් නැලියක් නෙමෙයි හාල් කරත්තයක් දෙන්නම් පුතාට හොඳට කථා කරන්න කියලා. ඒ නිසා මේ ළමයා තව තව විස්තර කිව්වා.
පසුව මේ බෞද්ධ මව්පියෝ දෙපළ කරත්තයක හාල් ගෝනි කීපයක් පටවාගෙන තවත් තෑගි භෝග රැගෙන ළමයාත් නංවාගෙන ඔය කියපු ප්‍රදේශයට අහගෙන අහගෙන ගියා. කරත්තෙන් බැස්සා විතරයි මේ ළමයා ගිහිල්ලා අර වයසක මනුෂ්‍යයාගේ අතට තට්ටු කරලා නම කියලා කථා කරලා තියෙනවා. ඒ වෙලාවේ මේ තැනැත්තා තරමක් නොසන්සුන් වුණා. මේ කුඩා ළමයෙක් තමන්ට නම කියලා කථා කිරීම පිළිබඳව. ඉතින් අම්මා තාත්තා බැගෑපත් වුණා පුතාට සැර වැර කරන්න එපා අපේ දරුවා අපි නොදන්නා මොනවා හරි දෙයක් කියනවා. ඒ නිසා ඔබතුමාට අපි තෑගි භෝග ගෙනාවා.
දිගින් දිගට මේ ළමයා තොරතුරු කීවාම අර තැනැත්තා පිළිගත්තා තමන් සමග එකට වෙළඳාම් කළ පුද්ගලයාගේ පුනර්භවය කියලා. අර ගෙනා බඩු බාහිරාදිය සියල්ලම ඒ පුද්ගලයාට දීලා ළමයත් අරගෙන මව්පියෝ යන්න ගියා. එදා ඉඳලා ළමයා හොඳට කතා කරනවා. මේක පොතේ එන එකක් නොවුණත් අපට පේනවා මේක සත්‍ය සිද්ධියක් බව. මෙයින් අපේ හිතට ගත යුත්තේ කුමක්ද? ණය වීම කියන එක බොහොම භයානකයි. අපේ මිනිස්සු මේවා ගණන් ගන්නේම නැති දේවල්.
තවත් සිද්ධියක් ලංකාවේ දී අවුරුදු තිහකට හතළිහකට ඉහත දී සිදුවුණා. එය කොළඹ කෙසෙල් කැන් මාර්කට් එකේ ඉඳලා තිබෙනවා. දෙමළ මුදලාලි කෙනෙක් එක්ක ගණු දෙනු කරන සිංහල මුදලාලි කෙනෙක්. කොහොම හරි මේ දෙමළ මුදලාලිගෙන් යම් කිසි ණයක් අරගෙන තිබෙනවා සිංහල මුදලාලි. ඒක ගෙවා ගන්න බැරි වුණා. ඔන්න මූලික අවස්ථාව, මේ සිංහල මුදලාලි මළායින් පස්සේ පුතා මොකද කරන්නේ. තාත්තා ගැන තොරතුරු අහන්න තැන් තැන්වල ගිහිල්ලා තිබෙනවා.
මෙහෙම තැනකට ගියායින් පස්සේ මම හිතන්නේ ඉන්දියාවේ වෙන්න ඕනෑ කියලා තියෙනවා තාත්තාගේ පුනර්භවය තියෙන්නේ ඔය රටේම යි කියලා. උතුරුකරයේ යාපනයේ, වැඩිදුරටත් තොරතුරු කථා කරනකොට තාත්තා මනුෂ්‍ය ආත්මයක් ලබා නැති බවත් තිරිසන් ආත්මයක් ලබාගෙන මුදලාලි කෙනෙකු ළඟ ඉන්න බව ඔහු කොළඹට කෙසෙල් කැන් ප්‍රවාහනය කරන අහවල් ඉසව්වේ ඉන්න බවත් කියවුණා. හඳුනා ගන්නේ කොහොම අපේ තාත්තා කියා ඇහුවාම, ඔබ ගියාම ඒ තිරිසන් සත්වයා ඔබව පුතා බව හඳුනා ගනියි කියා කිව්වා. හැබැයි බැරිවෙලාවත් එයා එතැනින් ඉවත් කරගෙන ගෙදර ගෙනියන්න හිතන්නවත් එපා කියලත් කිව්වා.
ඉතින් මේ පුතා තාත්තාට පුදුම ළෙන්ගතුකමක් තිබුණා. මේ කියපු තැනට කෝච්චියෙනුයි යන්න තිබුණේ. මේ ළමයා කෝච්චියෙන් ගිහිල්ලා ලොකු කෙසෙල් ඇවරි දෙක තුනකුත් දාගෙන ඔය කියපු තැනට හොයා ගෙන හොයා ගෙන ගියා. ගිහින් අර මුදලාලිට කිව්වා මෙහෙම කෙනෙක් බලන්න ආවා කියලා. මුදලාලි හිතලා තියෙන්නේ විකුණන්න ගෙනියන්න මිලට ගන්න ආවායි කියලා. ගේ පිටුපසට ගිහින් බැලුවායින් පස්සේ ගාල් කරලා ඉන්නවා විශාල ගොන් නාම්බෙක්. මේ තරුණයා දැක්කා විතරයි උඩ පැනලා කෑගහලා නොයෙකුත් විදිහේ දේවල් කරලා ඇඳුනුම්කම අඟවලා තිබෙනවා. ළඟට ගියායින් පසු අත ලෙවකන්න පටන් ගත්තා.
පුතා කෙසෙල්කැන් ඇවරිය මේ සතාට දුන්න. පුතාගේ සැකය සන්සිඳුණා මේ තාත්තා තමයි කියලා. ඉතින් මේ ළමයාට අර ශාස්තර කාරයා කියපු දෙය අමතක වුණා මේ සතාව දුටුවම. සෑහෙන මුදලකුත් ළඟ තිබුණ නිසා මුදලාලිත් සමග කථා කරගෙන ලොකු මුදලක් දීලා මේ සතාව අරගෙන කෝච්චියට ගොඩ කරගෙන කොහොම හරි ගෙනිහිල්ලා තියෙනවා. මේකව කෝච්චියෙන් අරගෙන සුළු වේලාවකදී මැරිලා තියෙනවා. පුතා ලොකු ශෝකයකින් මේ සතාව අරගෙන ගිහින් මිහිදන් කරලා තියෙනවා.
මේවා පින්වතුනි මේ රටේදී සිද්ධ වුණ දේවල්. නමුත් අපි මේවා ගණන් ගන්නේ නැති තැනට අද ඇවිල්ලා තියෙනවා. නමුත් අපි කාගෙන් හරි රුපියල් දාහක් ණයට අරගන ගෙවාගන්න බැරිව මරණයට පත්වුණොත් සමහර විට කෝටි ගණනින් තමයි ණය ගෙවන්න වෙන්නේ. හාල් නැලියට වන්දි ගෙවන්න වෙච්ච හැටි අපි දන්නවා. බලන්න දැන් ඔය ඉන්නවා නිවෙස්වල දාසකම් කරන මිනිස්සු ඔවුන් මැරිගෙන වැඩ කරනවා. සතුන් ඉන්නවා උන්ගෙන් වැඩ ගන්න එකේ ඉවරයක් නැහැ. මේවා ඇත්ත වශයෙන්ම බැලුවොත් සියයට වැඩි ප්‍රමාණයක් ණය තුරුස් වෙච්ච ණය තුරුස් ගෙවා ගන්න බැරිව සිදුවුණ දේවල්, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ණය නොවි ජීවත් වෙන්න. යම් යම් අවස්ථාවල ණය වෙන්න සිද්ධ වෙයි.
නමුත් අපි කොහොම හරි ඒ ණය ගෙවන්න ඕනි. ඒ ණය ගෙව්වේ නැත්නම් ඒ ණය ගෙවන්නේ කවුද? තමන්ගේ පවුලේ කෙනෙක් නොවෙයි. ඒක ගෙවන්න වෙන්නේ තමන්ටමයි. ඒ නිසා ලෞකික වශයෙන් ජීවත්වන ගිහි පින්වතුන්ලාට මේ අණන සුඛය ඉතාම වැදගත් දෙයක්. අද අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම සමාජ ජීවන රටාව සකස් වෙලා තිබෙන්නේ ණය මතයි. ණයෙන් තොරව ජීවත්වන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරු තත්ත්වයකට තරම් ණය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. එම නිසා ණය නැති සැපය පරලොවදී ලබන එකක් නොවෙයි. මෙලොවදීම ලබන එකක්.
අනවජ්ජ සුඛං
අත්ථි සුඛං, භෝග සුඛං, අණන සුඛං හතර වෙනි එක අනවජ්ජ සුඛං, ඒක අර තුනටම වඩා වැදගත් වෙනවා. නිවැරදිව ජීවත්වෙනවා කියන සංතෝෂය.
කයෙන් වැරදි නොකිරීමත්, වචනයෙන් වැරදි නොකිරීමත්, සිතෙන් වැරදි නොකිරීම ත්, කියන මේ තුන් දොර සංවර කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත කෙනෙක් විසින් ලබා ගන්න තියෙන ඉහළම සතුට කියලා මට කියන්න පුළුවන්. මේ ජීවිතයට පමණක් ඒක සීමා වෙන්නේ නැහැ. සාංසාරික ජීවිතයටත් උපකාරි වෙනවා. බෞද්ධයෙක් වශයෙන් සාංසාරික ගමන කොට කර ගන්නත් හේතු වෙනවා. මොකක්ද මේ තුන්දොර සංවර කරගැනීම, එච්චර අමාරු දෙයක් නොවෙයි.
කය වචනය සංවර කර ගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත්, ඕනකම් කළොත්, එච්චර දෙයක් නෙවෙයි. කය වචනය සංවර කරගන්නවා කියන එක. මිනිස්සු හිතට ගත්තොත් ඕනෑකම් කළොත්, එච්චර අමාරු දෙයක් නොවෙයි. සතුන් මැරිමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්න බැරිද? මේ වැරදි තුනෙන් වළකිනවා නම් පින්වතුනි කෙනෙකුගෙ ජීවිතය කොයි තරම් ගෞරවනීයද ? කොච්චර පිරිසිදු ද ඒ ජීවිතය. අද අපි සාමාන්‍යයෙන් සතුන් කියනකොට පොඩි සතුන් ගණන් ගන්නේ නැහැ.
ඒ වගේම මසට සතුන් මරණවා. බිත්තර පාවිච්චි කරනවා. අපි ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් මේ මිහිපිට ජීවත් වන සෑම කෙනෙකුටම මනුෂ්‍යයෙකුට පමණක් නොවෙයි. තිරිසන් සතෙකුට පමණක් නොවෙයි. කුරා කුහුඹුවාට පවා ජීවත්වීමේ අයිතිය තිබෙනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ විශ්වය අයිති අපට පමණක් නොවෙයි. සෑම දෙනාටම පොදුවේ මේක අයිතියි.
යම්කිසි කෙනෙක් යම් සතෙකුගේ ජීවත්වීමේ අයිතිය. උදුරාගන්නවා නම්, පැහැර ගන්නවා නම් පින්වතුනි ඒක මනුෂ්‍යකමට ගැළපෙනවාද? කිසිසේත් ගැළපෙන්නේ නැහැ.
අද මානව හිමිකම් කියලා තියෙනවා. වෙන වෙනත් සංවිධාන තියෙනවා. මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයෙකුට එරෙහිව කරන යම් යම් කටයුතුවලට නීති රීති දාගෙන කථා කරනවා. නමුත් තිරිසන් සතුන් ගැන හිතන්නේ බොහොම අඩුවෙන් ඉතින් ඔය වනගතව ඉන්න අලි ඇතුන් වැනි සතුන් පිළිබඳව තරමක් සොයා බලනවා. නමුත් කුඩා ගණයේ තිරිසන් සතුන් පිළිබඳව තැකීමක් ඇත්තේම නැහැ.තමන්ගේ ජීවිතයට ආදරේ නම් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කිසිම කෙනෙක් අනුන්ගේ ජීවිතයක් නැති කරන්නේ නැහැ කියලා. ඉතින් අපි අකල් මරණයක් සිදුවුණායින් අනතුරුව, දුවා දරුවෙකුගේ අකල් මරණයක් සිදුවුණාම, තමන්ගේ ඥාතිවරයෙකුගේ අකල් මරණයක් සිදුවුණාම අපි බලවත් ;ස් කම්පාවට පත්වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. නමුත් යථාර්ථවාදීව කල්පනා කරලා බැලුවොත් මොනවා හරි සංසාරයේදී කරන ලද කර්මයකුත් ඔතනට ඇවිල්ලා තියෙන්න බොහෝ විට පුලුවන්.
සියයට සියයක් නොවුණත් බොහෝ විට පුලුවන්. ඉතින් මිනිස්සු මොනතරම් සත්ව ඝාතන කරනවාද? ඒ වගේම තමන්ගේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා භක්‍ෂණය සඳහා මොනතරම් සත්ව ඝාතනය කරනවද? මිනිසුන්ගේ ජීවිත නැති කරනවද? මේවයේ විපාක විඳින්නේ කවුද? තම තමන් විසින්ම යි. සමහර විට තමන් නැති කළේ එක ජීවිතයක්. නමුත් එක ජීවිතයක් නැති කිරීමේ විපාකය අපට විඳින්න වෙනවා.
සමහර විට දස දහස් කෝටි වාරයක් ජීවිතවලදී වන්දි ගෙවන්න සිදු වෙනවා. ඔය පින්වතුන් අහලා තියෙනවා ලෝවැඩ සඟරාවේ කවියකින් කියන කථාවක්. එක්තරා කාන්තාවක් ආගන්තුකව පැමිණි තමන්ගේ ඥාතියෙකුට සංග්‍රහ කරන්න එළු දෙනෙකගේ බෙල්ල කපලා මාංශයක් හදා ඒ ආගන්තුකයා සැතැප්පුවා. ආගන්තුකයාට සංග්‍රහ කළා. මංශයක් ගේන්න වෙළඳ පොළට යැව්වා මාංශයක් තිබුණේ නැහැ. ගෙදර සිටිය එළුදෙනගේ බෙල්ල කපලා ආගන්තුකයා සතුටු කළ හේතුවෙන් සංසාරයේදි අර තැනැත්තිය ඒ එළු දෙනගේ ලෝම ගණනින් හිස් කැපුම් ලැබුවා කියලා සඳහන් වෙනවා.
මා එච්චර මේ කරුණු කාරණා නොදන්නා කාලයේ කල්පනා කළා මේක වෙන්න පුළුවන්ද කියලා. එක සතෙකුගේ ජීවිතය නැති කරලා ලෝම ගණනින් හිස් කැපුම් ලැබුවයි කියන එක. නමුත් පසුව මට වැටහුණා පින්වතුනි. මම ඒක තේරුම් ගත්තායින් පසුව. ඒ ප්‍රාණඝාතන සිදු කිරීම සඳහා ඇතිවෙච්ච චේතනා වැල, මරණ චේතනා පරම්පරාව ප්‍රකෝටි ගණනින් වැඩියි. ඒතරම් වේගවත් අපේ හිත. ඒ තරම් වේගවත් චේතනා පරම්පරාව ඒ හැම චේතනාවකින්ම ලබා දෙන්නේ මොකක්ද? ජීවිතය නැති කිරීමේ අවස්ථාවක් ලබා දෙනවා.
තවත් නොයෙකුත් පීඩා, රෝගබාධ ලබා දීමේ ශක්තිය, ප්‍රවෘත්ති විපාක ලබාදීම් වශයෙන් ඇතිවෙනවා. මේවා හොඳට අපි කල්පනා කළොත් කර්මය සහ විපාකය හොඳින් පිළිගන්නවා නම් පින්වතුනි මැස්සෙක් තරම් එකෙක්වත් කෙනෙක් මරන්නේ නැහැ. අර කාන්තාව කරපු අකුසල කර්මයෙන් විපාක වින්දේ ආගන්තුකව පැමිනි මනුෂ්‍යයා ද, ඒ මාංශ රසය අනුභව කළ තමාගේ ස්වාමි පුරුෂයා ද? නැතිනම් දරුවන්ද? නැහැ තමන්මයි ඒ විපාකය වින්දේ, ඇයි ඉතින් අපි ඒ විධියට අනර්ථකාරි ක්‍රියාවල යෙදෙන්නේ . එම නිසා ප්‍රාණඝාතය පිළිබඳ හොඳට කල්පනා කරලා තාවකාලික සතුට සඳහා හෝ වෙන හේතුවක් නිසා හෝ කිසිම සතෙකුගේ ජීවිතයක් අපි නැති කරන්න හොඳ නැහැ.
සොරකම ගැනත් ඒ වගේමයි . මේ අපි හැම දෙනාටම තම තමන් සතු වස්තුවක් පරිහරණය කරන්න. ඒවා තමන්ගේ පාවිච්චියට තියා ගන්න අයිතියක් තියෙනවා. තව කෙනෙක් ඒ අයිතිය උදුරා ගන්නවා නම් ඒක කිසිසේත් මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේගේ දේශනාවට පමණක් නොවෙයි. ඒ නිසා අපි හැකිතාක් සොරකමෙන් වළකිමු.
කාමයෙහි වරදවා හැසිරීම පිළිබඳව කියන්න දෙයක් ඇත්තේ නැහැ. අද බටහිර රටවලට එහා ගිහින් සමහරවිට. අද අපේ රට මිනිසුනගේ ජීවිත කඩාකප්පල් වෙන තැනට ගිහිල්ලා. මොකද සෑහීමකට පත්වෙන්න බැහැ. සෑහීමට පත්වෙන්න බැරිකම. ඒ නිසා අපි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනි බෞද්ධයන් වශයෙන් අපට කොච්චර හොඳ දහමක් ද තිබෙන්නේ කාමයෙහි වරදවා හැසිරිමෙන් වළකින්න ඕනි. අරම මුස්ලිම් මනුෂ්‍යයෙක් පසුගිය දිනවල කියලා තිබුණා රැස්වීමකදී, උඹලා කාමේසුමිච්ඡාචාරා කියලා කොච්චරවත් සමාදන් වෙනවා නමුත් උඹලගේ රටේ මුහුදු වෙරළේ හැම තැනම මොනවාද කාමේසුමිච්ඡාචාරය, උඹලා සුරාමේරය මජ්ජපමාදට්ඨානා කියලා නිතරම කියනවා.
ඒත් උඹලාගේ රටේ හැම තැනම සුරා සැල්. අපිට දැන් බණ කියන්නේ කවුද? හාමුදුරුවරු නෙවෙයි. මුස්ලිම් මිනිස්සු. ඉතින් හාමුදුරුවරු කියනදේ අහන්නේ නැත්නම් අපට මුස්ලිම් මිනිහා කියන දේවත් අහන්න වෙනවා. ඇත්තක් නම් ඒ කියන්නේ ඒ තරමටම පින්වතුනි අපේ ජාතිය වඳවෙලා යන, විනාශ වෙලා යන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ මොකද? ධර්මයක් පිළිගන්නේ නැහැ. ඇහුවොත් මොකක්ද ආගම කියලා බෞද්ධ . දැන් මුස්ලිම් මිනිස්සු ගැන අපි පොඩ්ඩක් හිතලා බලමු.
අපි සමීපයේ ඉන්න මිනිස්සු. අපේ දහමේ හැටියට ඒ මිනිස්සුන්ගේ ධර්මය ඇත්ත වශයෙන්ම සම්‍යක් දෘෂ්ඨික දහමක් කියලා අපට කොහොමවත් කියන්න පුලුවන් කමක් නැහැ. නමුත් බලන්න ඒ මිනිස්සුන්ගේ කැපවීම. ඒ ධර්මය පිළිබඳව ඔවුන්ගේ තිබෙන කැපවීම පොඩ්ඩක් හිතලා බලන්න. ඉන් ඔබ්බෙහි තිබෙන ආගම් දිහා හිතලා බලන්න. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයට මේ කයෙන් කෙරෙන වැරදි තුනෙන් අපි වළකිනවා නම් අපේ ජීවිතය හරිම වාසනාවන්තයි. බොරු කීම, කේළාම් කීම, නරක වචන කීම, මේවායිනුත් අපි වැළකුණු තරමට අපේ ජීවිතයට සහනය සහ ශාන්තිය ඇති කරගන්න පුලුවන් , මේක අපි අර මුද්ලින් කී දේවල්වලට වඩා හිතලා කල්පනා කරලා ඇති කරගන්න ඕන එකක්.
දැන් පොඩ්ඩකට කලින් මේ අය සමාදන් වුනානේ ආජීව අෂ්ඨමක සීලය කියලා එකක්. පාණාතිපාතා, ආදින්නාදාන, කමේසුමිච්ඡාරා, මුසාවාදා, මේවායින් වළකිමු. ඒවගේම පිසුනාවාචා. එරුසා වාචා, සම්පප්ඵලාපා යන මේවායෙන් වළකිමු. එමෙන්ම වැරදි විධියට ජීවත් වීමෙන් කියන මිච්ඡාජීවයෙන් වළකිමු යන අදහස යි. ඒ සීලයෙන් ප්‍රකාශ වුණේ.
බලන්න කොච්චර ලස්සන කරුණු අටක්ද මේ කථා කළේ කියලා. මේවා අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තා කියලා ඔය අයගේ ජීවිතවලට ,, ව්‍යාපාරවලට කවදාවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියන් වශයෙන් තමන්ගේ ජීවිතය තව තවත් ඒවායේ දියුණුවක්, අභිවෘද්ධියත් මිස කවදාවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියන් වශයෙන් ඔය පින්වතුන් මහන්සිගන්න ඕන තමන්ගේ ජීවිතය සිල්වත් කරගන්න. හාමුදුරුවරු වශයෙන් නොවෙයි. ඒ වගේම හිතෙන් කෙරෙන වැරදි තුනකුත් තිබෙනවා දැඩි ලෝභය.
අනුන් නැසේවා, වැනසේවා කියලා හිතන ව්‍යාපාදය සහ මිථ්‍යා අදහස් ගැනීම, මේවා මුලින් සඳහන් කළ ඒවාට වඩා ටිකක් සංකීර්ණයි. ඒවත් අපිට යම් ප්‍රමාණයකින් තුනී කරගන්න පුලුවන්. සීලාදී ගුණ වලට බර වෙනකොට, භාවනා පැත්තට අපේ හිත නැඹුරු කරනකොට අපිට මහත් වූ සහනයක් ඇති කර ගන්නට පුලුවන්කම තිබෙනවා.
ඉහතින් විස්තර කළ අත්ථි සුබය. භෝග සුඛය, අනන සුඛය. අනවජ්ජ සුඛය, කියන මේ සැප හතර පින්වතුනි තථාගතයන්වහන්සේ වදාරණවා කාටද? ආර්ය පුද්ගලයෙක් වෙච්ච සුදත්ත සිටුතුමාට , අනේ පිඬු සිටුතුමාට පෙන්වනවා මේවා වරින් වර ඇතිකරගත යුතුයි කියලා, ආර්ය පුද්ගලයෙක් කොහොම වුණත් සත්ව ඝාතනාදී කටයුතු කරන්නේ නැහැ. ඒත් ණය තුරුස්වීම් ආදී දෑ වෙන්න පුළුවන්. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරදි වෙන්නටත් පුලුවන්කම තිබෙනවා.
එහෙත් නියත මිථ්‍යා දෘෂ්ඨියක් ගන්නේම නැහැ. ඒත් ඒවා සේරම අළලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මොකද, මේ අනේපිඬු සිටුතුමා මුල්කර ගෙනමේවා කියන්නේ, එයාට පමණක් නොවෙයි අනාගතයට ඇතිවන අනාගතයේ ඉන්න අපටත් එක්කයි මේ බණ කියලා තියෙන්නේ. ඒ නිසා මේක අනේ පිඬු සිටුතුමා පිරිසුදු කරන්න දේශනා කළා නොවෙයි.
කිසිම කෙනෙකුට වාද විවාද කරන්න පුලුවන් කමක් නැහැ මේ කරුණු හතර අපේ ජිවිතයට සම්බන්ධ කරගත්තොත්, අපිට මේ අලාභහානි, පාඩු වෙනවා කියලා. කිසිම කෙනෙකුට තර්කාණුකුලව කරුණු ඉදිරිපත් කරන්න ඉඩක් නැහැ පින්වතුනි, යම් කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ කල්පනා කරනවා නම්, කර්මය ඵලය විශ්වාස කරනවා නම් වරින් වර මේ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගන්න පුලුවන්.
මොකද ගිහි ජීවිතය කියන එක හරිම සම්බාධ සහිතයි. අද වැනි සංකීර්ණ සමාජ තලයක ජීවත්වන ඔයගොල්ලන්ට නොයෙකුත් ප්‍රශ්න, ගැටලු , අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාවලදී ඔයගොල්ලන්ගේ අතින් සුලු සුලු අඩුපාඩුකම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒකනේ පෘථග්ජන කියන්නේ. පුහුදුන් කියලා කියන්නේ ඒකයි.
ඔය පුහුදුන් කියන ශබ්දය ධර්ම දේශනා කරන නොයෙකුත් හාමුදුරුවරු එක එක විධියට විස්තර කරන හැටි පේනවා. නමුත් බුද්ධ දේශනාවේ හැටියට පුහුදුන් කියන්නේ මොකක්ද? හුඟක් කෙලෙස් ඇති වෙනවා කියන එක. හුඟක් වැරදි සිද්ධ වෙන ජීවිතවලට යි පුහුදුන් කියලා කියන්නේ. හැබැයි පෘථග්ජන කියන එකෙත් තිබෙනවා කොටස් දෙකක්. අන්ධ පෘථග්ජන සහ කළ්‍යාණ පෘථග්ජන කියලා.
පිනක් දහමක් ගැන හිතන්නේ නැති, සීලයක් ගුණයක් නැති, මව්පියෝ ගැන හිතන්නේ නැති. එහෙම බෞද්ධයෝත් ඉන්නවා. ඒ අයට අපි කියනවා අන්ධ පෘථග්ජනයෝ යි කියලා. ඔයගොල්ලෝ දන්නවා තමන් ඇසුරු කරන සමාජ තලය තුළ ඉන්නවා නේද? මත්පැන් ටිකක් බිව්වට ඇති වරද මොකක්ද? ඔය සුලු පාපයක් කළාම ඇති වැරැද්ද මොකක්ද? එයින් නොනැවතී යමු යමු කියලා තමන් ඇසුරු කරන අයත් ඒවාට ගාව ගන්නවා. ටිකෙන් ටික පටන් ගත්ත එක හතර ගාතෙන් යන්න බැරි තැනටම බොනවා. සූදුව කියන එක හිඟාකන තැනටම වැටිලා . අද හිඟාකන ධනපතියෝ කොච්චර ඉන්නවාද ? ඒවා උදව් උපකාර කරන අයට කියන්න තියෙන්නේ අන්ධ පෘථග්ජනයෝ කියලා.
සමහර අය බණ ටිකක් අහලා හරි, හාමුදුරුවෝ කෙනෙක් ආශ්‍රය කරලා හරි, පොතක් පතක් කියවලා හරි ඇත්ත නේන්නම් අපි ජීවිතය හදා ගන්න ඕන නේද? අපේ වැරදි අඩු කරගන්න ඕන නේද? අපේ හොඳ පැත්ත ටිකක් වැඩි කරගන්න ඕන නේද? කියලා කල්පනා කරලා පිනට දහමට, දනට පැනට බර වෙනවා. තවත් අය බණ භාවනා පැත්තට නැඹුරුව කටයුතු කරනවා. අන්න ඒ විධියට කටයුතු කරන පුද්ගලයා කළ්‍යාණ පෘථග්ජනයා නමින් කථා කරනවා. එමනිසා මේ පින්වතුන් අයත් වන්නේ කළ්‍යාණ පෘථග්ජන කියන කොටසටයි.
මේ කළ්‍යාණ කියන තත්ත්වය අරිහත්වය දක්වාම ගෙනයන්න පුලුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන අපේ ජීවිතවල හොඳ පැත්ත වැඩිකර ගන්න. අඩුපාඩු නැති ජිවිතයක් නම් කවදාවත් හොයන්න බැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ත් අඩුපාඩු තිබෙනවා. සකෘදාගාමී වෙච්ච පුද්ගලයාගේත් අඩුපාඩු තියෙනවා. සමහරවිට රහත් වුණායින් පසුවත් භව පුරුදු තියෙන්න පුලුවන්. කථා බස් කිරීමේ අඩුපාඩු තිබෙන්න පුලුවන්. චේතනාව නැතිවුණත්. ඉතින් එම නිසා කවුරුත් හිතන්න එපා අඩුපාඩු නැති ජීවිතයක් හදා ගන්න ඕන කියලා. අපේ ජීවිතවල තිබෙන අඩුපාඩු ටික ටික සකස් කර ගන්න ඕන.
බුදුරජාණන්වහන්සේගේ ධර්මය තරම් කෙනෙකුට ජීවත්වෙන්න නිදහස, තමන්ගේ ජීවිතය සකස් කරගන්න නිදහස ලබාදී තිබෙන ආගමක් නම් වෙන ආගම් අතර තිබෙනවාද? කියලා මට නම් කිසිසේත්ම කියන්න පුලුවන් කමක් නැහැ. වෙනත් ආගම්වල තිබෙනවා. වැරදි කළොත් ඒ මිනිහා අපායට බරවෙච්ච පුද්ගලයෙක්.
වැරදි කළොත් එයා අපායට යන පුද්ගලයෙක්. අපේ බුදුපියාණන්වහන්සේ ධර්මයේ කොතැනකවත් දේශනා කරල නැහැ සතෙක් මරපු තරමින් අපායට යනවා කියලා. “ පාණාතිපාතා භික්‍ඛවේ ආසෙවිතාය. භාවිතාය, බහුලීකතාය “ වැඩි වැඩියෙන් ඒවායෙහි යෙදෙන තැනැත්තා යි අපායට යන බව දේශනා කරලා තියෙන්නේ. සොරකමක් කළ පමණින් අපායට යන්නේ නැහැ. ඒක දිගින් දිගටම කරනවා නම් කෙළින්ම ඒ පුද්ගලයා අපායට බරවුණු පුද්ගලයෙක් වෙනවා. ඒවා ආසන්න අවස්ථාවේ සිහියට ආවොත් දුගතියට යන්න ඒක හේතුවක් වෙනවා.
එක් තැනක දී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “ අත්තානංචෙ පියං ජඤ්ඤා - රක්ඛෙය්‍යනං සුරක්‍ඛිතං .. “ ආදී වශයෙන්. තමන්ගේ ආත්ම භාවය රැක ගන්න අවස්ථා තුනක් තිබෙනවා කියලා. තරුණ කාලයේදී යම් කිසි කෙනෙකුට හොඳ නරක තේරුම් බෙරුම් කරගෙන පිනට දහමට බරවෙන්න සුචරිත ජීවිතයක් ගත කරන්න බැරි වුණා නම් ඒ තැනැත්තාට මධ්‍යම වයසට ආවාට පස්සේ පුලුවන් අනේ මම තරුණ කාලෙදී ප්‍රමාද වුණා. මට හොඳ දේවල් කර ගන්න බැරි වුණා. මට අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තිබෙන දේවල් කරන්න බැරි වුණා. මම දැන් ඒ හොඳ දේවල් කරන්න ඕන කියලා. මැදුම් වයසේදී ඒ තැනැත්තාට හැදෙන්න පුලුවන්.
අපි හිතමු යම් කිසිකෙනෙකුට ඒ අවස්ථාවත් මග ඇරිලා ගියා කියලා. මහලු වයසට පත්වුණායින් පසුව ඒ තැනැත්තාට පේනවා මම තරුණයෙක් වශයෙන් හිටියා. දැන් ඉතිං කෙස් ගස් ටිකත් පැහීගෙන එනවා. ශරීර ශක්තිය පවා හීන වේගෙන යනවා. ලෙඩ රෝග වැඩිවීගෙන යනවා. මම දැන් පැසුණු වයසේ මහලු වයසේ ඉන්නේ. දැන් ඉතින් මම වැරදි වලින් වළකින්න ඕන කියලා. ඒ තැනැත්තාට එතනදීත් හැදෙන්න ඉඩක් තියෙනවා.
සමහර අනුවණ, අධම, පාපි අදහස් තියෙන මිනිස්සු කල්පනා කරනවා දැන් ඉතිං මට හැදෙන්න කාලයක් නැහැ. ඔය ටිකත් ඔහේ ගියාවේ කියලා. එහෙම කල්පනා කරන මෝඩ මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා. මට මේ වෙලාවේදී මතක් වුණා. බුදුරජාණන්වහන්සේගේ දවසේ හිටිය වධකයෙක් ගැන. මොහු රජතුමාගෙ රාජ නියෝගයෙන් වැරදි කරන පුද්ගලයින් මරණිය දණ්ඩනය දුන්නායින් අනතුරුව මරණයට පත් කරන පුද්ගලයායි. අපේ කාලයේ හැටියට කියනවානම් එල්ලුම් ගහට යවන මනුෂ්‍යයායි.
මේ පුද්ගලයා අවුරුදු පනස්පහක් යනකම්ම අලුගෝසු වැඩේ කළා. මේ වෘත්තිය හරිම හිත් කැකෑරෙන එකක්. සමහර විට බෙල්ලට පාරවල් දෙකක් ගහනවා කැපෙන්න. මේවා අපේ සිංහල රජ කාලේ දක්වාම තිබුණා. රජවරු පාලනය කරන කාලයේ ජූරි සභා නැහැ. නීතිඥවරු නැහැ. වැරැද්ද හරියට ඔප්පු වුනානම් සමහර විට සිය ගණන් මරණ අවස්ථා තිබෙනවා. මේ මිනිහා අවුරුදු පනස්පහක් තිස්සේ මේක කරලා ක්‍රම ක්‍රමයෙන් වයසට යන කොට ශරීර ශක්තිය හීන වුණා.
මරණයට කැප වුණ පුද්ගලයාගේ එක පාරට බෙල්ල කපන්න බැරි තත්ත්වයක් උදාවුනා. බෙලි කැපුම් ලබන පුද්ගලයා බලවත් දුකකට පත්වෙනවා. ඒ නිසා මෙයා කල්පනා කලා මේකට පිළියමක්. යකැදුරෙක් මාර්ගයෙන් භූතයෙක් බැඳගෙන භූතාවිෂ්ඨයක් ගත්තා. ඒ වෙලාවට කවුද ඒ කටයුත්ත කරන්නේ භූතයා, කඩුපාර බොහොම වේගයෙන් ගහනවා. දැන් මේ ක්‍රමයෙනුත් අවුරුදු දහයක් පහළොවක් ගතවුණායින් පසු මේ මනුෂ්‍යයාට ලොකු කළකිරීමක් වේදනාවක් ඇති වුණා මම දැන් වයස්ගතයි කියලා.
මොකද ? මේ හින්දු සමාජයේ, බ්‍රාහ්මණ සමාජයේ තිබුණ පරලොව ගැන විශ්වාස කරන එකක්. රජ්ජුරුවන්ගේ අකමැත්ත පිටම මේ මනුෂ්‍යයා මේ කරදරයෙන් නිදහස් වෙලා ගෙදරට වෙලා හිටිය. මේ මනුෂ්‍යයාට නින්ද ගිය හැම දවසකම අර අවුරුදු පනස්පහක් තිස්සේ කරපු අපරාධ පේනවා. නින්දක් නැහැ. බයෙන් තැති ගැනීමෙන් කාලය ගත කරන්නේ. ඊට කීප වාරයක්ම කෑගහගෙන නැගිටිනවා. අර බෙලි කපාපු මිනිස්සු දඟලනවා හීනෙන් දැක්කම මිනිහාගේ හිත සලිත වෙනවා. දවසක් මේ තැනැත්තාට ඕන වුනා කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කරන්න.
ඒ බව තමන්ගේ දුවට කිව්වම දුව සූදානම් කළා කිරි බතක්. උදේ වතුර ටිකක් නාගෙන අර කිරිබත් අනුභව කරන්න සූදානම් වුණා. මෙන්න හාමුදුරුනමක් ඇවිල්ලා දොරකඩට . දැන් මේ මනුෂ්‍යයාගේ හිත නොසන්සුන් වුනා. ඒ මක් නිසාද? මේ මනුෂ්‍යයා මුලු ජීවිත කාලයෙන් වැඩි හරියක් ම ගත කළේ දහමට බර නොවන ජීවිතයක් නිසා. තමන්ගේ දුවට කථා කරලා කිව්වා හාමුදුරුවන්ට යන්න කියන්න කියලා. නමුත් මේ කවුද වැඩම කරලා ඉන්නේ.
සැරියුත් මහ රහතන්වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කළා. මට ටිකක් මේ තැනැත්තා සමග කථා කරන්න ඕනෑ කියලා. දානය වළදන වෙලාවත් ළඟටම ඇවිත්. පසුව මේ මනුෂ්‍යයාගේ හිත ටිකක් මෘදු වුනා. එහෙනම් දුවේ ඔය හදපු එකෙන් ටිකක් මේ හාමුදුරුවන්ට පිළිගන්වාපන් කියා තමන්ගේ දුවට කිව්වා. සැරියුත් මහ රහතන් වහන්සේ අර කිරි මිශ්‍ර ආහාරය වළදා අහවර වුණාම උන්වහන්සේ ළගින් බියෙන් සැකෙන්, සැලෙන හිතෙන් මේ මනුෂ්‍යයා වාඩි වුණා. උන්වහන්සේ ඇහුවේ නැහැ මේ තැනැත්තාගෙන් නුඹ මෙච්චර කාලයක් මේවා කළා නේද? කියා. උන්වහන්සේ මේ පුද්ගලයාගෙන් විමසනවා.
දැන් ඉතින් තමුන් ජීවිතයේ අන්තිම කාලයනේ ගත කරන්නේ. එහෙමයි , මෙච්චර කාලයක් රස්සාව කරලා ඒකෙනුත් අයින් වුණා නේද? එහෙමයි කියලා මේ තැනැත්තා හෙමින් හෙමින් පිළිතුරු දෙනවා. හැබැයි මොකක් ද ? රස්සාව කියලා විමසුවේ නැහැ. නුඹ රස්සාවක් කළේ තමන්ගේ වුවමනාවට ද, රජ්ජුරුවන්ගේ වුවමනාවට ද කියලා ඇහුවා. එවිට මේ මනුෂ්‍යයා කියනවා. අනේ ස්වාමිනි, මෙච්චර කාලයක් මම රස්සාවක් කළේ මගේ වුවමනාවට නොවෙයි.
රජ්ජුරුවන්ගේ නියමය නිසා ජීවත් වෙන්න ඕන නිසා කළා ස්වාමීනි කියලා උත්තර දුන්නා. ආ රජ්ජුරුවෝ කිව්ව නිසාද? කළේ කියලා සැරියුත් මහ රහතන්වහන්සේ පෙරළා විමසනවා. ඒ වෙලාවේදී මේ මනුෂ්‍යයා කල්පනා කරනවා රජ්ජුරුවන්ගේ නියමයෙන් කළ නිසා මට පව් නැතිව ඇති. මට පව් නැතිව ඇති. එහෙම හිතලා හිත සැහැල්ලු වුණා. සැරියුත් මහරහතන් වහන්සේ භාවනා නිශි‍්‍රත විදර්ශනා නිශි‍්‍රත පොඩි දහමක් කියලා දුන්නා. අවසානයේ දී මේ මනුෂ්‍යයාගේ හිතේ තිබුණ අර සැලෙන ගතිය.
නැතිවෙලා ගිහින් මට පව් නැහැනේ කියලා හිත සැහැල්ලු කර ගත්තා. එහෙත් අකුසල් මොහුට තිබෙනවා. හිත සැහැල්ලු වීම නිසා සන්සුවීම නිසා විදර්ශනාව පැත්තට හිත නැඹුරු වුනා. අනුලෝමා ඤාණය කියන මාර්ග ඤාණයට ආසන්නයේ තියෙන ර්‍ථනයක් පහළ කරගන්න මේ මනුෂ්‍යයාට පුලුවන්කම ලැබුණා. මේ මනුෂ්‍යයාට සුගතියට යන්න ඒක හේතුවක් වුණා. දුගතියෙන් මිදුනා. දස දහස් ගණන් මිනිස්සු මැරුව පුද්ගලයෙක් මේ.
පින්වතුනි, මතක තියාගන්න අපේ ජීවිතයේදී මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම කියන පඤ්චානන්තරිය කර්ම සිද්ධවෙලා නැත්නම් මොනතරම් වැරදි සිද්ධවෙලා තිබුණත් අපට උත්සාහ කළොත් පුලුවන් සුගතියට යන්න. උත්සාහ කළොත් අපට පුලුවන් නිවන් මගකට යන්න. නිවන්මග එලිපෙහෙලි කර ගන්න පුලුවන්. ඒ නිසයි පින්වතුනි මා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ දහම තරම් විවෘත දහමක්, යථාර්ථවාදී දහමක් මේ ලෝකයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් හිතන්න ඕන බෞද්ධකම කියන එක නමට සීමාකර නොගන්න.
ඉතාම ශ්‍රේෂ්ඨ දහමක් අපි දායාද කරගෙන ඉන්නේ, ඉතින් දායාද කරගත්තට විතරක් මදි. ඒ දහම් මගට ටික ටික ප්‍රවේශ වෙන්නත් ඕන. ආන්න ඒ දහම් මගට තිබෙන එක්තරා ප්‍රවේශයක් තමයි මේ අය මේ දානයක් දීමෙන් තබන පියවර. මෙතනින් සෑහීමට පත්වෙන්න එපා. ගිහියන් වශයෙන් ඔයගොල්ල හැකිතාක් දැහැමි වෙන්න. අණන සූත්‍රයේ සඳහන් කරුණු ඔය අයගේ හිතට ගන්න. පියවරෙන් පියවර දහම ජීවිතයට සම්බන්ධ කර ගන්න. ගිහියන් වශයෙන් අඩුම තරමින් පන්සිල්වත් රකින්න.
ජීවත්ව සිටින අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට සළකන්න. ඒ වගේම ඔයගොල්ල දහම් පොතපත විවේක තිබෙන වෙලාවක කියවන්න. පොත් පත් කියවපුවාම ඒ ගැනත් වචනයක් පින්වතුන්ට මතක් කරන්න ඕන. කර්ණරසායන, ආකර්ශනීය පොත් පත් තියෙනවා, චිත්‍රයත් ආකර්ෂනීය යි, ලියලා තියෙන ඒවත් ආකර්ෂණීය යි. ඒත් ඒවායේ තියෙන්නේ බුදුදහම නොවෙයි. අන්න ඒවායෙන් පින්වතුන්ලා පරිස්සම් වෙන්න. ඒ නිසා රේරුකානේ නායක හාමුදුරුවන්ගේ වගේ වෙනත් පොත් පත් තියෙන්න පුලුවන් ඒවා කියවන්න. ජීවිතයට ලොකු අවබෝධයක් ඇතිකර ගන්න පුලුවන්. හැබැයි භාවනා ක්‍රමයකුත් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි, ලොකු සැනසීමක් ඇතිකර ගන්න පුලුවන්කම තියෙන්නේ.
ඔය අය දන්නවා යම් යම් අවස්ථාවල අපේ හිතට ඇතිවන හැඟීම්වලින්,, සිතිවිලිවලින් අපට මිදෙන්න බැරි බව. කොච්චර සමගියෙන්, දහමෙන් ජීවත් වුණත් සමහර විට විනාඩි පහක තරම් දෙයක් ඇති කෙනෙකුගේ ජීවිතයම විනාශ පැත්තට ගමන් කරන්න. ඒ තරමට අපේ හිත නපුරුයි. ඒ නිසා නපුරු හිත පාලනය කරන්න අපට අවශ්‍ය කරනවා මොකක්ද? භාවනා පැත්තට අපේ හිත යොමු කරන්න. භාවනා පැත්තට හිත කැප කරන්න නොහැකි වුනොත් තමන්ගේ නිවෙස්වලදී හෝ යම්කිසි භාවනා ක්‍රමයක් සම්බන්ධ කරගන්න. ඒ තුළින් ඔය පිරිසගේ ජීවිතයට විශාල සතුටක් ඇතිකර ගන්න පුලුවන්.
ඉතින් මෙයිට වඩා ඔයගොල්ලන්ට බණ කියන්න මා කල්පනා කළේ නැහැ. ටික පිරිසක් නිසා නොයෙකුත් කටයුතු ඇති. එම නිසා පුරා පැයකට ආසන්න කාලය තුළ හොඳ සීලාදී ප්‍රතිපත්තියක පිහිටා ගෙන ධර්ම ශ්‍රවනය කිරීම තුළින් දහම් පඬුරු පූජා කිරීම තුළින් අයිති කරගත්ත උදාර කුශල ශක්තිය මේ පින්වතුන් සැමටත්, ඉහතින් නම් සිහිපත් කළ මියපරලොව ගිය ඥාතීන්ටත් සංසාර දුකෙන් නිදහස් වී ලබන සදාකාලික සැප ඇති නිවනින් සැනසීම පිණිසම හේතුªවේවා!
ඉගුරුවත්තේ පියනන්ද මහනාහිමි
Name
*
First
Last
Email
*
Comment
*
Submit